Loading...
හිතට අල්ලන professional විදිහට Facebook profile එක maintain කරමු

ඉස්සර තමයි අපි සෝෂල්මීඩියා පාවිච්චි කරන්නේ අපි ආස නළු නිළියන්ගේ ෆොටෝ, හදපු කෑම, ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් වෙච්චි වෙලාවල ගහපු ෆොටෝ එහෙම දාන්නේ. මේ වෙනකොට සෝෂල් මිඩියා කියන්නේ බොහොම බලගතු ප්‍රොමෝෂන් ටූල් එකක් බව නම් නොකියා ම බැහැ. වෙනත් කාලවල් වල වගේ නෙවෙයි, මේ වෙනකොට බොහෝ සමාගම් තමන්ගේ සමාගම විසින් මීළඟට එකතු කරගත යුතු සේවකයින් ගැන සොයන්නේ එක්කෝ Facebook එහෙමත් නැතිනම් LinkedIn වගේ වෙබ් අඩවි හරහායි.

මේ වන විට ලංකාවේ බොහොමයක් සමාගම් වලින් සේවය සඳහා බඳවාගන්න සෙවීම් කරන්නේ තමන්ගේ සමාජ ජාල පිටු වල දැන්වීමක් දැමීම මගින් තමයි. එය ඔවුන්ට මුල්‍යමය අතින් වාසියක් සහ ඉක්මන් බවත් තිබෙන නිසා ඒ වෙත යොමුවෙන බවක් දකින්නට ලැබෙනවා.

මේ නිසා ඔබට රැකියාවක් ලබාගන්න උවමනාවක් තියෙනවා නම් කෝකටත් කියලා තම තමන්ගේ සෝෂල් මිඩියා පිටු සුද්ද පවිත්‍ර කරගෙන ඉන්න එක නුවනට හුරුයි. එහෙනම් තමන්ගේ පිටු කොහොමද පවත්වාගෙන යන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් දැනගෙන ඉමු නේද?

1. පරිපුර්ණ ප්‍රොෆයිල් එකක් පවත්වාගෙන යන්න

ඔයා සෝෂල් මිඩියා පිටුවක් විදියට LinkedIn එහෙම භාවිතා කරනවා නම් හැම වෙලාවේම තොරතුරු වලින් සපිරි ප්‍රොෆයිල් එකක් පවත්වාගෙන යන්න මතක තියාගන්න. එහි ඔයාගේ රැකියා ඉතිහාසය, අධ්‍යාපනය, රැකියාවට සම්බන්ධ අමතර සුදුසුකමක් තියෙනවා නම් ඒවා දමන්නට අමතක කරන්න එපා. නිතරම සේවායෝජකයෙක් ඔයාගේ පිටුව දිහා බලන විදියට බලන්න.  එතකොට අඩුපාඩු පෙනෙන්න පටන් ගනීවි. කිසිම කෙනෙක් කැමති නැහැ බාගෙට ලියපු අයදුම් පත්‍රයක් හරි ලොකු හිස් අවකාශයක් ඔයාගේ පිටුවෙන් දකින්න. තොරතුරු පුරවන්න කියන්නේ අන්න ඒකයි.

2. වෘත්තිමය තත්වයෙන් පවත්වාගෙන යන්න

මතකද අපි හැඳින්වීමේදී කිව්වා ඔය ස්ටෙලා වෙච්චි ෆොටෝ එහෙම තියාගන්න එපා කියලා. අන්න ඒ කාරණාව තමා මෙතෙන්ට අදාළ වෙන්නේ. මොකද කිසිම දෙයක් ඔයා අන්තර්ජාලයට මුදා හරියට පස්සේ ඒවා පුද්ගලික දත්ත බවට පත් වෙන්නේ නැහැ. ඔයා ගැන හොඳටම පැහැදුණු සේවායෝජකයෙක් පින්තුර හරහා යනකොට ඔයා සෙට් වෙලා බඹර පදමින් ඉන්නවා දැක්කොත් ඔයාට වගකීමක් භාරදෙන්න දෙපාරක් හිතන එක අහන්නත් දෙයක් ද? ඒ නිසා පරිස්සමට හොඳේ!!

අඩු ගානේ ඒ පින්තුර ඉවත් කරන්න බැරි නම් අවශ්‍යම අයට හැරෙන්නට අනික් අයට පෙනෙන්නේ නැතිවෙන්න security settings වත් හදාගන්න.

