Loading...
දෙවන ලෝක යුධ සමයේ මෙලොව එළිය නොදැක​ම නිෂ්පාදනය අවලංගු කර දැමුණු ලොව ප්‍රබලම යුධ නැව් ගැන ඔබ දැන සිටියාද?

දෙවැනි ලෝක යුධ සමයේ ලොව බලවත්ම යුධ නැව් මොනවද කියා ඇසුවොත් ඇමරිකාවේ Iowa, Misoori, New Jersey, Wisconsin, North Carolina, ජපානයේ yamato, musashi ජර්මනියේ bismark, Tirpitz බ්‍රිතාන්‍යයේ King Gourge V ප්‍රංශයේ Richelieu හා ඉතාලියේ Roma ආ​දී නැව් දක්වන්න අපිට පුළුවන්. මොකද ඒ රටවල් වලින් එකල නිර්මාණය වුණු නවීනතම යුධනැව් වුණේ මේ කිහිපය වූ නිසා. නමුත් ඇත්තටම දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රධාන පාර්ශවකරුවන් වුණු රටවල්වලට මේවට අමතරව නිපදවීමට අදහස් කරගෙන සිටි ප්‍රබල යුධ නෞකා සැලසුම් තිබුණු බව ඔබ දැන සිටියාද? මේ විස්තරය එලෙසින් එකල අවලංගු කර දැමුණු ප්‍රබල යුධ නැව් සැලසුම් කිහිපයක් ගැන.

1. H Class Battleship - ජර්මනි​ය

මේ නෞකා පන්තිය නිපදවන්නේ ජර්මානු නාවික හමුදාව (Kriegsmarine) ශක්තිමත් කිරීම පිණිස එවක නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් හදුන්වා දුන් Plan Z යටතේයි. මේ නැව් නිපදවූවා නම් ලොව විශාලතම Battleship නැව ලෙස හැඳින්වෙන Yamato හට එම ස්ථානය අහිමි වීමටද ඉඩ තිබිණි. Yamato ට වඩා විශාල ලෙස සැලසුම් කල Grosser Kurfürst හා Friedrich der Grosse වැනි නැව් අයත් වූයේ මේ පන්තියටය. H-39, H-40, H-41, H-42, H-43 හා H-44 ලෙස අංකනය කල යුධ නැව් 6 ක් මේ යටතේ නිපදවීමට නියමිත විය.

1939 වන විට මේ අතුරින් නැව් දෙකක ඉදිකිරීම් කටයුතු ආරම්භ වි තිබුණි. එක් පන්තියක නැව් වුවත් එහි ප්‍රධාන අවිය නැවෙන් නැවට වෙනස් වීම මෙහි විශේෂත්වයක් විය. අඟල් 16, අඟල් 16.5, අඟල් 18.9 හා අඟල් 20 ලෙස මෙතෙක් ලොව නිපදවූයේ නැති අවි පවා මේ සැලැස්මට අයත් විණි. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූ පසු 1941 වසරේදී මේ වැඩසටහන අවලංගු කිරීමට හිට්ලර් විසින් නියෝග කිරීමත් සමග ඉදිකරමින් සිටි නෞකා ද්විත්වය කැබලි කර දමන ලදී.

2. Sovetsky Soyus Class Battleships - රුසියාව

ලොව විශාලතම අධිරාජ්‍යය වුණ සෝවියට් දේශය විසින් නිර්මාණය කිරීමට ගිය බලවත්ම Battleships කාණ්ඩය වූයේ මෙයයි. දෙවැනි ලෝක යුධ සමයේදී සිය ප්‍රතිවාදී ජර්මනිය විසින් Bismark class නිපදවීමත්, ජපානය හා ඇමරිකාව වැනි අනිත් ලෝක බලවතුන් හට බලවත් Battleships තිබීමත් යන කරුණු හේතුවෙන් මේ පන්තියේ නවීන නැව් 15 ක් ඉදිකිරීමට ඔවුන් තිරණය කලහ. දෙවැනි ලෝක යුද සමයේදී සෝවියට් දේශය බහුලව භාවිතා කරන ලද්දේ වෙනත් රටවලින් මිලදී ගත් Battleships වූ අතර පලමු ලෝක යුද්ධයෙන් පසු ඔවුන් සාර්ථක Battleships කිසිවක් නිපදවා තිබුණේද නැත.

