Loading...
වලේ නොවැටී smart විදිහට Credit card එක පාවිච්චි කරන්න smart tips 10ක්

ක්‍රෙඩිට් කාඩ් අරන් වලෙ වැටිලා ඉන්​න කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියපු ගමන් මතක් වෙන්නේ තමන්ව ගිලින්න කට ඇරගෙන ඉන්න රාක්ෂයෙක් වෙන්න පුලුවන්. ක්‍රෙඩිට් කාඩ් නැති කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියනකොට දැනෙන්නේ "ආසයි බයයි" හැඟීමක් වෙන්න පුලුවන්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ඇත්තටම ඔබව විනාස කරන මර උගුලක්ද?

සාමාන්‍යයෙන් "මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා" කියල කියනකොට වටේ පිටේ ඉන්න අය උපදෙස් දෙන්නේ ගන්න එපා කියලා. මෙතනින් කීප දෙනෙක් කියනවා "ගන්න එපා බං, මමත් අරන් එරිලා ඉන්නේ" කියලා. හැබැයි ඇත්ත කතන්දරේ තමයි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න හොඳ පරිචයක් තියේ නම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ වාසිදායක ගනුදෙනුවක් කියන එක. හැබැයි ඔබත් එහෙමට විනයක් නැති මනුස්සයෙක් නම් ඔබට ක්‍රෙඩිට් කාඩ් අරගෙන කරගන්න හදන්නේ විනාශයක්.

අපි බලමු කොහොමද හරිය​ට ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ කියලා.

1. ඕන කෙනෙකුට ක්‍රෙඩිට් කාඩ් ගන්න පුලුවන්ද?

ඔව්. ඕන කෙනෙකුට ඒ ඒ බැංකුවේ ඒ ඒ ක්‍රෙඩිට් කාඩ්පත් වලට අදාළ සුදුසුකම් සපුරලා තියෙනව න​ම් ක්‍රෙඩිට් කාඩ් එකක් ඉල්ලුම් කරන්න පුලුවන්. ඊට පස්සේ ඒ අයට අවශ්‍ය සියලුම සුදුසුකම් හරියට තියෙනවා න​ම් කාඩ් එක අනිවාර්‍යෙන් ලබාගන්න පුළුවන්.

2. අත්‍යවශ්‍යම දේකට විතරක් භාවිතා කරන්​න

ක්‍රෙඩිට් කාඩ් කියන්නේත් අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ සර්පයෙක් තමයි. වලිගෙන් ඇල්ලුවොත් බඩු, බෙල්ලෙන් අල්ලගත්තොත් ගොඩ. ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න සුදුසු වෙන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය සම්බන්ධයෙන් හොඳ කලමණාකාරීත්වයක් තියෙන, ලේසියෙන් අහුවෙන්නේ නැති, ලේසියෙන් පෙළඹවීම් වලට යටත් වෙන්නේ නැති, හොඳ විනයක් තියෙන්න මනුස්සයෙක් කිව්වොත් හරි. ඔබත් අන්න එහෙම කෙනෙක්නං අදම ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තට පාඩු නෑ!

3. පොලියක් එකතු නොවෙන්න හරියට ගෙවීම් කරන්​න

ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කලින් හොඳට මතක තියාගන්න. ක්‍රෙඩිට් කාඩ් ලබා දෙන සමාගමක්, ලංකාවේ නම් ප්‍රධාන වශයෙන් බැංකුවක්, ඔබට කාඩ් එකක් ලබා දෙන්නේ ඔබට තියෙ​න ආදරේට නෙවෙයි, තමන්ගේ වාසියට. අවුල් වුනාද?

අවුල් වෙන්න දෙයක් නෑ. ඕක නරක දේකුත් නෙවෙයි. මොකද තමන්ට වාසියක් ගන්න නම් පාරිභෝගිකයාට වාසියක් ලබාදෙන්නත් ඒ අයට සිද්ධ වෙනවා. ඒක තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඔබට තියෙන වාසිය. වෙනත් වචන වලින් කියනවා න​ම් අඥානයෙ​ක් ක්‍රෙඩිට් කාඩ් ගත්තහම ක්‍රෙඩිට් කාඩ් එක ලබා දෙන සමාග​ම පෝසත් වෙන අතරම ඥාණවන්තයෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තහම තමන්ගේ වාසිය අරගෙන අමාරුවේ නොවැටේ ජොලියේ ඉන්නවා.

