Loading...
ප්‍රධානතම ඩාර්ක් වෙබ් ජාලයක් වන Tor ජාලය එහි තෙවන සංස්කරණයට යාවත්කාලීන කිරීමට කටයුතු කරයි

හැමෝටම වගේ ලොකු කුතුහලයක් තියෙන ඩාර්ක් වෙබ් එක ගැනයි මේ පුවත. අපි ඩාර්ක් වෙබ් කියන්නෙ මොකක්ද කියලා මීට කලින් ඉගෙනගත්තා. ඩාර්ක් වෙබ් ජාල අතර ප්‍රමුඛතම ජාලය වෙන Tor ජාලයේ අප්ඩේට් එකක් ගැනයි මේ කියන්න යන්නෙ.

Tor ජාලය පාවිච්චි කරන කෙනෙක් නම්, දැනටමත් දන්නව ඇති මෙහෙම අප්ඩේට් එකක් වෙන බව, මොකද ටෝ බ්‍රවුසර් එක හරහා දිගින් දිගටම මේ ගැන Notifications දෙන නිසා. මේ පහත ආකාරයේ මැසේජ් එකක් සමහර අඩවි වලට පිවිසෙන විට දැකගන්න පුළුවන්.

ඒකෙන් කියන්නෙ Version 2 Onion Sites ඉක්මනින්ම කල් ඉකුත් වෙන බව. මොනාද මේ Onion සයිට් කියන්නෙ? මේ Onion (ළූණු) කියන වචනෙ ආවෙ Onion Routing කියන එකෙන්. Tor කියන්නෙ Onion Routing තාක්ෂණය පදනම් වුණ ජාලයක්. ඒ ලොකු කතා කෙසේ වෙතත්, සරලව Onion සයිට් එහෙම නැත්නම් Onion අඩවි කියන්නෙ ඩොමේන් එකේ අගට .onion කියලා එන, සාමාන්‍යය වෙබ් බ්‍රවුසර් එකකින් පිවිසෙන්න බැරි, ටෝ බ්‍රවුසර් එක හරහා පමණක් පිවිසෙන්න පුළුවන් ඩාර්ක් වෙබ් අඩවි වලට. උදාහරණයක් ගනිමු.

http://www.facebook.com/

මේ තියෙන්නෙ ඔයාලගෙ ආදරණීය ෆේස්බුක් එකේ URL එක. මේ URL එක ටයිප් කරලා ඔයාට ඕනම සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකක් උපකාර කරගෙන Facebook අඩවියට පිවිසෙන්න පුළුවන්.

http://facebookcorewwwi.onion

එතකොට මේ තියෙන්නෙ, අර ඔයාලගෙ ආදරණීය Facebook එකම Tor ජාලය හරහා, එහෙමත් නැත්නම් ඩාර්ක් වෙබ් ක්‍රමයට පිවිසෙන්න පුළුවන් URL එක. මේ URL එක ටයිප් කරලා ඔයාට සාමාන්‍යය බ්‍රවුසර් එකකින් Facebook යන්න බෑ, ඒකට ටෝ බ්‍රවුසර් එකම ඕන.

මෙතනදි අමතර ප්‍රශ්ණයක් එයි ඇයි Facebook එක මෙහෙම Onion ලින්ක් එකකුත් සපයලා තියෙන්නෙ කියලා. හේතුව මේකයි, සමහර රටවල් වල සමාජ මාධ්‍ය භාවිතා කිරීම දැඩි සේ වාරණයට ලක් කරලා තියෙන්නෙ. අන්න ඒ වගේ රටවල අදහස් ප්‍රකාශ කරගන්න බැරුව හිර වෙලා, රජයේ තාඩන පීඩන වලට ලක් වෙලා ඉන්න අයට තමයි මේ Tor ලින්ක් එකක් සපයලා තියෙන්නෙ. මොකද, ඒ අය Facebook හොරෙන් හරි ගිහිල්ලා අහු වුණොත් ඉවරයි.

Tor ජාලය කියන්නෙ ආරක්ෂිත ක්‍රමවේද ගොඩක් පාවිච්චි වෙන ජාලයක් නිසා Tor ජාලය හරහා Facebook යන්න පුළුවන් අර කලින් කිව්ව අයට රජයට හොරෙන් සහ ආරක්ෂිතව. ෆේස්බුක් විතරක් නෙවෙයි, New York Times, BBC වගේ පුවත් අඩවි පවා Onion ලින්ක්ස් පවත්වාගෙන යනවා අර විදියට අසරණ වුණ අයට පිහිට වෙන්න. ඒ වගේම, කුමක් හෝ හේතුවක් නිසා සාමාන්‍ය වෙබ් එක නොහොත් Surface web එකෙන් Facebook එකට පිවිසෙන්න අමාරු ඕන කෙනෙක්ට මේ onion ලින්ක් එක පාවිච්චි කරන්න පුළුවන්. නැවතත් අපි ප්‍රධාන කතාවට හැරෙමු.

