Loading...
මහාචාර්ය උදන්ත අබේරත්න​ගේ COVID-19 රෝග විනිශ්චය කිරීමේ යෙදවුම ඩොලර් මිලියන 180ක​ට Pfizer විසින් මිලදී ගනී

2020 වසරේ මුල් කාර්තුව තුළ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ Covid-19 වෛරසය තවමත් ලොවෙන් සම්පූර්ණයෙන්ම තුරන් වූ වෛරසයක් බවට පත් වී නොමැත. මෙම කාලය තුළ විවිධ ප්‍රභේද ඇති කරමින් ලොව පුරා ව්‍යාප්ත වන මෙම වෛරසය සඳහා නිසි ප්‍රතිකාරයක් නිපදවීමට අපොහොසත් වීමට ද මෙය ප්‍රධාන කරුණක් විය. මේ වන විට ලොව පුරා ආසාදිතයින් මිලියන 625 කට අධික ප්‍රමාණයක් සහ ලොව පුරා මරණ මිලියන 6.57 ක පමණ ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාව තුළ ද Covid-19 ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ 6 කට අධික වන අතර මරණ 16,000 කට අධික ප්‍රමාණයක් ද මේ වන විට වාර්තා වේ. කෙසේ වෙතත් නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති කම හේතුවෙන් මේ සඳහා සිදුකළ හැකි ප්‍රධානම පිළියම වන්නේ රෝගය පෙර හඳුනාගැනීම සහ ඉන් වැළකීමට උත්සාහ දැරීමයි. කෙසේ වෙතත් ලෝකයම මෙම ව්‍යසනයට මුහුණ දී පවතින මෙම කාල වකවානුව තුළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු විසින් නිපදවන ලද යෙදවුමක් කරළියට පැමිණෙන්නේ එමගින් යමෙකුගේ කැස්සකට සවන් දීම මගින් Covid-19 හෝ වෙනත් ශ්වසන රෝගයක් හඳුනා ගැනීමට හැකි වීමයි. මෙම ලිපිය දිගහැරෙන්නේ එම යෙදවුම පිළිබඳවයි.

ResApp Health යෙදවුම පිළිබඳව.

පසුගිය කාලය තුළ Pfizer විසින් ඕස්ට්‍රේලියානු සමාගමක් වන ResApp වෙතට ඇමෙරිකානු ඩොලර් මිලියන 74 කට අධික මුදලක් ආයෝජනය කරමින් Covid-19 රෝගය හඳුනාගැනීම සඳහා Mobile Application එකක් නිපදවීමට යෝජනා කර ඇත. එම ක්‍රියාවලිය සාර්ථක කරමින් අප රටේ විද්‍යාඥයෙකු විසින් ඒ සඳහා යෙදවුමක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

මහාචාර්ය උදන්ත අබේරත්න මහතා

මෙම ResApp Health application  යෙදවුම නිර්මාණය කිරීම සඳහා සම්බන්ධ වී ඇත්තේ මහාචාර්ය උදන්ත අබේරත්න මහතා සහ ඔහුගේ යටතේ පවතින පර්යේෂණ කණ්ඩායමයි. මෙම යෙදවුම නිපදවීම සඳහා ඕස්ට්‍රේලියාවේ ResApp Health Limited ආයතනය විසින් මූලික වී ඇති අතර Queensland විශ්වවිද්‍යාලය මූලික කර ගනිමින් මෙම පර්යේෂණය සිදුකර ඇත. මෙය ජංගම දුරකථන යෙදවුමක් වන අතර යෙදවුම දියුණු කොට ඇත්තේ ජංගම දුරකථනයක් මගින් රෝගියෙකුගේ කැස්ස පටිගත කිරීමකට ලක් කර පසුව එය විශ්ලේෂණය කිරීමයි.