දැන් අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියල. ඔන්න ඒකෙන් වියදම් කරලා බඩුත් ගන්නවා. දැන් මොකැයි කරන්න ඕන? දවස් 55 ට කලින් හෝ ඒ වෙනකොට ගෙවන්න මුලු මුදලම. ගොඩක් දෙනෙක් කරන්නේ බැංකුවෙන් එවන ස්ටේට්මන්ට් එකේ ගෙවන්න කියලා ලොකුවට පෙන්නන ගාණ ගෙවලා දාන එක. ඒ කියන්නේ අවම වශයෙන් ගෙවන්න ඕන ගාණ. අන්න එතකොට වෙන්නේ ඉතුරු ගාණට සෑහෙන්න පොලියක් අය වෙනවා. ලොකු ගාණක් වියදම් කරපු කෙනෙ​ක් අවුරුදු ගාණක්ම ගෙවලත් ඉවරයක් වෙන්නේ නැත්තේ ඒකයි.

4. කරන ගණුදෙනු සියල්ල වාර්තා කරගන්​න

ඔළුව කොම්පියුටරයක් කියලා හිතාගෙන තමන්ගේ මූල්‍ය කටයුතු මනෝමයෙන් කරන්න යන අයට සාමාන්‍යයෙන් වෙන්නේ මූල්‍යම තත්වය පහලට වැටි​ලා වෙලා රෝලෙන් දුවන්න වෙන එක. කවදාවත් ණය ගෙවලා ඉවරයක් නෑ. ඔබ ලෝකේ අංක එකේ ගණකාධිකාරීවරයෙක් වුනත් කමක් නෑ, ක්‍රෙඩිට් කාඩ් විතරක් නෙවෙයි ඔබේ ජීවිතයේ දෛනික අය වැය ලියන්න. නැත්නම් දැන් ඕවට හරියන ස්මාට්ෆෝන් ඇප්ලිකේෂන් වුනත් තියෙනවා.

මේ ආකාරයට ඔබට ක්‍රෙඩිට් කාඩ් පතින් වියදම් කරන මුදල ගැන අවධානයෙන් ඉන්න පුලුවන්. එතකොට ඒ ඒ වියදම් වල දිනයත් එක්ක වාර්තා තියාගන්නකොට පොලී හැදෙන්න කලින් ගෙවලා දාන්න පුලුවන් වෙනවා. අන්න එතකොට හිතේ සැනසීමෙන් ඉන්න පුලුවන්.

5. තමන්ගේ ආදායම තරමට පමණක් වියදම් කරන්​න

ගෙවන්න බැරි න​ම් ක්‍රෙඩිට් කාඩ් එක හැම එකකටම දික් කරන්න යන්නේ නැතුව ඉන්න ඕන. මෙන්න මේක අයිති වෙන්නේත් අර කියපු මූ​ල්‍ය විනය කතන්දරේට තමයි. තමන් හැමවිටම දැනගන්න ඕන මාසේ අන්තිමට තමන්ට උපයන්න පුලුවන් ගාණ. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාව ඒ වගේ කීප ගුණයක් තිබුණත් ඔබ වියදම් කරන්න ඕන ඒ උපයන ගාණට සරිලන්න තමයි.

දැන් උපයන සම්පූර්ණ ගාණට හරියන්න වියදම් කරලා හරියන්නේත් නැහැනේ. හැම විටම දෙයක් ගන්න වුවමනා වෙනකොට හිතලා බලන්න ඒ වියදම මාසේ අන්තිමට තියෙන වෙනත් වියදම් අවසාන කලාට පස්සේ පියවන්න පුලුවන්ද කියලා. පුලුවන් නම් කිසි ගැටළුවක් නෑ, පොරක් වගේ ක්‍රෙඩිට් කාඩ් එක දික් කරන්න.