http://www.facebookwkhpilnemxj7asaniu7vnjjbiltxjqhye3mhbshg7kx5tfyd.onion/

එතකොට මේ මොකක්ද? මේ තමයි අලුත්ම Facebook එක සඳහා වෙන onion ලින්ක් එක. එතකොට කලින් කිව්ව http://facebookcorewwwi.onion මේ ලින්ක් එක? ඒක දැන් පරණයි. ඒ පරණ ක්‍රමයට කියන්නෙ v2 onion sites කියලා. මේ අළුත්, අකුරු 56ක් පමණ දිග URL එකට අපි කියන්නෙ onion v3 කියලා. එතකොට අර Warning එකෙන් අපිට කිව්වෙ මේ v2 එහෙම නැත්නම් කොට URL ක්‍රමය ළඟදීම අවලංගු වෙලා අර අළුත්, දිග ක්‍රමයට මාරු වෙන බව. මේ අවුරුද්දෙ ජුලි මාසෙ සිට v2 අඩවි සඳහා සහාය දැක්වීම නවත්තන්න Tor ජාලය තීරණය කරලා ඉවරයි.

ඔයා onion අඩවියක් පවත්වාගෙන යන කෙනෙක් නම්, මේ අලුත් සංස්කරණය වෙත ඔයාගෙ අඩවිය අප්ඩේට් කරන්න ඕන. ඔයා User කෙනෙක් නම්, ඔයාගෙ බුක්මාක් ටික අළුත් කරගන්න වෙයි මේ අලුත්, දිග v3 onion ලින්ක්ස් වලින්. මොකද පරණ ලින්ක්ස් ළඟදීම ක්‍රියා කිරීම නවතීවි.

පසුගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේ ඉඳන්ම තමයි Tor ජාලය මේ වෙනස්කම් කරන්න ආරම්භ කළේ. 2021 ජුනි මාසෙ ඉඳන් සාමාන්‍ය පරිශීලකයන්ට මේ ගැන warning එකක් එවලා දැණුවත් කිරීම ආරම්භ කළා. ජූලි මාසයේදී v2 onion url සඳහා සහය දැක්වීම නැවැත්වීම ආරම්භ කරලා, ඔක්තෝබර් වෙනකොට v3 වෙත සම්පූර්ණයෙන්ම මාරු වෙන්නයි සැලසුම් කරලා තියෙන්නෙ.

එතකොට මොකක්ද මේ v2 සහ v3 අතර වෙනස? වෙනස ගැන කතා කළොත් v2 කියන්නෙ v3 ට සාපේක්ෂව බොහොම අනාරක්ෂිත ක්‍රමයක්. V3 එහෙමත් නැත්නම් version 3 එක ආරක්ෂිත බව වැඩි දියුණු කරපු ක්‍රමයක්. සරලව කියන්න තියෙන්නෙ අන්න ඒ වගේ කතාවක්.


ඩාර්ක් වෙබ් හා සම්බන්ධ කිසිදු ලිපියකින් Android වැඩකාරයෝ වන අප කිසිම ආකාරයක අපරාධයක් හෝ තවත් අයෙක්ට හෝ තමන්ටම හිරිහැරයක් වන ආකාරයේ කිසිම ක්‍රියාවක් සිදු කිරීමට අනුබල දීමක් කරන්නේ නැති බව අවධාරණය කළ යුතුය. එලෙස සිදුකරන යම් ක්‍රියාවන් වෙතොත්, ඒවා පරිගණක සම්බන්ධ අපරාධ ගණයට වැටෙන, දඬුවම් ලැබිය හැකි වැරදි වේ.

Tor Network එක හෝ ඕනෑම ඩාර්ක් වෙබ් ජාලයක් ඔබ භාවිතා කළ යුත්තේ අධ්‍යාපනික අරමුණු සඳහා සහ ඔබට හෝ අන් කිසිවෙකුට හානියක් නොවන ආකාරයේ ක්‍රියා සඳහා පමණක්ම බව තරයේ සිහි තබාගන්න.

එමෙන්ම, කිසියම් ඩාර්ක් වෙබ් ජාලයක් භාවිතා කිරීමේදී ඔබට හෝ අනෙකෙකුට සිදු වන මොනම ආකාරයක හෝ අගතියක් වෙනුවෙන් අප වග නොකියන අතර, ඔබ සිදු කරන ඕනෑම ක්‍රියාවක වගකීම සම්පූර්ණයෙන්ම ඔබ සතු වේ.