Loading...
තම වත්කම් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙක ඉක්මවූ ප්‍රථම ඇමරිකානු සමාගම බවට Apple සමාගම පත්වේ

මේ ලිපිය කියවන ඔබට මතක ඇති මීට වසර දෙකකට පෙර ඇපල් සමාගම තම වත්කම් ට්‍රිලියනයක අගයක් වාර්තා කල පළමු ඇමරිකානු සමාගම බවට පත් වූ බව. අද මේ පුවතින් අපි ඔබ වෙත ගෙන එන්නේ ඇපල් සමාගමේ වත්කම් වල වටිනාකම ට්‍රිලියන දෙක පසු කර ගිය පළමු ඇමරිකානු ලැයිස්තුගත සමාගම බවට පත්වීමේ පුවතයි.

ඇපල් සමාගම මෙම කඩඉම පසු කරන්නේ ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙලී ලෝක ආර්ථිකය මන්දගාමී වී සිට්න අවස්ථාවක වීම විශේෂත්වයක්. ඊටත් වඩා විශේෂත්වය වන්නේ ට්‍රිලියනය වාර්තා කර වසර දෙකක් වැනි කෙටි කාලයක් තුලදී ඔවුන් විසින් ට්‍රිලියන දෙකේ කඩඉම පසු කිරීමයි.

ඇපල් සමාගම මෙම කඩඉම පසු කිරීමත් සමඟ එම සමාගමේ කොටසක වෙළඳපල වටිනාකම ඇමරිකානු ඩොලර් 467.77ක වටිනාකමක් ගෙන තිබෙනවා. The Wall Street Journalහි වාර්තාවට අනුව 2020 වසරේ කොරෝනා වසංගත සමය තුලදී තම කොටසක වෙළඳපල අගය 50%කටත් එහා ප්‍රතිශතයකින් විශ්මය දනවන ආකාරයට වැඩි කරගෙන ඇත.

ඇපල් සමාගම මෙවැනි විශාල කඩඉමක් පසු කලද ලොව විශාල සමාගම් කිහිපයක් සමඟ අමනාපකම් ඇති බවද නොරහසකි. මෑතයේදී වාර්තා වූ ලඟම සිදුවීම වන්නේ Fortnite ක්‍රීඩාව AppStore වෙතින් ඉවත් කිරීමයි. එම හේතුව නිසා Epic පරිගණක ක්‍රීඩා සමාගම ඇපල් සමාගම ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කරන බවද අප වාර්තා කලෙමු. එමෙන්ම Facebook සමාගමේ Facebook Gaming වෙත AppStore policies හරස් වීම නිසා Facebook සමාගම විසින් එය හෙලා දැකීම, Microsoft සමාගමේ xCloud Game streaming සේවාව අවහිර කිරීම සහ Google සමාගමේ Stadia iOS සඳහා ලබා නොදෙන බව තහවුරු කිරීමත් සමඟ එය මැනැවින් පැහැදිලි වේ.

ඇපල් සමාගමට පෙර තම වත්කම් ට්‍රිලියන දෙකක වටිනාකම පසු කල ප්‍රථම සමාගම වන්නේ සෞදි අරාබියේ ඛණිජ තෙල් සමාගමක් වන “Saudi Aremco” සමාගමයි. ඔවුන් විසින් එම කඩඉම පසු කරන ලද්දේ 2019 වර්ශයේදීය.

ඇපල් සමාගම මෙම වත්කම් වාර්තා කිරීමේදී, Microsoft සමාගම තම වත්කම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක්ද, Amazon සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.6ක්ද, Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1ක්ද සහ Facebook සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 761ක්ද වාර්තා කරමින් පිලිවෙලින් ඇපල් සමාගමට පසුපසින් සිටින Tech companies බවට පත්වී ඇත.

මෙම අතිවිශාල වර්ධනයට හේතුව ලෙස ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ කොරෝනා වසංගත කාලය තුලදී මුළු ලෝකයේම සිටින පුද්ගලයන් නිවෙස් වලට වී තම රැකියාන්වන්හි නිරත වීමත්, ඒ සඳහා අවශ්‍ය වන සේවාවන් සඳහා කල ගෙවීම් වලින් 30%ක ප්‍රමාණයක් ඇපල් සමාගමට හිමි වීමත් මත මෙවැනි වර්ධනයක් හිමිවන්නට ඇතැයි ලෙසය. ජූලි මාසයට මස අවසානය වන විට පමණක් ඇපල් සමාගමේ online sales වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 60ක අගයක් ගෙන තිබුණි.

Source: The Wall Street Journal, Forbes