Loading...
දවල්ට අහස නිල් පාට වෙලා හවසට තැඹිලි පාට වෙන්නෙ ඇයි? එතකොට වලාකුළු සුදු පාට ඇයි?

දවල්ට අහස නිල් පාට වෙලා හවසට තැඹිලි පාට වෙන්නෙ ඇයි? ඔයාලට මේ ප්‍රශ්නේ තිබිලා නැද්ද? පොඩිකාලෙදි අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහල නැද්ද? නැතිවෙන්න නම් විදියක් නෑ. මොකද මමත් ඔය ප්‍රශ්නෙ අහලා තියෙනවා වගේම මටත් ඔය ප්‍රශ්නෙ තිබිලා තියෙනවා. ඉතින් අද අපි ඒ ගැන කතා කරමු.

ඔයා තාමත් පාසල් අධ්‍යාපනය ලබන කෙනෙක් නම් අද කතාකරන දේවල් ඉස්සරහට පොඩියට හරි වැදගත් වෙයි. අහස නිල් පාට වෙන එක ගැන කතා කරන්න කලින් ඒකට මූලික දේවල් ටිකක් ගැන අපි කතාකරල ඉමු.

කොහොමද අපිට පාට පේන්නේ?

ඔයාල අහලා ඇති විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගැන. ඉතින් මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියෙන් දෘශ්‍ය ආලෝකය, එහෙමත් නැත්නම් සුදු ආලෝකය කියන කොටස තමයි අපිට පෙනීම ලබා දීමට වැදගත් වෙන්නේ. මොකද මිනිස් ඇස සංවේදී වෙන්නේ මේ සුදු ආලෝකය කියන කොටසට විතරයි. අපිට මේ සුදු ආලෝකය මූලිකව පාට 7 කට වෙන් කරන්න පුලුවන්. ඔයාල "රන් තැඹිලි කඩන...' කතාව අහල ඇති නේ. ඒ පාට 7 තමයි රතු, තැඹිලි, කහ, කොල, නිල්, ඉන්ඩිගෝ හා දම්. ඉතින් රතු පාටේ සිට දම් පාටට යන විට එම ආලෝකයන්ගේ තරංග ආයාම (Wavelength) අඩු වෙනවා වගේම එම ආලෝකයන්ගේ ශක්තියත් වැඩි වෙනවා.

විද්‍යුත් චුම්බක වර්ණාවලිය

උදාහරණයක් විදියට ඔයාට ඇපල් ගෙඩියක් රතු පාටට පේනවා කියලා හිතමු. එතනදි වෙන්නේ සූර්යාගේ ඉදන් එන සුදු ආලෝකය ඇපල් ගෙඩියට වැටිලා එතනින් රතු ආලෝක කොටස ඇරෙන්න සුදු ආලෝකයේ අනික් සියලුම පාට ඇපල් ගෙඩියට අවශෝෂණය කර ගන්නවා. ඉතුරු වෙන රතු ආලෝකය පරාවර්තනය කරනවා. ඉතින් ඒ පරාවර්තනය කරන රතු ආලෝකය අපේ ඇස් වලට වැටුනාම අපිට ඇපල් ගෙඩිය රතු පාටට පේනවා. මේ අවශෝෂණය කරන වර්ණ වස්තුවේ ස්වභාවය අනුව වෙනස් වෙනවා.

ඉතින් සත්තුන්ටත් අපිට වගේමද පාට පේන්නේ ? නෑ, මිනිස් ඇස සුදු ආලෝක පරාසයට සංවේදී වුණාට හැම සතෙකුම සුදු ආලෝක පරාසයට සංවේදී නෑ. ඒක නිසා සත්ත්ව විශේෂයෙන් විශේෂයට ඒගොල්ලොන්ට පේන පාට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

දවල්ට අහස නිල් පාට වෙලා හවසට තැඹිලි පාට වෙන්නෙ ඇයි?

මේ අහසේ පාට වෙනස් වෙන එකට හේතුව වෙන්නේ ආලෝකය ප්‍රකිරණය (Scattering) වීම. ආලෝකය නිශ්චිත ගමන් මාර්ගයෙන් අපගමනය වී, විසිරී ගමන් කිරීම අපි සරලව ප්‍රකිරණය කියල හඳුන්වනවා. ඉතින් මේ ප්‍රකිරණයත් වස්තුවේ ස්වභාවය අනුව වෙනස් වෙනස්. හැබැයි ප්‍රකිරණය හා පරාවර්තනය (Reflection) පටලව ගන්න නම් එපා. ඒ දෙක සම්පුර්ණයෙන්ම වෙනස්. පහල රූපෙන් ඔයලට ඒක තේරුම් ගන්න පුලුවන් වෙයි.

