Loading...
ලංකාවේ​දී Online Dating වැඩ්ඩෙක් වෙන්න කරුණු 7ක්

ගෑල්ලමයෙක් හොයාගන්නේ කොහොමද? ඕකට දැන් උත්තර දෙන්න එදා ඉඳන් අද දක්වා සමාජය හා මනුෂ්‍ය සම්බන්ධතා විශ්ලේෂණය කරන්න වෙනවා. ඔව්වා කර කර ඉන්න බෑ, සරලව කතාවට බහිමු. මේ වෙනකොට අපේ වැඩ කටයුතු සහ විනෝදය, සන්නිවේදනය විතරක් නෙවෙයි, මිනිස් සම්බන්ධතා පැවතීමත් යම් ප්‍රමාණයකට සයිබර් අවකාශය ඇතුලෙයි වෙන්නේ. දැන් ප්‍රශ්නය: අද කාලේ ඉන්ටර්නෙට් එකෙන් ගෑණු ළමයෙක් හොයාගන්නේ කොහොමද?

මේ ඉන්ටර්නෙට් එකෙන් ගෑල්ලමයෙක් හොයාගැනීම කියලා අමුවෙන් කියපු Online dating සංකල්පය ඇත්තටම ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි, ලංකාවට අලුත් දෙයකුත් නෙවෙයි, හැබැයි වැඩේ හරියට කරන එක නම් සෑහෙන දෙනෙක්ට අලුත් දෙයක් තමයි. රායිට්, බලමු හරි විදියට – ඒ කියන්නේ නියම කුසලතාවයෙන් සපිරි ‘ජෙන්ටල්මන්ස්’ කෙනෙක් විදියට ඔන්ලයින් සම්බන්ධතාවයක් හොයාගන්න නම් ඔලුවේ තියාගන්න ඕන කරුණු කාරණා මොනවද කියලා. අමතක වෙන්න කලින් තව දෙයක්. මේක ස්ත්‍රී පාර්ශවේට අදාළ නෑ කියලා හිතන්න එපා. ඔළුව කෙලින් තියාගෙන ඉන්න ඒත් ලොකු කැටයම් නැති ‘ලේඩි’ කෙනෙක් විදියට ඉන්න කැමති ගෑණු ළමේක්ටත් මේ කරුණු අදාළයි.

1. රඟන්නට නොයන්න!

Source: Tumbler

පළවෙනිම දේ තමයි Online dating ගැන තේරුම් ගන්න එක. ඒ කියන්නේ OKCupid නැතිනම් MeetMe වගේ වෙබ් අඩවි වගේම Facebook පවා එක්තරා ආකාරයකට online dating පර්යන්තයක් විදියට වැඩ කරනවා. එතකොට මේ මොන සයිට් එක හරහා කෙනෙක්ව දැන හැඳින ගැනීම කළත් අවසානයේදී ඒ දැන හැඳින ගැනීම සැබෑ ලෝකයට ගෙන ඒම අත්‍යාවශ්‍යයි. අන්න ඒ නිසා මෙන්න පළවෙනි අවවාදය: අවංක වෙන්න, ඔබේ සැබෑ මූණ හංගලා ෆැන්ටසි මූණක් නොපෙන්වන්න. හොඳට හෝ නරකට හෝ ඔබම වෙන්න.

2. හිනාවෙන පින්තූරේ!

Source: imgur

ඔය වෙබ් අඩවියකට ඔබ එකතු කරනා ප්‍රොෆයිල් පින්තූරේ ගැන මේ කියන්න යන්නේ. ඔබ කළු වෙන්න පුලුවන්, මිටි වෙන්න පුලුවන්, උස වෙන්න, මහත වෙන්න පුලුවන්. මේ කොයි ආකාරයේ රූපයක් ඔබට තිබුණත් ඔබේ ඡායාරූපය “ජෝක් එකක්” නොවීම වැදගත්. ඒ කියන්නේ ගෙදර කාමරේ ඇතුළේ සන්ග්ලාසස් දාගෙන ඉන්න ෆොටෝ, ෆොටෝ එක උඩින් “I am the Hero” වගේ වැකි ෆොටෝ ෂොප් කරපු ෆොටෝ මේ ආකාරයේ මෙකී නොකී ‘ගොන් පාට්’ ෆෝටෝ භාවිතා නොකරන්න. ඒ වගේම දෙය්යන්ගේ නාමෙට බුම්මගෙන නොඉඳ මනුස්ස පාටට ඉන්න ෆොටෝ එකක් ප්‍රොෆයිල් පින්තූරය විදියට පාවිච්චි කරන්න!