මේ හේතුව නිසා මහා පරිමාණ යුධ නැවක් නිපදවීම එවක රුසියානුවන්ට ඉතා අපහසු කාර්යයක් විණි. මේ නිසා නැව් 15 න් ඉදිකිරීමට අනුමැතිය ලැබුණේද නැව් 4 කට පමණි. Sovetsky Soyuz, Sovetskaya Ukraina,  Sovetskaya Rossiya හා Sovetskaya Belorussiya ලෙස එම නැව් 4 නම් කරන ලදී. අඟල් 16 තුවක්කු 9 ක් එහි ප්‍රධාන අවිය ලෙස භාවිතා කිරීමට නියමිත විය.පසුව ඉදිකිරීම් කටයුතුවල ඇතිවූ බරපතළ දෝෂ හේතුවෙන් 1940 දී Sovetskaya Belorussiya අවලංගු කරන ලදී. 1941 දී ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීමට පියවර ගැනීමත් සමග 20% ක් පමණ ඉදිකර තිබු අනෙත් නැව් 3 ද අවලංගු කර දැමිණි. මේ තීරණයට නම් ස්ටාලින් දැක්වූයේ දැඩි අකැමැත්තක්. ඉන් පසුව යුද්ධයේදී පාවෙන තුවක්කු වේදිකා ලෙස මේවා භාවිතා කල අතර 1947 දී ඉතුරු කොටස් කැබලි කිරීමද සිදුවිය.

3. Super Yamato Class Battelsh - ජපානය

ජපානය නිර්මාණය කිරීමට හැදූ බලවත්ම Battleships වූයේ මේ වර්ගයයි. Super Yamato ලෙස බොහෝදෙනා පැවසුවද මේ නැව් ඇත්තෙන්ම හැඳින්වෙන්නේ A- 150 යන නමින්. ලොව විශාලතම Battleships පන්තිය වූ yamato පන්තියට පසු මෙය නිපදවීමට ජපානය තිරණය කරන ලදී. මෙහි විශේෂත්වය වූයේ නැවේ ප්‍රධාන අවියයි. මෙතෙක් ලොව විශාලතම නාවික තුවක්කුව වන අඟල් 18 ටත් එහා ගිය අඟල් 20.1 නාවික තුවක්කු 6 කින් මෙය සමන්විත විය. මේ නිසයි බොහෝ දෙනා මෙය Super Yamato ලෙස හදුන්වන්නේ. ඇත්තෙන්ම මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාගත නොහැකියි. යුද්ධයේ අවසන් කාලයේදී මෙහි සැලසුම් බොහොමයක් ජපානය විසින් විනාශ කර දැමුවේ සතුරාට කිසිවක් සොයාගත නොහැකි පරිද්දෙන්. අංක 798 සහ අංක 799 ලෙස නම්කල නෞකා 2 ක් මේ පන්තියට අයත්ව තිබේ.‌‌

4. Alsace class battleship - ප්‍රංශය

මෙය ප්‍රංශ නිර්මාණයක්. එවක ඔවුන්ගේ විශාලතම නැව වූ Richelieu Class battleships වලටත් වඩා මෙය විශාල විය. අංක 1, අංක 2 හා අංක 3 ලෙස නම් තැබු නෞකා තුනක් මේ පන්තියට අයත් විණි. අංක 1 නෞකාව අඟල් 15 තුවක්කු 9 ක‍්, අංක 2  නැව අඟල් 16 තුවක්කු 9 ක් හා අංක 3 නෞකාව අඟල් 15 තුවක්කු 12 ක් ලෙස මෙහි ප්‍රධාන අවිය සැලසුම් කරන ලදී. තුවක්කු 4 කින් යුත් ටර්ට් 3 කින් සමන්විත වඩාත් විශාල තුන්වෙනි නැව Super Alsase යන නමින් එකල හැඳින්වුණි. අවසානයේදී මේ සැලසුම අවලංගු වන්නේ 1940 දී ජර්මනිය ප්‍රංශය ආක්‍රමණය කිරීමත් සමගයි.