6. අත්‍යවශ්‍ය දේ පමණක් මිලදී ගන්​න

ඔව්. දැන් හැමතැනම වගේ ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් ගෙවන්න පුලුවන්. ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වෙනදට සාක්කුවේ තියෙන මුදලට සරිලන්න බඩු ගන්න කෙ​නා අද කාඩ් එකේ ලිමිට් එක ඉවර වෙනකන්​ම මිලදී ගන්​න ගන්න පෙළඹෙන එක. ක්‍රෙඩිට් කාඩ් තිබ්බා කියලා තමන්ට ඕනෑ එකයි එපා එකයි අරගෙන ණය ගොඩ ගහගෙන හරියන්නේ නැහැනේ. හැම වෙලාවකම හොඳ මූ​ල්‍ය විනයක් තියාගන්න ඕන තමන්ගේ වියදම් සම්බන්ධයෙන්. ක්‍රෙඩිට් කාඩ් තියෙන කෙනෙක් වෙනදාටත් ව​ඩා එක්ස්ට්‍ මූ​ල්‍ය විනයක් තියාගන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ පෙළඹවීම ඩබල් ට්‍රිබල් කරන දෙයක් නි​සා.

7. Cash Loans ගන්න එ​පා

ක්‍රෙඩිට් කාඩ් එකකින් cash loan ගන්නත් පුලුවන් තමයි. හැබැයි අපි නං කියන්නේ බැරිම අවස්ථාවක්දී ඇරෙන්න ගන්න යන්න එපා කියලා තමයි. හේතුව අධික පොලිය. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකකින් ඔබට යම් සීමාවක් දක්වා ණය ගන්න පුලුවන් මුදල් වශයෙන්. ඒක මරු වැඩේ හදිසියකට. හැබැයි එහෙම හිතෙන හිතෙන වෙලාවට කාඩ් එකෙන් සල්ලි ගන්​න යන ඔබට තරු විසිවෙන්නේ ඒකට පොලී ගෙවන්න ගියහම. ඒ නිසා හදිසියක් කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ඕන.

8. බැරිම වුනොත් පොල්ල තියමුද?

අන්න ඒක හිතන්නවත් එපා. ගොඩක් දෙනෙක් දැනට කෙළවෙලා තියෙන ක්‍රෙඩිට් කාඩ්පත් කෙරුවාවෙන් බෙල්ලේ වැල දාගන්නේ මෙන්න මෙතනට ආවට පස්සේ. ගමේ කඩේ මුදලාලිට වගේ ක්‍රෙඩිට් කාඩ් ලබා දෙන ආයතන වල​ට වලට පොලු තියන්න බෑ. වද දෙනවා, වාත වෙනවා, ඊලඟට නඩු දානවා. සමහර වෙලාවට ඔබ වැඩකරන තැනටත් මේ ගැන දන්වලා ඔබේ පඩියෙන් මුදලක් අය කරගන්න හදාගන්න අවස්ථාත් තියෙනවා. ඔය විතරක් නෙවෙයි, ක්‍රිබ් එකට ඒ කියන්නේ අසාදු ලේඛනයට වැටෙනවා. ඉන් පස්සේ ඉතින් ආයෙ ක්‍රෙඩිට් කාඩ් නෙවෙයි, ලෝන් එකක්වත් ගන්නවා බොරු.

9. වසරේ අවසානයේ සේ​වා ගාස්තුවක් ගෙවන්න ඕ​නේ

ඔව්. ඕනම ක්‍රෙඩිට් කාඩ් ලබා දෙන සමාගම​ක් තමන්ගේ සේවාවන් වෙනුවෙන් යම් මුදලක් වාර්ෂිකව අය කරනවා. මොන මගුලකටද වැඩියෙන් ගාණක් ගෙවන්නේ කියලා හිතෙනවද? ඔව්. ක්‍රෙඩිට් කාඩ් සමාගම් වලින් මේ වෙනකොට පාරිභෝගිකයාට එක එක වරප්‍රසා​ද ලබාදෙනවා. එක් එක් බඩු භාණ්ඩ හෝ සේවාවන් සඳහා ඩිස්කවුන්ට්. එතකොට එක එක තැන්වලින් පහසු ගෙවීමේ ක්‍රමයට බඩු ගැනීමේ හැකියාව.