ගෑණු ළමයි: ඩක් ෆේස් එහෙම ලස්සන අය ඉන්නවා. ඩක් ෆේස් හැදුවම බොම්බිලි මාලුවෙක් වගේ පේන අයත් ඉන්නවා. කොණ්ඩෙ කඩාගෙන, කොණ්ඩෙ හපාගෙන ගන්න සමහර පින්තූර දැක්කහම නූල් බඳින්න වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා දකින දකින ට්‍රෙන්ඩ් එකට ප්‍රොෆයිල් පින්තූර දාන්න යන්න එපා. ඒක තමන්ට ලස්සනද කියලා හිතලා බලන්න.

3. “රස්නේ” ෆොටෝ වලට වහ නොවැටෙන්න!

Source: Philippine Star 

බොහෝමයක් වෙලාවට ලංකාවේ dating site එකක වගේම ෆේස්බුක් එකේ වුනත් වෙන්නේ, ගෑල්ලමයෙක්ගේ ලස්සන පින්තූරයක් දැක්ක සැණින් උද්දීපනය වෙලා රික්වෙස්ට් එකක් යැවීම එහෙමත් නැතිනම් “Hi dear” කියලා මෙසේජ් එකක් යැවීම කියන එක බොරු නෙවෙයිනේ. ඕන්න වැරදෙන තැන. මුලින් ප්‍රොෆයිල් එකේ තියෙන විස්තර හරියට කියවලා ඉන්න. කොයි තරම් ලස්සන වුනත්, සරාගී වුනත් මේ ගෑණු ලමයා ඔබට ගැලපෙන්නේ නැතිනම් එතනින් එහාට හිතන එක තේරුමක් නැහැ. අනෙක් අතට දැනුම බලය වේ කියලා අහලා තියෙනවනේ. විශේෂයෙන්ම OKCupid වගේ වෙබ් අඩවියක ගෑණු ලමයෙක් මාගල් දෙකක් දිග විස්තරයක් ලියලා තිබුණත් වෙලාව අරන් කියවලා බලන්න.

4. තේරුමක් ඇතිව මැසේජ් කරන්න

Source: Shutterstock

කොයිම මොහොතකවත් කලින් ඔබ නොදන්නා කෙනෙකුට “Hi dear“, “Hiii“, “Hey” වගේ චැට් මැසේජ් නොයවන්න. කෙටියෙන් පැහැදිලිව ඔබ කවුද කියන එකත් ඇතුළුව පණිවුඩයක් තියන්න. මෙතනදී පොඩ්ඩක් ‘පැණියා’ වුනාට කමක් නැත. කාර්යාලීය ලිපියක් වගේ චැට් මැසේජ් යවන්න ඔබ dating site එකකට එන්නේ බිස්නස් කතා කරන්න නෙවෙයිනේ! ඒත් අනවශ්‍ය විදියට cheesy වීම වැඩේ වරදින්නට හේතුවක් බව සිහි තබාගන්න.

තවත් දෙයක්, ඔබ යවන පණිවුඩය අදාළ පුද්ගලයාට පමණක් සුවිශේෂී බව ඒත්තු ගැන්විය යුතුයි. ඔබ dating site එකක ඉන්නා ගෑණු ළමයි දහ දෙනෙක්ටම එකම පණිවුඩය යැවීමෙන් ඔබට එක පිළිතුරක්වත් නොලැබෙන්නට ඉඩ කඩ වැඩි බව හිතට ගත යුතුයි.

5. ලොකු සීන් වානා, කෙලින් කතා තමයි ඕනා!

Source: Daily Mail

තමන්ගේ තත්වය ‍රැකගෙන ගැහැණු ළමයෙක් එක්ක කතා බහ කිරීමත්, ඕනෑවට වඩා ලොකු සීන් දාන්නට යෑමත් දෙකක් බව වටහා ගත යුතුයි. ඒ කියන්නේ මනුස්ස තාලෙට චැට් කරන කෙනෙක් එක්ක ඒ විදියට කතා කරන්න. වුවමනාවට වඩා ‘ඔලුවෙන්’ කතා කරන්න එන කෙනෙක් නම් වහාම කතාවෙන් ඉවත් වෙන්න. මෙතනදී ‘රිටර්න්’ එක දෙන්න යෑම තුළින් ඔබ කරන්නේ ඔබද ඒ පහළ ලෙවල් එකටම වැටීම බවද සිහිතබා ගන්න.

ඔබ යවනා පණිවුඩයකට හෝ දෙකකට ප්‍රතිචාරයක් නැතිනම් එතැනින් එහාට “You there?” කියමින් මැසේජ් කර ඇණයක් බවට පත් නොවන්න. අදාළ පුද්ගලයාට එපා නම් ඔබට වුවමනා වෙන්න ඕන නැහැනේ!

