ද්‍රව්‍ය නිරෝධායනයට භාවිතා කරන ගැමා ප්‍රවිකිරණය හෙවත් Gamma Irradiation කියන්නේ මොකක්ද?

· 1 min read
ද්‍රව්‍ය නිරෝධායනයට භාවිතා කරන ගැමා ප්‍රවිකිරණය හෙවත් Gamma Irradiation කියන්නේ මොකක්ද?

ගැමා විකිරණ කියලා කියන්නෙ විද්‍යුත්-චුම්බක වර්ණාවලියේ ශක්තිය වැඩි ම තරංග සමූහයට. මේ නිසා ම ගැමා විකිරණ සතුව ඉහළ විනිවිද යාමේ හැකියාවක් සහ අයනීකරණ හැකියාවක් තියෙනවා. කාර්මික මිනුම් කටයුතු වල ඉඳලා, පිළිකා ප්‍රතිකර්ම දක්වා ම ගැමා විකිරණ ඉතා සුලභ ව භාවිතා වෙන බව බොහෝ දෙනෙක් දන්නවා ඇති.

මේ අතර තියෙන තවත් එක් විශේෂ යෙදීමක් තමයි ගැමා ප්‍රවිකිරණය (Gamma Irradiation) කියන්නෙ. ගැමා විකිරණ වගේම අධිශක්ති ඉලෙක්ට්‍රෝන කදම්බ (Electron Beam) සහ X-කිරණත් ප්‍රවිකිරණය සඳහා යොදාගන්නවා.

Radura: ප්‍රවිකිරණ සුරක්ෂිතතා සහතිකය. මේ රැඩියුරා ලකුණින් කියවෙන්නෙ ද්‍රව්‍යයක සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ප්‍රවිකිරණයට ලක් කර ඇති බව.

ප්‍රවිකිරණය කියන එකේ අදහස තමයි, ප්‍රබල විකිරණ ප්‍රභවයක් භාවිතා කරමින් ද්‍රව්‍ය විකිරණ වලට නිරාවරණය කිරීම. එහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන විවිධ ප්‍රතිඵල තියෙනවා. අපි දැන් බලමු ගැමා ප්‍රවිකිරණය සහ එහි යෙදීම් (ශ්‍රී ලංකාවත් ඇතුළුව) ගැන,

ගැමා ප්‍රතිවිකිරණයේ භාවිත ;

01. ද්‍රව්‍ය ජීවාණුහරණය කිරීම

සැළකිය යුතු විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වීමෙන් සජීවී සෛල වලට හානි වෙන්න පුලුවන්. මේ ගුණය යොදාගෙන තමයි මේ කාර්‍යය කෙරෙන්නෙ. උදාහරණයක් විදියට ලංකාවේ රෝහල් සියල්ලටම සැපයෙන ශල්‍ය අත්වැසුම් ජීවාණුහරණය කෙරෙන්නේ මේ ක්‍රමය මගින්. කිලෝ ග්‍රේ 25ක (ග්‍රේ කියන්නෙ ද්‍රව්‍යයක් විකිරණ නිසා අවශෝෂණය කරගන්න ශක්ති ප්‍රමාණය මනින්න පාවිච්චි කරන ඒකකයක්. ග්‍රේ එකක් කියන්නෙ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකට ජූල් එකක ශක්තියක් ලබාදෙන්න දිය යුතු විකිරණ ප්‍රමාණය) විතර විකිරණ මාත්‍රාවක් දුන්නම අත්වැසුම් වල බැක්ටීරියා වගේ ක්ෂුද්‍රජීවීන් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන්.

මේ ක්‍රමයේ තියෙන විශාලතම වාසිය තමයි විකිරණ සතු විනිවිද යාමේ ගුණය නිසා අත්වැසුම් පැකැට්ටු මුද්‍රා තැබීම අවසන් කළාට පස්සෙත් ජීවාණුහරණය කළ හැකි වීම. ඒ නිසා නැවත විවෘත කෙරෙන තුරු ඒවායේ පිරිසිදුබව ගැන තහවුරු කරන්න පුළුවන්. රසායන ද්‍රව්‍ය පාවිච්චි කළාම සිද්ධ වෙනවා වගේ රසායනික අවශේෂ තැන්පත් නොවීමත් විශේෂ වාසියක්.