3. ජොබ් එක ගැන කතා කරන ගෘප් වලට සෙට් වෙන්න

සමාජ ජාල වල ඔයා කරන රස්සාවට අදාළ අදහස විස්තර හුවමාරු වෙන ඕනේ තරම් ගෘප්ස් තියෙනවා. ඒ වගේම ඒ ගෘප් වල තියෙන පොස්ට් වලට තමන්ගේ අදහස් එකතු කරමින් සක්‍රියව සිටින කොට ඔයාට ඔයාගේ ක්ෂේත්‍රයේම සේවය කරන මිතුරන් හිතවතුන්ගේ සම්බන්ධතා නොදනිම ඇතිවෙන්නටත් ඉඩ තියෙනවා. කවුද දන්නේ මේ සම්බන්ධතා වලින්ම ඔයාගේ අනාගතේ තීරණේ වෙයිද කියලා…!

4. නිතර අප්ඩේට් කරන්න

මේක තරමක් අදාළ වෙන්නේ LinkedIn, Facebook වගේ සයිට් වලට තමා. හොඳට මතක තියාගන්න ඔයා යම් දියුණුවක්, ජයග්‍රහණයක්, රැකියා උසස් වීමක් ලැබුවොත් ඒ ගැන මේ පිටු වල සටහන් කිරීම වටිනවා. මොකද ඔයා වෘත්තිමය සම්බන්ධතා මේ සමාජ ජාල පිටු වලට එකතු කරගෙන සිටිනවා නම් ඒ අය මේ තොරතුරු දකින නිසා. එතකොට ඔයා, ඔයා කරන රක්ශාවේ දියුණුවකට පත්ව හිඳින කෙනෙක් කියන එක අනික් ය දන්නවා. එහෙම නැතුව ඔයා බැංකුවක මැනේජර් කෙනෙක් වෙලා ඉන්නකොට සෝෂල් ප්‍රොෆයිල් වල බෑන්ක් ඇසිස්ටන්ට් කෙනෙක් කියලා දාගෙන හිඳලා වැඩක් නැහැනේ…

5. Friendsලට වඩා connection හදාගන්න

ඉස්කෝලේ හිටපු, හොස්ටල් යාළුවො, ටියුෂන් ක්ලාස් එකේ යාළුවො එහෙම තමා සාමාන්‍යයෙන් අපි සෝෂල් මිඩියා පිටුවක් හැදුවම අපිට රික්වෙස්ට් එවන්නේ. ඒ හැටි. ඒත් ඔයා වෘත්තිමය සම්බන්ධතා තියාගන්නා සෝෂල් මිඩියා පිටු වල ඔයාගේ රැකියාව කරන තැන නිලධාරින්, සේවා ස්ථානයේ මිතුරන් වගේ අය විතරක් එකතු කරගන්න එක නුවනට හුරුයි. මොකද ඔයා ගැන අදහසක් ගන්න උත්සහ කරන සේවා යෝජකයෙක් ඔයාගේ පිටුවේ සැරිසරනකොට “පුත්තලම් බුරුවා” වගේ නමක් තියෙන කෙනෙක් හිටියොත් ඉවරයි නේද?

6. Contact details පේන්න තියන්න

යම් සේවා යෝජකයෙක් ඔයාව තෝරාගෙන ඔයාව සම්බන්ධ කරගන්න හිතලා ඔයාගේ ෆෝන් හරි ඊමේල් ලිපිනයක් වගේ දෙයක් ඉල්ලපු වෙලාවක. ඔයා එහෙම එකක් දාලා නැත්තම් සොරි ඩොට් කොම් නේද පිංවත?

ආන්න ඒ නිසා ඔයා බොහොම ඉක්මනින්ම සම්බන්ධ කරගන්න පුළුවන්, නිතරම ලෝග් වෙලා ඉන්න, ඉක්මනින් අප්ඩේට් වෙන ඊමේල් එකවුන්ට් එකක් සහ ෆෝන් නොම්මරයක් දීලා තියෙන එක හරිම වටිනවා.