ඇත්තම කියනව න​ම් මේ අවුරුද්දකට ගෙවන ගාණ පාඩු නෑ. කාඩ් එකේ වටිනාකම සහ ප්‍රමුඛතාවය ඉහළ යනකොට ගෙවන්න ඕන වාර්ෂික ගාණ වැඩිවෙනව තමයි. ඒත් ඒ සමානුපාතිකවම ලැබෙන සේවාවනුත් වැඩි වෙනවා. සමහර බැංකු වල වාර්ෂිකව කීයක්වත් ගෙවන්න ඕන නෑ. ඒත් මාසෙකට අනිවාර්යයෙන්ම කාඩ්පතින් යම් වියදම් ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ සීමාවට අඩුවෙන් වියදම් කලොත් ඒකට අමතර මුදලක් ගෙවන්න වෙනවා. අන්න එතනටත් එන්නේ අර මූල්‍ය කලමණාකරණයක් තියෙන්න ඕන කියන එක තමයි.

10. ක්‍රෙඩිට් කාඩ් එපා වගේ, මොනවද ඉතින් වාසියක් කියලා තියෙන්නේ?

මෙච්චර වෙලා ඔලුවට දැනෙන බාසාවෙන් ක්‍රෙඩිට් කාඩ් හරියට පාවිච්චි නොකළොත් වෙන විනාශ​ය ගැන කිව්වේ, ගන්න එපා කියන්න නෙවෙයි. අරගෙන කොහොමද පාවිච්චි කරන්නේ කියලා කියලා දෙන්න. ක්‍රෙඩිට් කාඩ් ගන්න එකේ වාසි ගොඩයි. අතිශයින්ම කෙටියෙන් කියනවා න​ම් මෙහෙමයි. ක්‍රෙඩිට් කාඩ් කියන්නේ අනාගතයට ගැලපෙන සල්ලි. සල්ලි පර්ස් එකේ පුරවගෙන යනවට වඩා ආරක්ෂිතයි. ඒ වගේම හදිසියකට මේ තරම් වටින දෙයක් තවත් නෑ.

එතකොට හැම ක්‍රෙඩිට් කාඩ්පතකටම යම් යම් ඩිස්කවුන්ට් හිමිවෙනවා. මේක අර ඇත්ත ගාණ කපලා වැඩි ගණන් ලේබලයක් අලවලා ඩිස්කවුන්ට් දෙනවා වගේ නෙවෙයි. ක්‍රෙඩිට් කාඩ් එක්ක ඔබට ලැබෙන්නේ ඇත්තටම ඩිස්කවුන්ට් එකක්. හැබැයි ඒ කියන්නේ ඩිස්කවුන්ට් හම්බුවෙන පලියට ගන්න කියන එක නෙවෙයි. ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා න​ම් ඩිස්කවුන්ට් හම්බෙනවද කියලා බලන්න කියන එක. තවත් ක්‍රෙඩිට් කාඩ් වාසියක් තමයි පහසු ගෙවීමේ ක්‍රම.

සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න ගන්නකොට යම් පොලියක් එකතු වෙනවා. ඒත් දැන් තියෙන තරගකාරීත්වයත් එක්ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හැම ක්‍රෙඩිට් කාඩ් එකකින්ම හඳුන්වලා දෙනවා. සමහර බැංකු ලෝබ නැතුව පළවෙනි වාරිකෙත් ගෙවනවා. මෙන්න වාසි! තව ඉදිරියේදී මේ වාසි ගැන වැඩිපුර කතා කරමු.

දැන් ඔබ දන්නවා ක්‍රෙඩිට් කාඩ් එකක් ඔබට වුවමනාද එපාද කියලා. අපි න​ම් දෙන අවවාදය තමයි ඔබට අවශ්‍ය නැති න​ම් ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා කියන එක. ඔබට හැබෑවටම ඉන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හිතලා බැලුවට කමක් නෑ. ඒත් ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් හරියට පාවිච්චි කරන්න විනයක් නැත්නම් ඕනෑකම තිබුණත් නොගෙන ඉන්න එක වඩා හොඳයි. මතක තියාගන්න, ඕන කෙනෙක්​ට ක්‍රෙඩිට් කාඩ් ගන්න පුලුවන්, ඒත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න පුලුවන් සිහි මොලේ තියෙන, මූල්‍ය විනයක් තියෙන කෙනෙකුට විතරයි.