ඉතින් මේ ක්‍රමය ම වෛද්‍ය විද්‍යාවේ පාවිච්චි කෙරෙන සාම්පල් බෝතල්, සිරින්ජ වගේම බද්ධ කරගැනීම සඳහා වෙන් කරගත් මිනිස් පටක ජීවාණුහරණය කරන්නත් යොදාගන්නවා. ඒක නිසා ලංකාවෙ මානව පටක බැංකුවෙ (අක්ෂිදාන සංගමයට) කුඩා ප්‍රවිකිරණ යන්ත්‍රයක් තියෙනවා.

මේ වගේම මස් සහ මාළු වර්ගත් ප්‍රවිකිරණය කෙරෙනවා. විශේෂයෙන්ම මස්, මාළු මත/අභ්‍යන්තරයේ වැඩෙන සැල්මොනෙල්ලා සහ ඊකොලි වගේ රෝගකාරක ජීවීන් නැති කරන්න මේක ඉතා සාර්ථක ක්‍රමයක්. මස් මාළු අමුවෙන් හෝ අර්ධ වශයෙන් පිසීමෙන් ආහාරයට ගන්නා චීනය, ජපානය, කොරියාව සහ ප්‍රංශය වගේ රටවල් වල මේ වෙනුවෙන් ප්‍රවිකිරණය යොදා ගැනෙනවා.

02. ද්‍රව්‍ය නිරෝධායනය කිරීම

ලංකාවෙන් අපනයනය කෙරෙන තේ වල කුරුමිණියෙක් හමු විමත් සමග යම් යම් ගැටලුවලට මුහුණ දෙන්න සිදු වු බව ඔබට මතක ඇතිනේ. මෙන්න මේ වගේ අවදානමක් නැති බව තහවුරු කරන්න තිබ්බා අපි තේ කොළ ප්‍රවිකිරණය කරලා යැව්වා නම්. ප්‍රවිකිරණය කියන්නෙ බොහොමයක් රටවල් නිරෝධායනය සඳහා මහා පරිමාණයෙන් භාවිතා කරන ක්‍රමයක්. තේ කොළ, ධාන්‍ය, කුළු බඩු, ආයුර්වේද හෝ ශාක කොටස් සම්බන්ධ ඖෂධ (ඔය ආයුර්වේද බේත් ගුලි එහෙම නිතර පුස් කාලා තියෙන බව දැකලා ඇතිනෙ) වගේම පළතුරු වල ඇතුලෙ බිත්තර හෝ කීට අවධියේ ඉන්න පලිබෝධකයනුත් සම්පූර්ණයෙන් විනාශ කරලා අපනයන ද්‍රව්‍ය වල තත්ත්වය සහතික කරන්න පුළුවන් ඉතා විශ්වාසදායී ක්‍රමයක් මේක.

හාල් ඇතුළු ධාන්‍ය වර්ග එහෙම ඇසිරීමෙන් පස්සෙ මේ විදියට ප්‍රවිකිරණය කිරීමෙන් ගුල්ලන්ගෙන් වෙන හානිය නැති කරන්න පුළුවන්.