7. දැක්ක ගමන් ඇහැ යන ෆොටෝ එකක් profile picture එකට

නිකම් මල්සරාගේ මල්ලිගේ පුතා වගේ ඉන්න පින්තුර නෙවෙයි, පොඩ්ඩක් තැනකට ගිහින් පෙන්නන්න පුළුවන් වැදගත් විදිහට ඇඳලා ඉන්න පින්තුරයක් ප්‍රොෆයිල් ෆොටෝ එක විදියට භාවිතා කරන එකත් බොහොම හොඳ වැඩක්. මොකද, අර සුදුසුකම් වලින් පිරෙන්නේ 95% නම් ඉතිරි 5%  මෙතනින් ගොඩ දාගන්න බොහෝ දුරට හැකියාව ලැබේවි, ඔයා හොඳ පින්තුරයක් දාලා තිබ්බොත්.

8. අනවශ්‍ය Tags අයින් කරගන්න

සමහර අය ඉන්නවා කාලා ඉවර වුනු වම්බටු පොතුත් ෆොටෝ ගහලා යාළුවො ටැග් කරලා ෆෙස්බුක් දාන අය. අනේ ඒ නිසා කරුණා කරලා ඔයාගේ ප්‍රොෆයිල් එකේ ටැගින් සහ පින්තුර සම්බන්ධයෙන් තියෙන ප්‍රයිවසි සෙටින්ග්ස් ටික තමන්ට සුදුසුයි කියලා හිතෙන විදියට කස්ටමයිස් කරලා තියාගන්න කල් ඇතිවම. එතකොට අවශ්‍ය පින්තූර සහ පෝස්ට් විතරක් තමන්ගෙ වෝල් එකේ රඳවගතහැකි. නැත්නම් කෑම විතරක් නෙවෙයි බීල වැඩිඋන වෙලාවට, පිස්සු වැඩ කරද්දි ගත්ත පින්තූර තමන්ටත් හොරෙන් ටැග් වෙලා වෝල් එකට ආවොත් මල විනාසයයි නේද?

9. දෙවරක් හිතා දාන්න ඕනේ කොමෙන්ට්ස් සහ ස්ටේටස්!!

මොන තරම් ඔයා ආගමට දහමට තමන් විශ්වාස කරන දේශපාලන දර්ශනයට එකඟ වුනත් කමක් නැහැ. තමන්ගේ වෘත්තිමය ප්‍රජාව ඉන්න ප්‍රොෆයිල් එකේ එවැනි කොමෙන්ට්ස් ස්ටේටස් අප්ඩේට් කරන්න එපා. ඒක එච්චර හොඳ ක්‍රියාවක් නෙවෙයි. අනික් අතට ඔයාට ජොබ් එකක් දෙන්න ඔයාගැන හොයන සේවා යෝජකයා ඔයා විශ්වාස කරන මොනවා හෝ මතිමතාන්තරයක් තදින්ම විවේචනය කරන කෙනෙක් නම් එතනින් එහාට වෙන්න පුළුවන් දේ ආපහු කියන්න උවමනා නැහැ නේද?

10. ගේම් ලකුණු ? එව්වා ගැන හිතන්නවත් එපා.

ගේම් එකක් ගහලා ආතල් එකක් අරගෙන ඒ ගත්තු ආතල් එක අනික් අයත් එක්ක බෙදා ගන්න එක අපේ ඉතින් ලාංකික ගතියනේ. ඒ වුනාට මේ ප්‍රොෆයිල් එකට ඒ වැඩේ කරන්න එපා. ඔයා ගැන හොයන සේවා යෝජකයෙක්ට ඔබ අනවශ්‍ය විදිහට කාලෙ නාස්ති කරන කෙනෙක් හැටියට පෙනෙයි. දැනටමත් රැකියාවක නිරත වෙන කෙනෙක් උනත් මේ දේවල් වලින් පරිස්සම් උනොත් හොඳයි. ඔයා දිනපු ගේම් එකේ ලකුණු ඔයාගේ වෝල් එකේ පබ්ලික් වැටෙන වෙලාවට ඔයා ඔෆිස් එකේ නම් ඉන්නේ, ඔයාගේ බොසුත් ඔන්ලයින් ඒ වෙලාවේ ඉන්නවා කියන්නේ, සොරි ඩොට් කොම් නේද?

අනික එහෙම දානකොට ඔයා කොතරම් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් වුනත් බොස් හිතන්න ඉඩ තියෙනවා ඔයා රාජකාරි වෙලාවෙත් හොරෙන් ගේම ගහමින් ඉන්න කෙනෙක් විදියට.