5️. Lion Class Battleships - බ්‍රිතාන්‍යය

Lion class යනු 1930 දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාව වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කල යුධ නැව් 6 කින් යුත් නෞකා පන්තියකි. මෙය බ්‍රිතාන්‍යයේ King George V පන්තියේ වැඩිදියුණු කල නෞකා ප්‍රභේදයක් විය. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වනවිට මේ අතුරින් HMS Lion සහ HMS Temeraire ලෙස නම් කළ මුල් නැව් දෙකෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබුණි. ප්‍රධාන ආයුධය ලෙස අඟල් 16 තුවක්කු 9 කින් යුතු Lion class සමන්විත විය. 1942 වසරේදී Lion class අවලංගු කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කල අතර ඉදිකිරීම් අතරතුර තිබු නැව් දෙකද ඒ අනුව කැබලි කර දමන ලදී.

6️. Montana Class Battleships - ඇමරිකාව

ඇමරිකාව මෙතෙක් සැලසුම් කල බලවත්ම Battleship වර්ගයේ නැව් පන්තිය වූයේ මොන්ටානා පන්තියයි. 1938 දී ඇමරිකානු යුධ ශක්තිය 20% කින් වැඩි කිරීම සඳහා සම්මත කල දෙවැනි Vinson පනත යටතේ Montana class battleships 6 ක් ඉදිකිරීමට ඔවුන් අවසර ලබාදී තිබුණි. Montana ට පෙර ඇමරිකාව ක්‍රියාත්මක කල Iowa class, South Dekota class, North Carolina class ආදියේ  ප්‍රධාන ආයුධය ලෙස පැවැතියේ අඟල් 16 තුවක්කු 9 ක් ඇතුළත් ටර්ට් 3 ක් පමණයි. නමුත් ඒ සීමා වලට එහායින් Montana සැලසුමේ අඟල් 16 තුවක්කු 12 ක් ඇතුළත් ටර්ට් 4 ක් අන්තර්ගත විය.‌‌

1940 දී මේ පන්තියේ නෞකා 2 ක ඉදිකිරීම් ආරම්භ විය. USS Illinois (BB 65) හා USS Kenturky (BB 66) ලෙස නම් තැබු එම නැව් දෙක පසුව ඉදිකිරීම් අඩක් අවසන්ව තිබියදී Iowa පන්තියේ නැව් දෙකක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට පියවර ගන්නා ලදී. නමුත් ඒ සැලසුමත් අවලංගු කරන ඔවුන් ඊළඟට සැලසුම් කරන්නේ ඒවා Essex class ගුවන්යානා ප්‍රවාහන නෞකා දෙකක් බවට පත් කිරීමටයි. අවසානයේ සිදුවූයේ 1943 වසරේදී මේ ද්විත්වයම කැබලි කිරීමට තිරණය වීමය. USS Montana (BB 67) USS Ohio (BB 68), USS Maine (BB 69), USS New Hampshire (BB 70) යන ඉතිරි නැව් 4 ඉදිකිරීමට පෙරම අවලංගු කරන ලදී.

පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරය නිසා මුල් නැව් දෙකෙහි ඉදිකිරීම් කටයුතු අඩාල වෙනවා වගේම ඒ වනවිටත් Iowa හා Essex පන්තිවල නැව්, නාවික අංගනවල ඉදිකෙරෙමින් පැවැති නිසා අනෙත් නැව් ඉදිකිරීමට අවස්ථාව නොලැබී ගියේය. එසේම කොරල් මුහුදේ සටනේදී මෙන්ම Midway සටනේදී ගුවන්යානා ප්‍රවාහකවල සටන් හැකියාව මැනැවින් ඔප්පු වීම නිසා ඒ අංශය වැඩිදියුණු කිරීමට ඇමරිකාව තිරණය කරන ලදී. Montana class අවලංගු වීමට වැඩිපුරම හේතුව වූයේ මෙයයි.