03. පරිභෝජන ද්‍රව්‍ය වල ගබඩා ආයුකාලය වැඩි කිරීම

අපි හැමෝම දන්නවා ස්ට්‍රෝබෙරි ගැන. ප්‍රශ්නය තමයි ස්ට්‍රෝබෙරි කැඩීමෙන් පස්සෙ දවස් තුනකින් පුස් කන්න පටන් ගන්නවා. මේක පටන් ගන්නෙ ඵලයේ ඇතුළෙ නිසඟව වැඩෙන දිලීරයක් මගින්. ඉතිං බාහිරින් රසායන ද්‍රව්‍ය යෙදූ පමණින් මේක පාලනය කරන්න බෑ. බොහොමයක් රටවල් මේ නිසා ස්ට්‍රෝබෙරි ප්‍රවිකිරණය කරනවා. ඒ මගින් ස්ට්‍රෝබෙරි කල් තබා හැකි කාලය සති 2-3 ක් තෙක් දිගුකළ හැකියි. මේ විදියටම මස් වර්ග, කුළුබඩු සහ ධාන්‍ය සහ ඇතැම් එළවළු ත් කල් තබාගන්න පුළුවන්. දැන් හිතලා බලන්න ලංකාවට එන සමහර පළතුරු වර්ග නරක් නොවී එච්චර කල් තියෙන්නෙ කොහොමද කියලා. ඉන්දියාව එහෙම මේ ක්‍රමය මහා පරිමාණයෙන් පාවිච්චි කරනවා අපනයනය කරන අඹ සඳහා.

04. එළවලු සහ ඇතැම් පළතුරු පැල වීම වැළක්වීම

අපිට හුරු පුරුදු දෙයක් තමයි ලංකාවෙ හැදුණු අල ළූණු වගේ දේවල් හරිම ඉක්මනින් පැල වෙනවා කියන එක. මේකෙන් එක්තරා සෞඛ්‍ය තර්ජනයක් ඇති වෙනවා වගේම ඒ ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අපතේ යාමත් වෙනවා. එතකොට ඉන්දියාවෙන් ගෙන්නන සුදුළූණු, අල, ළූණු එහෙම පැල නොවෙන්නෙ කොහොමද කියලා කල්පනා කරලා බලන්න පුළුවන් (මේක වෙන්නෙ ප්‍රවිකිරණය මගින්මයි කියලා කියන්න අපහසුයි) නමුත්, ඉන්දියාව බහුලව මේ ක්‍රමය පාවිච්චි කරනවා. ප්‍රවිකිරණය කියන්නෙ අපනයන වෙළඳපොළ වාසිය ඉහළින්ම වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්.

05. ද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීම

රබර් වල්කනයිස් කිරීම ගැන අහලා ඇතිනෙ. සාමාන්‍යයෙන් වල්කනයිස් කරන්නෙ රබර් වලට ගෙන්දගම් මිශ්‍ර කරලා රත් කිරීමෙන්. මේක සැලකිය යුතු වියදමක් වගේම පාරිසරික ප්‍රශ්න වලට දායක වෙන ක්‍රමයක්. මේ කිසිවක් නැතුව වල්කනයිස් කිරීම කරන්න ප්‍රවිකිරණය පාවිච්චි කරන්න පුළුවන්.

රබර් විතරක් නෙමෙයි, ඒ වගේ බහුඅවයවික සැකසුම් කරන්නත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම කයිටෝසාන් (ඉස්සන්ගෙ, කකුළුවන්ගෙ එහෙම කවචයේ තියෙන කයිටීන් වලින් හදාගන්න බහුඅවයවිකයක්) සැකසුම් කිරීමෙන් විවිධ නිෂ්පාදන කිරීමේ හැකියාවක් ප්‍රවිකිරණයට තියෙනවා. අර ඉලෙක්ට්‍රොනික පරිපථ සෑදීමේදී පාවිච්චි කරන තාපයෙන් ඇකිලෙන පරිවාරක ආවරණ (heat shrinking tube) නිෂ්පාදනය කරනකොට ඒ ගුණය ලබාදීලා තියෙන්නෙ බහුඅවයවිකයක් ප්‍රවිකිරණය කිරීම මගින්.