මෝඩයෙකු ලෙසින් හෝ ඔලුකාරයෙකු ලෙසින් වැඩකටයුතු නොකරන්න. හැමවිටම අනෙක් පුද්ගලයාට නිසි ගෞරවයෙන් සලකන්න. ඔබ ජෙන්ටල්මන්ස් කෙනෙකු බව මතක තබා ගන්න!

6. ඔන්ලයින් එන්නේ කසාද බඳින්න නොවේ!

Source: YouTube

Dating site තියෙන්නේ සැබවින්ම එකිනෙකා අතර ගැලපීම, අදහස් වැනිදේ දැනගනිමින් මූලික හඳුනාගැනීමක් සිදු කිරීමට මිස ලව් කිරීමට නොවන බව අමතක නොකරන්න. එතැනින් එහාට දෙන්නාටම අනාගතයක් තිබෙන බවක් පේනවා නම් කල යුත්තේ සැබෑ ලෝකයේ මුණගැහීමයි. එහෙම බැරි, ‘ලෝකේ හරි කූරයි අය්යා’ කියන බබෙක් එක්ක ඔන්ලයින් ආදර සම්බන්ධතා පටන් ගැනීම ඉවර වෙන්නේ හිතනවාටත් වඩා ඉක්මනට බවත් තේරුම් ගන්න.

ගෑණු ළමයින්ට සාමාන්‍යයෙන් ඔන්ලයින් මුණගැහෙන අය්යා කෙනෙක් එක්ක එක දවසක් කතා කරලා ඊලඟ දවසේ අය්යා කෝපි එකක් බොන්න යන පොඩ්ඩක් අවුල් කියලා අපිට නොතේරෙනවා නෙවෙයි. ඒත් කතා බහ කරලා සාමාන්‍ය දැන හැඳුනුම්කමක් ඇති වුනාට පස්සේ හෝ ඔබටත් ඉදිරියට පියවරක් තියන්නට වෙන බව මතක තියාගන්න. ඒක කරන්න බැරි නම් සරලම විසඳුම ඔන්ලයින් සම්බන්ධතා හොයන්නේ නැතුව මංගල කිංකිණි වැනි සේවාවක් භාවිතා කරන එකයි!

7. කිසිදෙයක් පර්සනල් නොගන්න

Source: Freepik

ඔන්ලයින් සිදුවෙන දැන හඳුනා ගැනීමක් ඇත්ත ලෝකේ මුණගැහීමක් දක්වා දුරදිග ගියත්, ඒක හරියන්න හෝ වරදින්න සම්භාවිතාවක් තියෙන බව තේරුම් ගන්න. බැරි වෙලාවත් අනාගතේ කොට උඩ තත්වයක් දැනෙනවා නම් ඒ ගැන කෙලින්ම කතා කරන්න. අනෙක් කෙනාට වුනත් සම්බන්ධතාවය ආදරයක් දක්වා ගෙනයන්න අවශ්‍ය නැති බව කියනවා නම්, ඒක ජෙන්ටල්මන්ස් ලීලාවෙන්ම පිළිගන්න. එතනින් එහාට ටෙලිෆෝන් නම්බර් එක වෙන කොල්ලන්ට දී කෙල්ලව බයිට් කිරීමට යෑම, නාහෙන් අඬමින් පැයෙන් පැයට කෝල් කිරීම ආදී කරුණු කාරණා ජෙන්ටල්මන්ස් කෝඩ් එකේ නැති බව සිතට ගන්න.

ගෑණු ළමයි: පොඩ්ඩ එහා මෙහා වුණු ගමන් ප්‍රයිවට් චැට් ස්ක්‍රීන් ෂොට් අරන් ස්ටේටස් දමන්නට කලින් එකසිය තුන් වරක් හිතා බලන්න!

අවසානයට මුහුදේ ඉන්නේ එක මාලුවෙක් නොවේයැයි කියා ඇත්තේ කට කහනවාට කියා නොසිතන්න. එකක් හරි නොයන්නේ නම් තවත් කෙනෙකු දැන හඳුනා ගන්න. හැබැයි, ආදරයක් දක්වා දුරදිග ගෙනියන්න හැකි කෙනෙක්ව මුණගැහුනේ නම් එතනින් එහාට මුහුදේ දාහක් මාලු හිටියත් හිතට අල්ලපු මාලුවා එක්ක එක ගමනක් යන්න. ඔබත් ජෙන්ටල්මන්ස් කෙනෙකු වන්න!

*මුල සිටම Online හමුවන පුද්ගලයින් පිළිබඳව නිසි ආරක්‍ෂිත පිළිවෙත් භාවිතා කිරීම අතිශයින්ම වැදගත්!*