Loading...
Facebook විසින් පෞද්ගලික දත්ත අපහරණය කල ප්‍රධාන අවස්ථා

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ලෙස ලොව සුපතළ Facebook සමාජ මාධ්‍ය අඩවියේ අඳුරු පැතිකඩක් ඇති බව ඔබ නොදන්නවා විය හැක.  ෆේස්බුක් අඩවිය නිර්මාණය කළේ ඔබ අප කවුරුත් දන්නා ප්‍රකෝටිපති මාක් සකර්බර්ග් බව ඔබ මා සියල්ල දන්නා කරුණකි. වර්ෂ 2004 දී පෙබරවාරි 04 වන දින TheFacebook නමින් ඇරඹි මුහුණුපොත නොදන්නා කිසිවෙකුත් දැන් නොමැති තරම් ය.

පරිශීලක පෞද්ගලිකත්වය සහ Facebook අතර ඇත්තේ බොහෝ අඳුරු ඉතිහාසයකි. බොහෝ දෙනාගේ නොදැනුවත් බාවය දුරු කරලීම පිණිස Facebook නිර්මාණය වූ කාලයේ සිට සිදු වූ සිදුවීම් පෙළක් පෙළගැස්වීමට මා අදහස් කළෙමි.

මුල්ම විරෝධය 2006, Newsfeed එකට විරුද්ධව (2006)

ඉතා කුඩාවට ඇරඹි මෙම අඩවියේ සීඝ්‍ර ජනප්‍රියත්වයත් සමඟ මුහුණුපොත ක්‍රමයෙන් වැඩෙන්නට විය. යන්තම් අවුරුදු 2ක් ගත වූ තැනදී එනම් 2006 වසරේදී Facebook සමාඟම නම් කිරි හට්ටියට ගොම බිංදුවක් එක් වූයේ Facebook ඉතිහාසයේ එවැන්නක් වූ ප්‍රථම අවස්ථාව සටහන් කරමිනි.

එකල්හි ඔවුන් සතු වූයේ මිලියන අටක පමණ වූ පරිශීලක පිරිසක් පමණි. Facebook විසින් News Feed නම් යෙදුම හඳුන්වා දුන්නේ ඔවුන්ගේ ඇස්තමේන්තුගත පරිශීලකයන් මිලියනයක පමණ පිරිසකගේ දැඩි විරෝධතා මධ්‍යයේ ය. විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ නව යෙදුම නිසා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ඕනෑවට වඩා අන් අයට නිරාවරණය වන බවයි.

වර්ෂ 2006 හඳුන්වා දුන් Facebook News Feed
වර්ෂ 2006 හඳුන්වා දුන් Facebook News Feed

News Feed යෙදුම හඳුන්වාදීමට පෙර, යම් මිතුරෙකුගේ විස්තර බලාගැනීමට නම් ඔබ ඒ අදාළ පරිශීලකයාගේ පිටුව වෙත පිවිසිය යුතුව තිබුණි. නමුත් News Feed යෙදුම නිසා එසේ එකිනෙකාගේ පිටු වලට නොපිවිස එක් ස්ථානයක සිට තම මිතුරන්ගේ පුවත් නැරඹීමේ අවකාශ සැලසුණි.

විරෝධය තඹ දොයිතුවකට හෝ මායිම් නොකළ මාක් සකර්බර්ග් ඔවුන්ගේ ස්ථාවරයේ නොසැලී සිටි අතර, Facebook හි සාර්ථකත්වයට News Feed යෙදුම බොහෝ කොටම බලපෑවේය.

Online purchase කරාම Facebook එකේ යාළුවන්ට notifications (2007)

ඒ 2007 වසරයි. Facebook පරිශීලකයන් අන්තර්ජාලය මගින් මිළදී ගන්නා සියල්ල පිළිබඳව දත්ත විවිධ සමාගම් මඟින් එක්‍ රැස් කිරීමට සහ ඒවා පිළිබඳ විස්තර මිතුරන් අතරේ බෙදා හැරීමේ යෙදුමක් එකල වීය. මේ සියළු කාර්යයන් සිදු වූයේ අදාළ පරිශීලකයාගේ අනු දැණුමකින් තොරවය. මේ පිළිබඳව වූ කතිකාවත හමුවේ 2007 වසරේ දෙසැම්බර් මස 6 වැනිදා මාක් සකර්බර්ග් විසින් සිය පරිශීලකයන්ගෙන් සමාව අයැද සිටි අතර Beacon නම් වූ ඒ සේවාව පරිශීලකයාගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කිරීමට හෝ නොකිරීමට ඉඩ ලබාදෙන ලදි.

Online purchase notifications, Beacon හරහා Facebook මිතුරන්ට පෙන්වූ ආකාරය

ඒ වන විටත්, කිසිම අනු දැනුමකින් තොරව තමාගේ පෞද්ගලික දත්ත කොපමන පූජා කළා දැයි Facebook පරිශීලකයන් නොදත් අතර, එම අනුන්ගේ දත්ත විවිධ සමාගම් වලට විකුණා කොපමණ මුදලක් මාක් සකර්බර්ග් විසින් ගලවාගත්තාදැයි කිසිවෙක් නොදනී.

