මහාද්වීප අතරේ බැලැස්ටික් මිසයිල එල්ල කල හැකි බැලස්ටික් මිසයිල සබ්මැරීන්

· 2 min read
මහාද්වීප අතරේ බැලැස්ටික් මිසයිල එල්ල කල හැකි බැලස්ටික් මිසයිල සබ්මැරීන්

වර්තමාන ලෝකයේ නාවික හමුදාවන් භාවිතා කරන සබ්මැරීන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්.

  1. Attack submarines
  2. Cruise missile Submarines
  3. Ballistic missile submarines

මේ වර්ග තුනේ සබ්මැරීන්, භාවිතා කරන බලශක්ති ප්‍රභවය අනුව ඩීසල් බලැති හා න්‍යෂ්ටික බලැති ලෙස නැවත කොටස් කරන්න පුළුවන්. මේ ප්‍රධාන වර්ග වලට අමතරව විශේෂ අරමුණු වෙනුවෙන් භාවිත කරන තවත් සබ්මැරීන් වර්ග කිහිපයක්ම තියෙනව. බැලස්ටික් මිසයිල සබ්මැරීන් කියන්නෙ මේ වර්ග අතුරින් වඩාත් බලවත්ම සබ්මැරීන් කාණ්ඩයට.

න්‍යෂ්ටික යුධ ශීර්ෂ වලින් සමන්විත සබ්මැරීනයකින් දියත් කල හැකි අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල වලින් සන්නද්ධ සබ්මැරීනයක් Ballistic Missile Submarine එකක් ලෙස හැඳින්විය හැකියි. Attack හා Missile සබ්මැරීන් වල කාර්ය වෙන්නේ ක්ෂණිකව සතුරු ඉලක්ක වෙත පහර දීම වුණත් Ballistic සබ්මැරීන් භාවිතා වෙන්නෙ ඊට වෙනස් උපායමාර්ගික ආයුධයක් ලෙස.

න්‍යෂ්ටික ආයුධ භාවිතා කරන රටවල් අතර න්‍යෂ්ටික ත්‍රිත්වය (Nuclear third) යන නමින් උපායමාර්ගික වශයෙන් වැදගත් වන ආයුධ වර්ග ත්‍රිත්වයක් පවතිනවා.

  1. Intercontinental ballistic missiles
  2. Ballistic missile submarines
  3. Bombers

මේ කියන ත්‍රිත්වයේ අරමුණ වන්නේ යම්කිසි අයුරකින් වෙනත් රටකින් න්‍යෂ්ටික ආක්‍රමණයක් එල්ල වුණොත් පලමු ප්‍රහාරයේදීම රටේ යුධ ශක්තිය හීන වී යාම වළක්වා ගැනීම. මුල් ප්‍රහාරවලින් රටේ යුධ ශක්තියට විශාල හානියක් සිදු වුණොත් ඊලඟට ප්‍රති ප්‍රහාර දීම සදහා භාවිතා වෙන්නේ මේ ටික. යම් රටකට බැලිස්ටික් මිසයිල සබ්මැරීනයක් වැදගත් අවියක් වන්නේ මේ නිසයි.

හදිසියේ හෝ න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇතිවී ගොඩබිම් අවි විනාශ වී ගියොත් අන්න එවිට මෙතෙක් කල් සැඟවී සිටිමින් කල් ගත කරපු ballistic missile submarine වලට අවස්ථාව ලැබෙනවා සතුරාට ප්‍රති ප්‍රහාර එල්ල කරන්න. මේ නිසා සතුරු රටවලට අනාවරණය නොවෙන විදියට බැලිස්ටික් මිසයිල සබ්මැරීන් පවත්වා ගන්නෙ ඉතාම රහසිගතව. සතුරාට සබ්මැරීනය පිලිබදව හෙළිවීම වළක්වා ගැනීම සදහා තමන් සතු උපරිම තාක්ෂණය යොදාගෙන මේවා නිපදවන්නේ එම නිසයි.

ඇත්තෙන්ම බැලිස්ටික් සබ්මැරීනයක් හදුනා ගැනීම ඉතාම අපහසුයි. ඇතැම්විට සබ්මැරීන් දෙකක් ලඟින් ගියත් එකිනෙකාට අඳුනාගත නොහැකි විය හැකියි. Le triomphant හා Vanguard සබ්මැරීන් අනතුර සිදු වෙන්නෙත් මේ නිසයි. මේ සබ්මැරීන් අධික නිශ්ශබ්දතාවයකින් යුක්තයි. සාමාන්‍යයෙන් Active sonar හා passive sonar ලෙස sonar වර්ග දෙකක් තිබුණත් Ballistic Missile Submarines බොහෝවිට භාවිතා කරන්නේ Passive Sonar පමණයි.

