Loading...
ශ්‍රී ලංකාව තුල cryptocurrency ගණුදෙනු සිදු කිරීම අනුමත නොකරන බව මහ බැංකු අධිපති ප්‍රකාශ කරයි

මීට පෙර අප විසින් ගෙන ආ වාර්තාවක සඳහන් වූයේ ශ්‍රී ලංකාව තුල ක්‍රිප්ටොකරන්ස් ආයෝජන සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවත්, ඒ අනුව එකී ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත්, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර දීමට අනුමැතිය ලැබි තිබෙනවා යන්නය.

මේ සඳහා වන යෝජනාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා විසින් ට්විටර් පණිවිඩයකින් දන්වා සිටියේ පහතාකාරයෙනි.

නමුත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් අද දින ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිප්ටොකරන්සි පිළිබඳව ඔවුන් දරණ ස්ථාවරයේ කිසිඳු වෙනසක් සිදු වී නැති බවයි. ශ්‍රී ලංකාව තුළ යම් අයෙකු ක්‍රිප්ටොකරන්සි භාවිතා කරමින් ගනුදෙනු කරන්නේ නම් එහි අවදානම ඔවුන් සතු වන බව තව දුරටත් ඔහු අවධාරණය කර ඇත.

ක්‍රිප්ටොකරන්සිවල අපේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. අපි ඒ ප්‍රතිපත්තියේම තමයි ඉන්නේ. යම් අය වෙන වෙන මුදල් භාවිතා කරනවා නම් ඒ අවදානම ඒ අය ගන්න ඕනේ. භාණ්ඩ හුවමාරු කරද්දීත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ මුදල් ඒකකය රුපියල. එතනින් එහාට වෙන කිසිම දෙයක් අපි අනුමත කරලා නැහැ. - අජිත් නිවාඩ් කබ්රාල්

මේ වන විට ඇතැම් සමාගම්, විශේෂයෙන්ම සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) වෙළෙඳාමේ නිරත සමාගම් ඒවා අලෙවියේ දී සහ බදු දීමේ දී ක්‍රිප්ටොකරන්සි ගෙවීම් භාරගන්නා බවට ප්‍රසිද්ධි දැන්වීම් පළකර ඇති බැවින් එවැනි ගනුදෙනු ශ්‍රී ලංකාව තුළ අනුමතද යන කරුණ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) වෙළෙඳාමේ නිරත සමාගම් ඒවා අලෙවියේ දී සහ බදු දීමේ දී ක්‍රිප්ටොකරන්සි ගෙවීම් භාර ගන්නා බවට ප්‍රසිද්ධ දැන්වීම් පල කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාවෙ ප්‍රථම ක්‍රිප්ටොකරන්සි payment gateway එකක්ද නිර්මාණය කර තිබෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය විසින් ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිප්ටොකරන්සි භාවිතාවේ ඇති අනතුරුදායක බව පිළිබඳව මහජනතාව පිළිබඳව දැනුවත් කර ඇති බවයි.

ක්‍රිප්ටොකරන්සි මුදල් භාවිතය පිළිබඳ සිය ස්ථාවරය දක්වමින් 2021 අප්‍රේල් 09 දින ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන ආකාරයට ක්‍රිප්ටොකරන්සි වල ආයෝජනය කිරීමෙන් මහජනතාවට මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති විය හැකි  මූල්‍ය (financial), මෙහෙයුම් (operational), නෛතික (legal), පාරිභෝගික ආරක්ෂාව (customer protection ) සහ ආරක්ෂණය (security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවනු ලබන බවයි.

Source: Ada Derana Biz