විසඳුම් නැති න්‍යෂ්ටික අපද්‍රව්‍ය ප්‍රශ්නයට ඇති අවසන් විසඳුම

· 1 min read
විසඳුම් නැති න්‍යෂ්ටික අපද්‍රව්‍ය ප්‍රශ්නයට ඇති අවසන් විසඳුම

න්‍යෂ්ටික බලාගාර කිව්ව ගමන් ම ඉස්සෙල්ලම "චර්නොබිල්" කියලා නොකියන අය අහන ප්‍රශ්නය වෙන්නෙ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගැන. මේක සාධාරණ ප්‍රශ්නයක්. න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගැන කළින් ලිපියක ලියලා තියෙන නිසා, මේ අපද්‍රව්‍ය වලට තියෙන අවසන් විසඳුම ගැන තමයි අද මේ කෙටියෙන් සලකා බලන්නේ.

න්‍යෂ්ටික අපද්‍රව්‍ය වල තියෙන ප්‍රධානම අභියෝග දෙක වෙන්නෙ අධික විකිරණශීලිතාවය සහ සැළකිය යුතු තාපයක් පිට කරන එක. විකිරණශීලිතාවය දීර්ඝ කාලයක් තියෙන නිසා, අවුරුදු 500 - 1,000 අතර කාලයක් ඒවා ආරක්ෂිතව ගබඩා කල යුතු වෙනවා. (මේ කියන්නෙ ඉන්ධන ප්‍රතිසැකසුම් කිරීමෙන් ප්ලූටෝනියම්, යුරේනියම්, කියුරියම් සහ ඇමරිසියම් කියන විකිරණශීලී ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පස්සෙ ඉතිරි වෙන ටික. ඒවා ඉවත් නොකරනවා නම් ඊට වඩා විශාල කාලයක් අවශ්‍යයි.) ඉන් පස්සෙ ඒවගෙන් හානියක් නැති තරම්. ලෝකයේ තියෙන ඔක්කොම භයානක අපද්‍රව්‍ය ගත්තම, න්‍යෂ්ටික අපද්‍රව්‍ය තියෙන්නෙ 0.1%ක් විතර. අනෙක් බහුතරය රසායනික අපද්‍රව්‍ය. ඒවා අතරිනුත් බැර ලෝහ වගේ ඒවා කල්පයක් ගියත් විෂ නැති වෙන්නෙ නෑ.

මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය වලට දැනට යෝජනා වෙලා තියෙන විසඳුම් අතරින් වඩාත්ම සාර්ථක සහ ආරක්ෂිත විසඳුම විදියට සැළකෙන්නෙ ඒවා විශේෂිත භූගත ගබඩා (deep geological repositories) වල ස්ථීරවම ගබඩා කරන එක.

ඒ අනුව ෆින්ලන්තය සහ ස්වීඩනය මේ වෙනකොට මුල්ම භූගත ගබඩා සංකීර්ණ ඉදි කරගෙන යනවා. ෆින්ලන්තය තම ගබඩා සංකීර්ණය තව වසර කීපයක් තුළ ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ විසඳුම හැර, එම අපද්‍රව්‍ය රොකට්ටු මගින් සූර්‍යයා වෙත යොමු කිරීම, භූ තැටි වල ස්වභාවික චලනය යොදාගනිමින් පොළව තුළට යැවීම සහ ධ්‍රැව අයිස් වල පතුලේ තැන්පත් කිරීමත් යෝජනා වෙලා තියෙනවා. ඒත් ඒවායේ තියෙන බොහොමයක් ආරක්ෂණ ප්‍රශ්න නිසා ඉන් එහාට සළකා බැලීමක් වෙලා නෑ.

ෆින්ලන්තයේ භූගත අපද්‍රව්‍ය ගබඩා සංකීර්ණය.

භූගත ගබඩා ගැන කිව්ව ගමන් ම එන ප්‍රශ්නය තමයි ඒවාගෙන් මේ ද්‍රව්‍ය කාන්දු වෙලා ජල මූලාශ්‍ර වලට මිශ්‍ර වෙන්න බැරි ද කියන එක. මටත් මුල්ම කාලෙ දි මේවායේ ආරක්ෂාව ගැන තිබ්බෙ එක්තරා විචිකිච්ඡාවක්. නමුත්, ඒ ප්‍රශ්නෙට විසඳුම දීලා තියෙන්නෙත් ස්වභාව ධර්මයෙන්ම තමයි.