පරිශීලකයන්ගේ දත්ත තෙවන පාර්ශවයන් අතට (2011)

2011 වසරේදී නැවතත් Facebook වෙත චෝදනා එල්ල විය. ඒ Facebook පරිශීලකයන්ගේ දත්ත තෙවන පාර්ශ්වයන්ගේ Apps (3rd party apps) වෙත ලබාදීම නිසාය. පරිශීලකයාට රැස් කරනවා යැයි පෙන්වනවාට වඩා බොහෝ පෞද්ගලික දත්ත, Facebook හරහා තෙවන පාර්ශවයන් අතට පත් වී තිබුණි. කිසි දිනෙක තෙවන පාර්ශ්වීය ඇප් එකක් භාවිතා නොකළ පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පවා ඔවුන්ගේ මිතුරන් ස්ථාපනය කළ ඇප්ස් හරහා තෙවන පාර්ශවයන්ට කාන්දු විය. මෙලෙස තමාගේ පෞද්ගලික දත්ත සියල්ලන්ම පාහේ ඔවුන්ගේ අනුදැනුමකින් තොරවම නැවතත් පූජා කිරීමට මුහුණුපොත් පරිශීලකයන්ට සිදුවිය.

Facebook පරිශීලකයන්ගේ මිතුරන්ගේ සංවේදී දත්ත වලට පවා ප්‍රවේශ වීමට අවසර ලබාදීම
Facebook පරිශීලකයන්ගේ මිතුරන්ගේ සංවේදී දත්ත වලට පවා ප්‍රවේශ වීමට අවසර ලබාදීම

එසේම, තම පරිශීලක දත්ත, වෙළඳ දැන්වීම් සමාගම් වලට විකිණීම සම්බන්ධයෙන්ද Facebook වෙත චෝදනා එල්ල විය. එලෙස චෝදනාවට ලක් වූයේ, එවැන්නක් නොකරන බව තම පරිශීලකයන් හට පොරොන්දු වී සිටි Facebook සමාගමයි.

එකල්හි, ලංකාවේ පාරිභෝගික සේවා අධිකාරිය මෙන්, ඇමරිකාවේ ක්‍රියාත්මක වන Federal Trade Commission විසින්, දිනකට ඩොලර් 16,000 බැගින් වූ දඩයක් Facebook හට නියම කරන ලදි.

Contacts පිටතට (2013)

White Hat Hacker වරයෙකු විසින්, 2013 වසරේදී මිලියන 6ක පමණ පරිශීලක පිරිසකගේ ඊමේල් ලිපින සහ දුරකථන අංක බාහිරට නිරාවරණය කරවූ Facebook දෝෂයක් සොයාගන්නා ලදි.

යම්කිසි අයෙක් Facebook වෙත ලියාපදිංචි වී, ඔහුගේ සබඳතා ලැයිස්තුව (contact list) Facebook වෙත Upload කළ පසු, එම සබඳතා දත්ත උපයෝගී කරගෙන මිතුරු යෝජනා (Friend Suggestions) පෙන්වන ආකාරය Facebook විසින් පැහැදිලි කර දෙන ලද අතර, එමඟින් ඔවුන් මුහුණුපොතේ ඇති, නැති සියල්ලන්ගේම විස්තර ගබඩා කරගන්නා බව පැහැදිලි වේ.

Facebook සමාගම විසින් එකී දෝෂය නිරාකරනය කළ අතර, එසේ තම පෞද්ගලික දත්ත නිරාවරණය වූවායැයි සැලකෙන පිරිස දැනුවත් කිරීමෙන් පසු ඔවුන් නිහඬ විය.

Facebook පරිශීලකයන් මිලියන භාගයක් විද්‍යාගාර මීයන් බවට (2014)

Facebook පරිශීලකයන් විද්‍යාගාරයේ මීයන් සේ භාවිතා කළ අවස්ථාවක් වර්තා වන්නේ වර්ෂ 2014 ක් වූ ජූලි මාසයේ ය. අහඹු ලෙස තෝරාගත් මිලියන භාගයකට වැඩි Facebook පරිශීලකයන් වෙත ධනාත්මක හා සෘණාත්මක post වැඩියෙන් පෙන්වමින් ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කළේ ඔවුන්ට කිසිදු ආකාරයක දැනුම්දීමක් සිදු කිරීමකින් තොරව වන අතර, එම පරීක්ෂණයෙන් සොයාබලා ඇත්තේ සමාජ මාධ්‍ය වල චිත්තවේග පැතිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාක් ස්කර්බර්ග් ගේ ප්‍රතිචාරය වී ඇත්තේ "සමහර පරිශීලකයන් ඒ පිළිබඳව සැලකිලිමත් වී ඇති බව තමන් අවබෝධ කරගත් බවත්, ඒ පිළිබඳව ඔහුගේ සේවක මණ්ඩලය සමඟ සමාව අයැද සිටින බවත්" ය.