දැන් අපි කතා කරමු දවල්ට අහස නිල් පාටට පේන්නේ ඇයි කියලා. ඔයාලා දන්නවා පෘථිවි වායුගෝලයේ විවිධ වර්ගයේ වායු අණු වගේම දූවිලි අංශුත් තියෙනවා. ඉතින් මේ වායු අණු හා දූවිලි අංශුවලට සූර්යයාගේ සිට එන සුදු ආලෝකයෙන් කොටසක් වැදී ඒවා ප්‍රකිරණයට ලක් වෙනවා. මෙතනදී වැඩිපුර ප්‍රකිර්ණයට ලක්වෙන්නේ නිල් දම් වගේ තරංග ආයාමය අඩු, ශක්තිය වැඩි ආලෝකයන්. ඉතින් මෙහෙම ප්‍රකිරණය නිසා විසිරිලා යන නිල් දම් වැනි ආලෝකයන් නිසා තමයි අපිට අහස නිල් පාටට පේන්නේ.

ඉතින් දම් පාටත් එහෙම විසිරිලා යනවා නම්, දම් පාටේ නිල් පාටට වඩා ශක්තියත් වැඩියි නම් ඇයි අහස දම් පාට නැත්තේ ? ඒකට මූලික හේතුව වෙන්නෙ මිනිස් ඇස දම් පාටට වඩා නිල් පාටට සංවේදී වීමයි.

ඊලග එක තමයි ඇයි අහස හවසට තැඹිලි පාට කියන එක. දහවල් කාලයට සූර්යා පිහිටන්නේ අපේ හිසට ලම්භකව එම නිසා සූර්යය ආලෝකයට වායු ගෝලයේ සිට අපේ ඇසට එන්න තියෙන දුර අඩුයි. ඒ කියන්නේ ප්‍රකිරණයත් අඩුයි. නමුත් හවස් කාලයේදී සූර්යා පිහිටන්නේ අපේ හිසට ලම්භකව නෙවෙයි. එම නිසා සූර්යය ආලෝකයට වායුගෝලයේ ගමන් කරන්න තියෙන දුර වැඩියි වගේම ප්‍රකිරණයත් වැඩියි. මෙම හේතුව නිසා වායු ගෝලයේ මදක් දුර එන විටම බොහොමයක් නිල්, දම් වැනි තරංග ආයාමය අඩු ආලෝකයන් ප්‍රකිරනය හේතුවෙන් විසිරී යනවා.

අවසානයේ අපේ ඇසට පැමිණෙන්නේ තරංග ආයාමය වැඩි රතු, තැඹිලි වැනි ආලෝකයන්. මේ හේතුව නිසා තමයි අපිට සවස් කාලයේ අහස තැඹිලි පාට පේන්නේ.

වලාකුලු සුදු පාට ඇයි?

ඉතින් මේකටත් හේතුවත් ප්‍රකිරණයම තමා. වලාකුලක් හැදිලා තියෙන්නේ ජල වාෂ්ප ඝනීභවනය වෙලානේ. ඉතින් මේ වලාකුළු හරහා ගමන් කරන මුලු සුදු ආලෝකයම (සෑම වර්නයක්ම) ප්‍රකිරණයට ලක් වෙනවා. මේ හේතුව නිසා අපිට වලාකුලු සුදු පාටට පේනවා

ඊළඟට හිතෙයි කළු වලාකුලු ගැන. ඒකටත් මම උත්තර දෙන්නම්. කළු වලාකුලක් කියන්නේ වැහි වලාකුලකට නේ. ඉතින් කළු වලාකුලක තියෙන ජල වාෂ්ප ඝනත්වය වැඩියි ඒ හේතුව නිසා ආලෝකයට වලාකුල හරහා ගමන් කිරීමට නොහැකියි. ඉතින් වලාකුලේ සිට අපේ ඇසට කිසිදු ආලෝකයක් නොපැමිනීම නිසා අපිට වලාකුල කලු පාටට පේනවා.

අද කතා කරපු  දේවල් මම ගොඩක්ම සරලව තමයි විස්තර කරලා තියෙන්නේ. මොකද හැමෝටම තේරෙන්න ඕනෙ නිසා. ඉතින් ඒ දේවල් වලින් ඔයාලට ලොකු දැනුමක් ලබාගන්න පුලුවන් වෙන්න ඇති. එහෙනම් මේ වගේ තවත් ලිපියකින් ආපහු හමුවෙමු.