Loading...
ලොව වටිනාම සමාගමේ කිරුළ Apple වෙතින් උදුරා ගැ​නේ

ලොව වටිනාම සමාගම ලෙස කිරුළු පැළඳ සිටි Apple සමාගමට එම කිරුළ අහිමිවී ගිය බවට වාර්තා වනවා. Apple සමාගමට පෙර මෙම කිරුළ පැළඳ සිටි Microsoft, Google සහ Amazon සමාගම් එකක්වත් මේ කිරුළට නැවත හිමිකම් කීමට සමත් වී නැති අතර මෙවර මෙම කිරුළට හිමිකම් කියා ඇත්තේ මැදපෙරදිග රටක් වන සෞදි අරාබියේ සිට තම වෙළඳ කටයුතු සිදු කරන ලොව විශාලතම බොර තෙල් අපනයනය කරන සමාගම වන Saudi Aramco නම් වන සමාගමටයි. මෙම සමාගමේ කොටස් වලින් 94%කම අයිතිය පවතින්නේ සෞදි අරාබියටයි.

Financial Timesහි වාර්තාවකට අනුව Apple සමාගම මීට පෙරදී වෙළඳපල අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවා ගිය ලොව ප්‍රථම සමාගම බවට පත්වීමට සමත් වූවා. නමුත් 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ඇපල් සමාගමේ කොටසක වෙළඳපල අගය ඇමරිකානු ඩොලර් 146ක් දක්වා පහත වැටීමත් සමඟම ඔවුන්ගේ වෙළඳපල අගය 19%කින් පහළ වැටුනා. මේත් සමඟම Apple සමාගමේ වෙළඳපල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.37ක් දක්වා පහත වැටුනු අතර Aramco සමාගම විසින් ඔවුන්ගේ වෙළඳපල අගය ලෙස පැවති ඇපරිකානු ඩොලර් ට්‍රිලියන 2.43ක අගය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට සමත් වීමත් සමඟම මෙම කිරුළට හිමිකම් පෑමට Aramco සමාගම සමත් වී තිබෙනවා.

කෙසේ වුවත් Apple සමාගම තවමත ඇමරිකාවේ වෙළඳපල වටිනාකම වැඩිම සමාගම වන අතර මීට පෙර එම කිරුළුට හිමිකම් කී Microsoft සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.95ක අගයක් ගනිමින් තවමත් Apple සමාගමට පසුපසින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ටිම් කුක් මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ සැපයුම් ජාලයේ ඇති ඌණතාවය සහ කොරෝනා වසංගතය හේතුවෙන් චීනයේ සිදුවූ නිරෝධායන කටයුතු වලින් තම සමාගමට එක කාර්තුවක මුළුමනින්ම ඩොලර් බිලියන 8ක පිරිවැයක් දැරීමට සිදු වීම මෙයට ප්‍රධානතම හේතු සිදුවූ බවයි. මේ හේතුන් මධ්‍යයෙ වුවද Apple සමාගම විසින් ඔවුන්ගේ තෙවන කාර්තුවේදී Apple සමාගම විසින් ඉපැයූ හොඳම කාර්තුමය ආදායම වාර්තා කිරීමටද සමත් වනවා.

නව වසර ආරම්භයෙ සිටම Saudi Aramco සමාගමේ කොටස් වල අගය 30%ක පමණ අගයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙයට හේතු ලෙස බොරතෙල් වල මිලෙහි සීග්‍ර ඉහළ යාම දැක්විය හැකි අතර එම සමාගම විසින් මෙම කාර්තුවේදී පමණක් ඔවුන්ගේ ලාභය 82%කින් වැඩි කරගැනීමට සමත්ව තිබෙනවා. එය ඇමරිකානු ඩොලර් බිලියන 40කින් පමණ වැඩිවීමකි.

වසර 14කට පසුව බොරතෙල් බැරලයක මිල ලොව ඉහළම අගය වාර්තා කර ඇති අතර එහි අගය $139ක් වනවා. මෙයට හේතු වී ඇත්තේ රුසියාව විසින් යුක්රේන රාජ්‍ය ආක්‍රමණය කිරීමට සිදු කරගෙන යන වැඩකටයුතු හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා ලෝක වෙළඳපලේ ඉල්ලුම එකවරම සෞදි අරාබිය වෙත යොමු වීමයි.

ලොව මෙවැනි අර්බුදයක් පවතින අවස්ථාවකදී තාක්ෂණික සමාගම් අභිබවා බලශක්ති සමාගම විසින් වාර්තාගත ලාභ උපයමින් නැගීසිටියද සැපයුම් ජාලය නැවත වතාවක් යථාතවයට පත්වීමෙන් පසුව Apple සමාගම විසින් ඔවුන්ගේ කිරුළ නැවත අත්පත් කරගනු ඇතැයි මත පල වනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Tower Bridge Advisors හි CIO ධූරය හොබවන James Meyer විසින් ප්‍රකාශ කර ඇත්තේ “ව්‍යාපාරයන්ගේ ස්වාභාවයන් අනුව Apple සමාගම සහ Saudhi Aramco යනු එකිනෙකට සැසදීමට නොහැකි සමාගම් දෙක වන අතර මෙම තත්වය උද්ධමනයේ සහ සැපයුම් වල ඇති ඌණතාවය නිසා තාවකාලිකව ඇති වූ තත්වයකි” යනුවෙනි.

Sources: CNBC, The Wall Street Journal