සමහර වෙලාවට ප්‍රවෘත්ති පළ වෙනවා දැකලා ඇති රෝහල් වල පිළිකා ප්‍රතිකර්ම යන්ත්‍ර වල මැණික් පුච්චලා අහු වෙලා කියන සිද්ධි. මේකත් ඇත්තටම ප්‍රවිකිරණයේ තව යෙදීමක්. ගෙවුඩ වගේ බාල මැණික් වර්ග වල වර්ණය වැඩි කරන්න ප්‍රවිකිරණය පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නය තමයි ප්‍රවිකිරණයෙන් පමණක් ස්ථීර වර්ණයක් ලබා ගන්න බැරි වීම. ප්‍රවිකිරණය කරලා දවස් කීපයක් ගියාම ගෙවුඩය කළින් තිබ්බ වර්ණයටම එනවා. මේකට තව රසායනික සහ තාප ප්‍රතිකර්ම කීපයක් කිරීමෙන් ඉතා වටිනා ස්ථීර, කෘත්‍රිම මැණික් නිර්මාණය කරන්න පුළුවන්. තායිලන්තය එහෙම මේ වැඩේට බොහොම දක්ෂයි. ලංකාවෙන් ගෙවුඩ සෑහෙන ප්‍රමාණයක් ඉස්සර මිලදී ගත්තෙ තායිලන්තයෙන්.

ඒ ඒ ද්‍රව්‍ය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙන අරමුණ තීරණය කෙරෙන්නෙ ලබා දෙන විකිරණ ප්‍රමාණයෙන්. ඒක නිසා ප්‍රවිකිරණය කිරීම කියන්නෙ ඉතා සීරුවට කළ යුතු වැඩක්. විශේෂිත තාක්ෂණික දැනුමක් අත්‍යාවශ්‍යයි. සාමාන්‍යයෙන් ප්‍රවිකිරණය ගැන කතා කරනකොට ඒ ගැන සමාජගත වෙලා තියෙන වැරදි අදහස් කීපයක් තියෙනවා. ඒ ගැන මම දැන් කතා කරන්නම්.

01. ප්‍රවිකිරණයෙන් පස්සෙ ඒ ද්‍රව්‍ය විකිරණශීලි වෙනවද?

උත්තරය කිසිසේත්ම නෑ. ප්‍රවිකිරණය සඳහා භාවිතා කරන විකිරණ වල ශක්තීන් වලින් වෙනත් ද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ගුණ වෙනස් කරන්න බෑ. නියුට්‍රෝන වගේ අධි ශක්ති විකිරණ වලට මිසක් මේ සාමාන්‍ය ගැමා වලට වෙනත් දෙයක් විකිරණශීලි බවට පත් කිරීමට හැකියාවක් නෑ.

මේ ප්‍රශ්නය අහන දෙවෙනි විදිය තමයි ප්‍රවිකිරණය කළාම ඒ ද්‍රව්‍ය ඇතුළේ විකිරණ රැඳෙනවද කියන එක. මේකට උත්තර දෙන්න වෙන්නෙ ගැමා විකිරණ කියන්නෙ මොනවද කියන එකෙන්. ගැමා කියන්නෙ ශක්තිය වැඩි විද්‍යුත්-චුම්බක තරංගයක්. ආලෝකය වගේ. අපි මොකක් හරි දේකට ටෝච් එකක් ගහලා ඒක නිවා දැම්මට පස්සෙ අර ද්‍රව්‍යයේ ඒ එළිය රැඳෙනවද? එහෙම උනා නම් ඇත්තටම අපේ ජීවිත මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා. නමුත්, එහෙම වෙන්නෙ නෑ.

02. ප්‍රවිකිරණය නිසා ද්‍රව්‍ය වල ජානමය වෙනස්කම් වෙනවද?

මේකට උත්තරයත් නෑ කියන එකම තමයි. ජානමය වෙනස්කමක් කියලා අපි සළකන්නෙ සජීවී සෛලවල න්‍යෂ්ටියේ ඇති වර්ණදේහ වල සිද්ධ වෙන විපර්‍යාසයකට. ප්‍රවිකිරණය නිසා සජීවී සෛල වල වර්ණදේහ වලට හානි වෙනවා. මේ හින්දා තමයි ප්‍රවිකිරණයේදි ක්ෂුද්‍රජීවීන් විනාශ වෙන්නෙ. නමුත්, පළතුරක, එළවලුවක හෝ ධාන්‍ය වර්ගයක හානි වූ වර්ණදේහ සහිත සෛල තවදුරටත් වර්ධනය වීමකට ලක් වෙන්නෙ නෑ. මේ නිසා විනාශ වූ වර්ණදේහ සහිත සෛල විකෘති වූ වර්ණදේහ සහිත සෛලයක් බවට ප්‍රතිනිර්මාණය වෙන්නෙ නෑ. වර්ණදේහය විනාශ වීම/බිඳී යාම මිසක්, ඒකෙ ව්‍යුහය වෙනස් වෙලා ප්‍රතිනිර්මාණය කිරීමක් කෙරෙන්නෙ නෑ ප්‍රවිකිරණයේදි.

