Loading...
Phone එකේ Storage එක මදි නම්, මේ දේවල් 5 කරලා බලන්න

Android phone එකක් පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මේ storage ප්‍රශ්ණෙ. ෆෝන් එක අරන් ටික කාලයක් යනකොට Storage එක මදි වෙනවා. මේකට මොනාද අපිට කරන්න පුළුවන්? මේ ප්‍රශ්ණෙට අපිට යොදන්න පුළුවන් පිළියම් 5ක් ගැන අපි අද කතා කරමු.

1. Cloud storage service එකක් පාවිච්චි කරමු

මේක බොහොම පහසු වැඩක්. Dropbox, Google Drive, OneDrive, Mega, pCloud, Amazon Drive, Sync.com වගේ බොහොමක් Cloud storage services අපිට ලබාගන්න පුළුවන්. මෙයින් සමහර ඒවායෙ නොමිලේ ලබාගන්න පුළුවන් පැකේජ සහිතයි. ඒ වගේම, OwnCloud, NextCloud වගේ self-hosted service එකකට යන්න පුළුවන් ඔයා Cloud computing ගැන දන්න කෙනෙක් නම්. මේ සේවාවකින් ලබාදෙන app එක ස්ථාපනය කරගැනීමෙන් ඔයාට පුළුවන් ඔයාගෙ phone එකේ තියෙන ඡායාරූප, වීඩියෝ ආදිය මේ cloud storage service එකකට upload කරලා, free storage capacity එක වැඩි කරගන්න.

Google Drive සේවාව හරහා මේ පහසුකම ලබාගන්න නම්, Settings > Back up & sync වෙත පිවිස එය සක්‍රීය කර ගැනීම තමයි කරන්න ඕන. මෑතක Google ආයතනය විසින් Google Photos කියන අපි මේ කතා කරන ආකාරයේ cloud storage එහෙමත් නැත්නම් cloud sync සේවාව සඳහා සීමාවන් පැනවුවා. මිට ඉහත නම් සීමා රහිතව ඔයාගෙ ඡායාරූප Google Photos වෙත එක් කිරීමේ පහසුකම ලබා දීලා තිබුණා.

2. දුරකථනයේ storage එක පිරිසිදු කරගනිමු

සාමාන්‍යෙන් ඕනම ආකාරයේ ඩිජිටල් උපාංගයක් කලක් පරිහරණය කළාම ඒ උපාංගයේ විවිධ ආකාරයේ files තැන්පත් වෙලා free storage capacity එක අඩු වෙනවා. මේ files ගැන සොයා බැලුවොත්, බොහොමයක් cache files, thumbnails, chat backups වගේ දේවල් තමයි. ටිකෙන් ටික තැන්පත් වුණත් දීර්ඝ කාලීනව මේවා විශාල මතක ධාරිතාවක් අත්පත් කරගන්නවා.

විශේෂයෙන් Android දුරකථන වල apps වල විශාල වශයෙන් cache මතකය තැන්පත් වීම සිදු වෙනවා. WhatsApp වගේ apps වල තියෙන backups සේවාවන් නිසා විශාල files අපේ අනුදැණුමකින් තොරව අපේ දුරකථන වල ගබඩා වෙනවා. ඒ වගේම Chrome වගේ browsers විශාල ලෙස cache එකක් ගබඩා කරගන්නවා. Cache මතකය මාසෙකට වරක් වගේ හෝ මකා දැමීමෙන් ඔයාට ඔයාගෙ දුරකථනයේ free storage capacity එක වැඩි කරගන්න පුළුවන්.

දුරකථනයේ තියෙන apps වල cache මතකය මකන්න අවශ්‍ය නම්, ඔයාට පුළුවන් Settings > Apps & notifications > All apps හරහා ගිහින් අවශ්‍ය ඇප් එක හඳුනාගෙන, එතැනින් Storage & cache තෝරලා, ඒ ඇප් එකේ cache මතකය මකා දමන්න පුළුවන්. (මේ පියවර විවිධ දුරකථන වල සුළු වෙනස්කම් සහිතව තියෙන්න පුළුවන්.)

ඒ වගේම FX File Explorer වැනි app එකක් භාවිතා කිරීම මඟින් ඔයාගෙ දුරකථනයේ storage එක විශ්ලේෂණය කරලා වැඩියෙන් storage capacity එකක් අත් කරගෙන තියෙන ගොණු මකා දමන්න පුළුවන්.

තමන්ගෙ දුරකථනයේ Storage එක වැය වෙලා තියෙන්නෙ මොනවටද කියන දේ ගැන හොඳ අවධානයකින් ඉන්නවා නම් storage ප්‍රශ්ණ බොහොමයක් අඩු කරගන්න පුළුවන්.

3. භාවිතා නොකරන apps මකා දමමු

අපේ දුරකථන අපි හොඳට පරීක්ෂා කරලා බැලුවොත්, අපිට දැකබලාගන්න පුළුවන් අපේ දුරකථනයේ අපි තියන් ඉන්න සමහර ඇප්ස් අපි කවදාවත් පාවිච්චි කරන්නෙ නැති බව. එහෙම ඇප්ස් වලිනුත් ඔයාගෙ දුරකථනයේ storage එක අයත් කරගන්නවා. ඔයා පාවිච්චි නොකරන ඇප්ස් සොයා බලලා uninstall කරගැනීමෙන් free storage space එක වැඩි කරගන්න පුළුවන්.