තෙවන පාර්ශවීය වෙබ් අඩවි වලදි data ගැනීම තහනම්, බෙල්ජියන් අධිකරණය (2018)

වර්ෂ 2018ක් වූ පෙබරවාරියේදී  බෙල්ජියානු අධිකරනය විසින් Facebook සමාගම වෙත ඔවුන්ගේ රටේ Facebook පරිශීලකයන්ගේ  දත්ත, තෙවන පාර්ශවීය අඩවි වලදී, cookies භාවිතයෙන් රැස් නොකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලදි.

තෙවන පාර්ශවීය වෙබ් අඩ්වි වලින් Facebook පරිශීලකයන්ගේ දත්ත එක්‍ රැස් කරන ආකාරය

එලෙසම, මේ වන විටත් Facebook සමාගම රැස් කර ඇති Facebook ගිණුම් හිමි බෙල්ජියානුවන්ගේ සහ වැරදීමකින් හෝ අතපසු වීමකින් Facebook අඩවිය වෙත පිවිසි බෙල්ජියානුවන්ගේ නීති විරෝධී ලෙස රැස් කළ දත්ත මකා දමන ලෙසත් නියෝග කරන ලදි, එසේ නොකළහොත් යූරෝ මිලියන සියයක දඩයක් නියම කරන බවද ප්‍රකාශ විය.

Facebook කියා සිටියේ ඔවුන් යුරෝපා දත්ත ආරක්ෂණ නීති හා රෙගුලාසි පිළිපදින බවත්, එලෙස තෙවන පාර්ශවීය අඩවි වලින් දත්ත රැස් කිරීමෙන් වැළකීමට පරිශීලකයන් හට ඉඩ ලබා දී තිබූ බවත් ය. Facebook සමාගම අදාළ නියෝගයට එරෙහිව අභියාචනයක් නිකුත් කරන බව කියා සිටියේ ය.

Cambridge Analytica සිදුවීම (2018)

2018 වසරේ මුල් භාගයේ ලොව පුරා ඇවිලී ගිය Cambridge Analytica සිදුවීම නිසා ලොව බොහෝ දෙනා මුහුණුපොතේ සැඟවුණු රකුසන් ගැන අවබෝධ කරගන්නා ලදි. Cambridge Analytica යනු දේශපාලන දත්ත විශ්ලේශක සමාගමකි. 2016දී පැවති ඇමරිකානු මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ආයතනය කුලියට ගන්නා ලදි. මිලියන 87ක් වූ ඇමරිකානු ෆේස්බුක් පරිශීලක දත්ත, ඔවුන්ගේ පෞරුෂත්වය සහ හැසිරීම අධ්‍යයනය කරනු පිණිස Cambridge Analytica සමාගම විසින් ලබාගෙන තිබුණි.

Alexander Nix, the chief executive of Cambridge Analytica
Alexander Nix, the chief executive of Cambridge Analytica

අමු අමුවේ සිදු කර තිබූ මෙම දත්ත මංකොල්ලය ගැන මාක් සකර්බර්ග් ට පැවසීමට තිබුණේ මෙවන් වදනකි.

“සිදු වූයේ කුමක්ද යන්න හරි ආකාරව වටහාගැනීමට මම උත්සාහ කරමින් ඉන්නවා, මෙවැන්නක් නැවත සිදු නොවීමට කටයුතු කරන්නේ කෙසේ දැයි මා සිතනවා. සතුටට කාරණාව නම්, මෙවැන්නක් වැළැක්වීම සඳහා අපි වසර ගණනාවකට කලින් පියවර ගත්තා, නමුත් අපි අතින් වැරදි සිදු වුණා. අප මීටත් වඩා ඉදිරියේදී මේවාට පිළියම් යෙදීමට සිදු වෙනවා.” ‍යන්නයි.

මාක් සකර්බර්ග්ගේ ප්‍රකාශය

මෙහි දක්වන ලද්දේ පෞද්ගලිකව මා හට ප්‍රභල යැයි පෙනී ගිය සිදුවීම් ඉතා සුළු ප්‍රමාණයක් වන අතර, Facebook සමාගමේ ක්‍රියාකලාපය සහ ඔවුන්ගේ අඳුරු අතීතය ගැන ඔබට කියැවිය හැකි විස්තර බොහෝමයක් අන්තර්ජාලයෙන් ලබාගත හැක. මෙම ලිපිය ඉන් ප්‍රධානය.

අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම ගැන ඔබ මා මෙන්ම සැලකිලිමත් යැයි මා සිතන අතර, Facebook ආයතනය සහ එහි අනුබද්ධ සේවා වන Instagram, WhatsApp වැනි සේවා ද මේ හා සමාන වන බව ඔබට අමුතුවෙන් පැවසීම අනවශ්‍ය යැයි සිතමි. මෙපමණ පරිශීලක දත්ත අවභාවිතා කළ සමාගමක් මිනිසුන් වැළඳ ගෙන සිටීමේ හේතුව මෙන්ම මෙවැනි දෑ වලින් වැළකෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට අපි නැවතත් හමුවෙමු.

ඔබට ජය!