සරු බීජ ප්‍රවිකිරණය කරලා නව ප්‍රභේද නිර්මාණය කිරීම සිද්ධ වෙනකොට නම් මේ ක්‍රමය යොදාගන්නවා.

03. ප්‍රවිකිරණය නිසා එළවලු පළතුරු වගේ දේවල ගුණය හෝ රසය හානි වෙනවද?

මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ අණුවක/ද්‍රව්‍යයක විශාලත්වය මත විකිරණ වලින් කෙරෙන බලපෑම වෙනස් වෙන විදිය තේරුම් ගැනීමෙන්. දැන් අපි සාමාන්‍ය මනුස්සයෙක්ට මාරාන්තික හානි කරන්න පුළුවන් විකිරණ මට්ටම ග්‍රේ 5-10 වගේ. අපේ ශරීර විශාලයි. ඒක නිසා හානිය වැඩියි. නමුත්, කුඩා ක්ෂුද්‍රජීවීන් විනාශ කරන්න නම් ඔය කිව්ව ජීවාණුහරණ ක්‍රියාවලියේ දි ග්‍රේ 25000ක් ලබා දිය යුතුයි. ඉතිං ඊටත් වඩා පුංචි ඇමයිනෝ අම්ල අණු, ප්‍රෝටීන අණු විනාශ කරන්න නම් ඉතා අධික විකිරණ මාත්‍රාවක් ලබා දෙන්න වෙනවා. මේක කිසිසේත්ම සිද්ධ කෙරෙන්නෙ නෑ. මොකද ඒ වෙනකොට ඒ පළතුර පරිභෝජනයට ගන්න බැරිවෙන්නම තැම්බීමක් හෝ වෙනත් භෞතික විපර්‍යාසයකට ලක් වෙලා ඉවර නිසා. සාමාන්‍යයෙන් පළතුරු වගේ දේවල් වලට ලබා දෙන උපරිම මාත්‍රාව කිලෝ ග්‍රේ දශම කීපයක්. මේ දෙන මාත්‍රාවෙන් ඉතා සුළු අණු කීපයක් විනාශ වෙන්න පුළුවන්. මේක ඇත්තටම නොගිනිය හැකි පෝෂණ හානියක්.

ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවෙ ප්‍රධාන වශයෙන් ම ගැමා ප්‍රවිකිරණය භාවිතා කෙරෙන්නෙ ජීවාණුහරණ ක්‍රියාවලීන් සඳහා. බියගම අපනයන සැළසුම් කළාපයේ තියෙන පුද්ගලික ආයතනයක් සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අයත් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය ලංකාවෙ තියෙන විශාලතම විකිරණ ප්‍රභව දරන ප්‍රවිකිරණ යන්ත්‍රාගාර වෙනවා. මින් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය තමයි පූර්ණ වශයෙන් රජයට අයත් ප්‍රවිකිරණ මධ්‍යස්ථානය වෙන්නෙ. ලංකාවේ ජාතික ප්‍රවිකිරණ තාක්ෂණ මධ්‍යස්ථානය විදියට සේවා සැපයීම ගැමා මධ්‍යස්ථානයෙන් සිද්ධ වෙනවා. දැනට ලංකාවේ රෝහල් සඳහා අවශ්‍ය සියලුම ශල්‍ය අත්වැසුම් ජීවාණුහරණය කෙරෙන්නෙත් මෙහිදී.