මෙම යෙදුම භාවිතා කිරීමේ දී රෝගියා හට App එක තුළින් ලබාගත නොහැකි වන දත්ත වන උණ, නාසයෙන් දියර ගැලීම වැනි ලක්ෂණ යෙදවුම තුළට ලබා දීම මගින් තවදුරටත් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතී. එමෙන්ම ඇදුම හා නිව්මෝනියාව වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග නිර්ණය කිරීමට ද හැකියාව ඇත.

ResApp Health යෙදවුම Pfizer විසින් ලබා ගනී.

මෙලෙස නිපදවන ලද යෙදවුම පසුගිය දිනෙක ලොව විශාලතම ජෛව ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Pfizer විසින් ඩොලර් මිලියන 180 ($180 Million) ට ආසන්න මුදලකට මිලදී ගෙන ඇත. එලෙස මිලදී ගත් යෙදවුම මගින් ඉතාමත් ධනාත්මක ප්‍රතිඵල ලැබෙන බව සමාගම සඳහන් කරයි. එලෙස යෙදවුම පරීක්ෂා කිරීම තුළ සිදුකරන ලද පරීක්ෂණ තුළින් රෝග ලක්ෂණ සහිත රෝගීන් හඳුනා ගැනීමේදී 92% ක පමණ නිරවද්‍ය ප්‍රතිඵල ලබා දීමේ අනුපාතයක් පවතින බව සඳහන් කරනු ලබයි. නමුත් මේ සඳහා නිසි අනුමැතිය ලබාගැනීමට තවදුරටත් සායනික පරීක්ෂණ සිදුකරන බව එම සමාගමේ නියෝජිතයන් විසින් සඳහන් කර ඇත.

මෙලෙස නිපදවන ලද යෙදවුම පිළිබඳව බොහෝ පාර්ශවයන් අදහස් පළ කරන අතරම මෙහි නිර්මාතෘ උදන්ත අබේරත්න මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම යෙදවුම තවදුරටත් වැඩිදියුණු කර ඇත්තේ වෛද්‍යවරයෙකු විසින් රෝගියෙක් නිරීක්ෂණය කිරීමේ දී රෝගියාගෙන් පිටවන ශබ්දය මගින් වුව ද රෝග විනිශ්චය කළ හැකි බවය.

එලෙසම දැනට ලොව පවතින තරමක් මිල අධික සහ සම්පත් බොහෝ වශයෙන් අවශ්‍ය වන Covid-19 රෝග විනිශ්චය කිරීමේ ක්‍රමවේද මෙම යෙදවුම තුළින් අවම කළ හැකි බවත් එමනිසා ලොව සිටින රෝගී පුද්ගලයන් හට ඉතාමත් ලාභදායී මෙන්ම ආරක්ෂිත ක්‍රමයක් ඔස්සේ නිරවද්‍ය ලෙස රෝග විනිශ්චයන් සිදුකර රෝග වලින් ආරක්ෂා වීමට හැකියාව ඇති බවත් ය.

කෙසේ වෙතත් මෙය තවදුරටත් සායනික මට්ටමේ පවතින බැවින් මෙම යෙදවුම ඉදිරියේදී භාවිතය සඳහා නිකුත් කරන බවට යම් යම් විචාරකයන් විසින් මත පළ කර ඇත. මෙවැනි යෙදුම් මගින් වර්තමාන ලෝකය තුළ පවතින භයානක මෙන්ම ඉතාමත් වේගයෙන් පැතිර යන රෝගාබාධ මෙන්ම ශරීරය තුළ නිදන්ගතව ඇති මාරාන්තික වන ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ද පූර්ව දැනුවත් වීමක් සිදුවන බැවින් ඉදිරියේදී වෛද්‍යවරුන් ඇතුළු එම ක්ෂේත්‍රයේ නිරත බොහෝමයක් දෙනාගේ පීඩනය තරමක් දුරට අවම වේ යැයි අනුමාන කළ හැක.

Sources: island.lk www.mobihealthnews.com