Active Sonar කියන්නෙ අපි ඉගෙන ගෙන තියෙන Sonar එකෙන් ශබ්දයක් නිකුත් කර යම් වස්තුවක ගැටුණු පසු එයින් ආපහු පරාවර්තනය වෙන තරංග ඔස්සේ වස්තුව හදුනා ගන්නා Sonar. Passive sonar එසේ නොවෙයි. Passive sonar කියන්නෙ අවට තිබෙන වස්තුවකින් තරංගයක් නිකුත් වුණොත් පමණක් ඒ පැමිනෙන තරංග ඔස්සේ වස්තුව හඳුනා ගන්න sonar වලට. Ballistic submarines, Active sonar වැඩි වශයෙන් භාවිතා නොකරන්නේ එමගින් කම්පන නිකුත් කරන නිසා හසුවීමට ඇති ඉඩකඩ වැඩි වීම නිසයි.

අනිත් කරුණ තමයි ඇනෙකොයික් ටයිල්. සබ්මැරීන්වල බඳේ අතුරල තියෙන ටයිල් කැට තමයි මේ කියන්නෙ. මේවා නිපදවන්නේ කුඩා කුඩා හිස් දහස් ගණනකින් සමන්විත රබර් හෝ වෙනත් බහුඅවයවක මගින්. Active sonar එකකින් සබ්මැරීනය වෙතට තරංගයක් පැමිණියහොත් ඒ තරංග අවශෝෂණය කර, පරාවර්තනය අවම කිරීමට මේවා යොදාගන්නවා. ඒ වගේම Passive sonar මගින් වන හදුනා ගැනීම අවම කිරීම සඳහා සබ්මැරීනය මගින් නිකුත් කරන ශබ්දය අවශෝෂණය කිරීමට ද මෙවා භාවිතා කරනවා.

ඇනකොයික් ටයිල්

Ballistic missiles සබ්මැරීන් වල ප්‍රධාන ආයුධය වෙන්නෙ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල (SLBMs = Submarine launch ballistic missile). කිලෝමීටර් දහස් ගණනක පරාසයකට විහිද යන මෙවැනි මිසයිල 20 කට ආසන්න සංඛ්‍යාවක් එක් සබ්මැරීනයකට රැගෙන යා හැකියි. මේ මිසයිල වලට අමතරව කෲස් මිසයිල කිහිපයක් හා ටෝපිඩෝද මේ සබ්මැරීන් රැගෙන යනවා. වර්තමානයේ දී බහුලව භාවිතා වන SLBMs කිහිපයක් වෙන්නේ ඇමරිකාවේ Trident මිසයිල, රුසියාවේ Bulava මිසයිල, චීන JL 2 හා ඉන්දීය Sagarika යන මිසයිල.

උතුරු කොරියාවේ SLBM එකක් 

ලොව පලමු වරට ballistic missile submarine නිපදවන්නේ සෝවියට් දේශය. 1955 දී ඔවුන් නිපදවූ Zulu IV class ballistic missile සබ්මැරීනය එක් R11 වර්ගයේ මිසයිලයක් රැගෙන ගියා. 1956/57 කාලයේ ඔවුන් නිපදවූ Zulu V සබ්මැරීන් බැලිස්ටික් මිසයිල දෙකක් රැගෙන ගියා. ලොව ප්‍රථම න්‍යෂ්ටික බලැති බැලිස්ටික් මිසයිල සබ්මැරීනය වෙන්නේ 1959 දී දියත් කල USS Gourge Washington නම් ඇමරිකානු සබ්මැරීනය.

එය polaris A1 වර්ගයේ බැලිස්ටික් මිසයිල 16 ක් රැගෙන ගියා. දිය යට සිට දියත් කළ හැකි ප්‍රථම බැලිස්ටික් මිසයිලය වෙන්නේ සෝවියට් R-21 මිසයිලය. ඩීසල් බලැති ballistic missile submarines හැදින්වෙන්නේ SSB යන නමින්. න්‍යෂ්ටික බලැති ballistic missile submarine හැඳින්වෙන්නේ SSBN යන නමින්. වර්තමානයේ SSB ලෙස ඇත්තේ චීනයේ Qing class සබ්මැරීනය පමණයි

USS George Washington සබ්මැරීනය

ලොව ප්‍රධාන SSBNs

  • Ohio class - ඇමරිකාව
  • Typhoon class- රුසියාව
  • Borei class - රුසියාව
  • Delta class - රුසියාව
  • Triomphant class - ප්‍රංශය
  • Type 094 class - චීනය
  • Arihanth class - ඉන්දියාව
  • Vanguard class - බ්‍රිතාන්‍යය
  • Type 092 class - චීනය
Delta IV class
Triomphant class
Typhoon class 
Ohio class 
Borei class 
Vanguard class
Type 095 /Jin class 
Arihanth class