Play Store එක ඕපන් කරලා, Options වලින් My apps & games තෝරලා Installed කියන ටැබ් එකට ගියොත් බලාගන්න පුළුවන් ඔයාගෙ apps ලයිස්තුව. එතන තියෙන Uninstall button එකෙන් ඔයාට අනවශ්‍ය apps ටික uninstall කරගන්න පුළුවන්.

4. Dex සේවාව සඳහා භාවිතා වෙන ගොණු මකා දැමීම

ඔයා භාවිතා කරන්නේ Samsung Galaxy මාදිලියේ flagship දුරකථනයක් නම්, ඔයා දැණුවත් ඇති Dex කියන සේවාව ගැන. මේ සේවාව හරහා ඔයාට පුළුවන් ඔයාගේ දුරකථනය පරිගණකයක් ආකාරයට භාවිතා කරන්න. මේ සේවාව භාවිතා කිරීමේදීත් අනවශ්‍ය ලෙස දුරකථනයේ මතක ධාරිතාව භාවිතා වීම සිදු වෙනවා. මේ සේවාව හරහා එකතු වන අනවශ්‍ය ගොණු මකා දැමීම සඳහා Dex සේවාව වෙත පිවිසී එහි ඇති apps සහ files පරීක්ෂා කරීම අවශ්‍යයි. මේ ආකරයෙන් නිතර පරීක්ෂා කිරීම මඟින් අනවශ්‍ය ගොණු නිසා සිදුවන මතකය ඇහිරීම අවම කරගන්න පුළුවන්.

5. Media files වල size එක අඩු කරගනිමු/ Laptop එකට Desktop එකට හුවමාරු කරමු

අපි හැමෝම දන්න විදියට, අලුත් දුරකථන වල දියුණු කැමරා පද්ධති භාවිතා වෙනවා. අලුත් දුරකථන වල 100MP දක්වා ප්‍රමාණයේ ඡායාරූප ලබාගන්න පුළුවන්, ඒ වගේම 4K වීඩියෝ රෙකෝඩ් කළ හැකියි. මේ කැමරා වලින් ලබාගන්න ඡායාරූප, වීඩියෝ ආදිය අධික මතක ධාරිතාවක් අයත් කරගන්නවා. මේ ගැටළුවෙන් මිදෙන්න නම් අවශ්‍ය වෙලාවලදී පමණක් උපරිම Mega Pixel ප්‍රමාණයෙන් ඡායාරූප ලබාගන්න. අනෙක් අවස්ථාවල සාමාන්‍ය ප්‍රමාණයක් භාවිතා කරන්න. මේ සැකසුම් වෙනස් කිරීම සඳහා ඔයාගෙ දුරකථනයේ තියෙන කැමරාවේ settings භාවිතා කරන්න. ඒ වගේම, වීඩියෝ ගොණු තැන්පත් කිරීම සාඳහාත් අතිශයින් විශාල මතක ධාරිතා අවශ්‍ය වෙනවා. හැකි සෑම විටම මේ ගොණු ඔයාගෙ වෙනත් උපාංගයකට move කිරීමෙන් storage ප්‍රශ්ණ බොහෝ දුරට මඟහරවාගන්න පුළුවන්.

වීඩියෝ ගොණු පරිගණකයට පිටපත් කර Handbrake වැනි නොමිලේ ලබාදෙන software එකක් මඟින් encode කිරීමෙන් එම ගොණු අයත් කරගන්නා storage ප්‍රමාණය බොහොමයක් අඩු කරගන්න පුළුවන්. දුරකථනයේ තියෙන සීමිත ඉඩ රැකගන්න නම් නිතරම ඔයාගෙ කැමරාවලින් ලබාගන්නා ඡායාරූප, වීඩියෝ ආදිය පරිගණකයක් වෙතට හෝ cloud storage සේවාවක් වෙතට move කරගන්න අවශ්‍යයි.

ඔයාගෙ දුරකථනයේ මතක ධාරිතාව ප්‍රමාණවත් ද?

අපි කලින් කතා කළ දේවල් මොනව කළත්, ඒත් ප්‍රශ්ණය විසඳිලා නැත්නම්, ඔයාට සිදු වෙනවා වැඩි storage capacity එකක් සහිත අලුත් දුරකථනයක් මිළට ගන්න. ඔයාගෙ phone එක Micro SD කාඩ්පත් සඳහා සහය දක්වනවා නම්, ඔයාට පුළුවන් Micro SD කාඩ් එකක් ස්ථාපනය කිරීමෙන් පසු ඔයාගෙ phone memory එකේ තියෙන files ඒ SD card එකට move කරන්න.

අතිශයින්ම වැදගත් දේ තමයි, තමන්ගෙ ෆෝන් එකේ storage එක අයත් කරගෙන තියෙන ගොණු මොනවද කියලා නිතර සොයා බලලා අනවශ්‍ය ගොණු මකා දැමීම සහ කලින් අපි සාකච්ඡා කළ විසඳුමකට යන එක. ඒ විදියට කළොත් ඔයාගෙ storage ප්‍රශ්ණ ගොඩක් අඩු වේවි.