ඇත්තටම ටායිෂාන් න්‍යෂ්ටික බලාගාරයේ කාන්දු වීමක් වෙලා ද?

· 1 min read
ඇත්තටම ටායිෂාන් න්‍යෂ්ටික බලාගාරයේ කාන්දු වීමක් වෙලා ද?

චීනයේ ටායිෂාන් න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක් සිදු වි ඇති බවට බොහෝ තැන්වල සාකච්චාවට බදුන් වෙනවා දකින්න ලැබෙනවා. ඇත්තට ම මොකක්ද මේ සිදුවිම. මේ වගේ ප්‍රවෘත්ති වලට තටු ලැබීම පිටිපස්සෙ දේශපාලනයකුත් තියෙනවා. ඒක අමතක කරලා, එහි තාක්ෂණික කරුණු ගැන විතරයි මේ කතා කරන්න හදන්නේ.

Reuters ජාත්‍යන්තර පුවත් සේවය විසින් මේ සිදුවිම වාර්තා කල අයුරැ

ටායිෂාන් කියන්නෙ මේ වෙද්දි ලෝකයේ ක්‍රියාත්මක වෙන දියුණුම වානිජ න්‍යෂ්ටික බලාගාරය කිව්වොත් නිවැරදියි.  ප්‍රංශයේ EDF ආයතනය විසින් ඉදි කළ EPR1750 වර්ගයේ අති දැවැන්ත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක් සහිත බලාගාරයක් වෙන ටායිෂාන් හි 30%ක කොටස් හිමිකම තියෙන්නෙත් EDF ආයතනයට තමයි. ජර්මනියේ KWU (Kraftwerk Union) හි මූලික නිර්මාණයක් වෙන EPR මොඩලය (එවක KWU මොඩලය) ප්‍රංශයේ EDF මගින් සංවර්ධනය කර ඉදි කිරීම කෙරෙනවා.

EPR කියන්නෙ සම්පීඩිත ජල ප්‍රතික්‍රියාකාරක (Pressurized Water Reactor/PWR) වර්ගයේ මෙගාවොට් 1750ක ජව උත්පාදනයක් සහිත බලාගාර විශේෂයක්. මේ බලාගාර වලින් ලෝකයේ ඉදි කරපු පළවෙනි බලාගාරය වෙන්නෙත් ටායිෂාන්. 2009 දී ඉදිකිරීම් ආරම්භ කරලා, 2018 දී මුල් වරට ක්‍රියාත්මක කළ ටායිෂාන් චීනයේ විශාලතම ජවය සහිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වෙනවා.

EPR මොඩලයේ තවත් න්‍යෂ්ටික බලාගාර තුනක් ප්‍රංශයේ ෆ්ලැමන්විල්, ෆින්ලන්තයේ ඔල්කිලුඕටෝ සහ එංගලන්තයේ හිංක්ලි පොයින්ට් හි ඉදි වෙමින් තියෙනවා.

දැන් මොකක්ද මේ වෙලා තියෙන කාන්දු කතාව?

ටායිෂාන් පරිපාලනය විසින් EDF වෙත පසුගිය දා දැනුම් දීලා තියෙනවා එක් ඒකකයක ප්‍රාථමික සිසිලන පද්ධතියේ විකිරණශීලී නිෂ්ක්‍රීය වායු සාන්ද්‍රණය ඉහළ ගොස් ඇති බව. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් නිරීක්ෂණය කළාම ඒක බලාගාරයේ ඉදිකිරීම් ආයතනයට දැනුම් දීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම මේ වගේ ලෝකෙටම පළවෙනි බලාගාරය උනාම ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා.

නමුත්, මේක අරුම පුදුම ප්‍රවෘත්තියක් නෙමෙයි. මේ විකිරණශීලී නිෂ්ක්‍රීය වායු (ප්‍රධාන වශයෙන් හීලියම්,ක්‍රිප්ටන් සහ සෙනෝන් හි සමස්ථානික) නිර්මාණය වෙන්නෙ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේ අතුරුඵලයක් විදියට. සාමාන්‍ය වෙලාවක මේවා ප්‍රාථමික සිසිලන පද්ධතියට එක් වීමක් වෙන්නෙ නෑ. හේතුව, ඒ වායූන් සියල්ලම න්‍යෂ්ටික ඉන්ධන කැට තුල සහ මුද්‍රා තැබූ කූරු තුල ඇති අවකාශයේ හිර වෙලා තියෙන නිසා. මේ සර්කෝනියම් මිශ්‍ර ලෝහයෙන් සකස් කළ ඉන්ධන ඇසිරුම් කූරක් සාමාන්‍යයෙන් මිලිමීටර 0.8 - 1 ක විතර ඝනකමකින් යුක්තයි.

The two EPR units at the Taishan plant (Image: TNPJVC)

බලාගාරයේ මේ කූරක් අවුරුදු 5-7 වගේ කාලයක් තියෙනවා. මෙහෙම තියෙද්දි, උෂ්ණත්වයේ හා පීඩනයේ බලපෑම සහ විඛාදනය වීම නිසා ඇතැම් වෙලාවට කූරක් හෝ කීපයක් සිදුරු වීම (fuel rupture) වෙන්න පුළුවනි. මේක නිතර සිදු වෙන, ඒ වගේම බලාපොරොත්තු විය යුතු, සාමාන්‍ය සිද්ධියක්. එහෙම සිදුරු උනාම ඒ මගින් අර කූර තුළ හිර වෙලා තිබ්බ නිෂ්ක්‍රීය වායූන් ප්‍රාථමික සිසිලන ජලයේ මිශ්‍ර වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නෙ. මේ ජලය නිරන්තරයෙන් අධීක්ෂණය කෙරෙන නිසා ඒක ක්ෂණිකව හඳුනාගන්නත්, පහසුවෙන් විසඳන්නත් පුළුවන් දෙයක්.

මෙහෙම සිදු විමක් සිදු වුණා කියලා න්‍යෂ්ටික බලාගාරය වහලා දාලා කාන්දු වෙන කූර හොයන සිරිතක් නෑ. මේ වගේ බලාගාරයක් අක්‍රීය කෙරෙන හැම විනාඩියකටම කෝටි ගාණක පාඩුවක් වෙනවා වගේම ජාලයට වෙන බලපෑමත් ඉතා විශාලයි. ඒ නිසා බලාගාරයේ නැවත ඉන්ධන යෙදීමේ දී තමයි මේ සිදුරු වූ ඉන්ධන කූරු හොයලා ඒවා ඉවත් කරන එක සිද්ධ වෙන්නෙ. මේ ප්‍රාථමික සිසිලන චක්‍රය බාහිරට සම්බන්ධයක් නැති හුදෙකලා පද්ධතියක් නිසා ඒකෙන් කාටවත් බලපෑමක් වෙන්නෙ නෑ.

ඒ නිසා මේ වෙද්දිත් ටායිෂාන් බලාගාරය තමන්ගේ උපරිම ජව උත්පාදනය සහිතව ක්‍රියාත්මක වෙමිනුයි තියෙන්නෙ. ඊළඟ ඉන්ධන පිරවුමට එනකම් ඒක වෙනස් වෙන එකක් නෑ.

Related Articles