මීට අවුරුදු බිලියන දෙකකට විතර කළින් ක්‍රියාත්මක වූ ස්වභාවික න්‍යෂ්ටික බලාගාරයක් තියෙනවා ගැබොන් හි ඕක්ලෝ වල. අවුරුදු ලක්ෂ පහක් විතර ස්වභාවික හේතු නිසාම ක්‍රියාත්මක වෙච්ච මේ බලාගාරයෙනුත් ඔය වගේම අපද්‍රව්‍ය බිහි වෙලා තියෙනවා. මේ ඕක්ලෝ පතල තිබුණෙ මැටි ස්ථරයක් පදනම් කරගෙන. සතුටුදායක කතාව තමයි අවුරුදු බිලියන දෙකකට පස්සෙත්, කිසිම ප්‍රාථමික ආවරණයක් නැතුව තිබ්බ මේ අපද්‍රව්‍ය චලනය වෙලා තියෙන්නෙ අඩි 12ක් විතරක් වීම.

ඒ නිසා සංකීර්ණ තාක්ෂණික ආවරණ ගණනාවක් එක්ක ගබඩා කෙරෙන මේ අපද්‍රව්‍ය කාන්දු උනත් ඉන් ජල මාර්ග වලට හානි වෙන්න බෑ. මොකද මේ ගබඩා වල තියෙන පාෂාණ ස්ථරය හරහා මේ මූලද්‍රව්‍ය වල චලනය අතිශය සීමිතයි. ඒක අවුරුදු ගණනාවක් තිස්සෙ රටවල් ගණනාවක් කරපු පරීක්ෂණ සහ ගණිතමය ආකෘති වලින් සනාථ කරලා තියෙන කාරණයක්.

එවැනි ගබඩාවක න්‍යෂ්ටික අපද්‍රව්‍ය තැන්පත් කෙරෙන ආකාරය.

ඒකෙන් කියන්නෙ ඕනෙ තැනක පතලක් කපලා ඒවා වල දාන්න පුළුවන් කියන එක නම් නෙමෙයි. මේ සඳහා යොදාගන්න මව් පාෂාණය සඳහා විශේෂිත සුදුසුකම් තිබිය යුතුයි. ඒ අනුව, විවිධ මව් පාෂාණ සඳහා විවිධ ක්‍රම යොදාගෙන එකම ආරක්ෂණ මට්ටමක් ලබාගන්න හැකියාවක් තියෙනවා. ඕක තමයි ඉතිං ඒ ගැන කියන්න තියෙන කතාව.

ලංකාවෙ න්‍යෂ්ටික බලාගාර කිව්ව ගමන්, "ඕවා කරලා අපද්‍රව්‍ය ගබඩා කරන්න මේ රටේ ඉඩ තියෙනවද?" කියලා අහන ප්‍රශ්නෙට නම් මේ උත්තරේ ලොකු වැඩියි. ප්‍රමාණවත් ප්‍රතිසැකසුම්කරණ තාක්ෂණයක් නැතුව ලංකාව වගේ රටකට මේවා කළමනාකරණය කරන එක පහසු නෑ. විශේෂයෙන්ම බලාගාර දෙක තුනක න්‍යෂ්ටික අපද්‍රව්‍ය වෙනුවෙන් මෙච්චරක් මහන්සි වෙන්නත් උවමනා නෑ. ඒකට තියෙන විසඳුම හරිම සරලයි.

ඒ තමයි, ඉන්ධන මිලදී ගන්න ආයතනයටම ඒ වගකීම දීලා භාවිතයෙන් පස්සෙ ඉන්ධන ආපහු ඒ රටවලට ප්‍රතිනැව්ගත කරන එක. ඉන් ඉන්ධන වල මිල තරමක් වැඩි වෙනවා උනත්, ලොකු අභියෝගයකින් නිදහස් වෙන්න පුළුවනි. බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තමන්ගෙ අපද්‍රව්‍ය වලට කරන්නෙ මේක. ඒවා පිළිවෙලින් රුසියාව සහ ඇමරිකාව වෙත යැවෙනු ඇති.

නමුත්, මේ භූගත ගබඩා ගැනත් තව අභියෝගයක් තියෙනවා. ඒක කිසිසේත්ම න්‍යෂ්ටික විද්‍යාවෙ ප්‍රශ්නයක් නොවෙන එක තමයි පුදුම සහගත කාරණය. සන්නිවේදනය සහ වාග් පරිණාමය වගේ විෂයයන් ගැන අවධානයක් තියෙන අය ඉන්නවා නම් මේ ප්‍රශ්නය ඒ අයට. ඒ තමයි "දැනුමේ අඛණ්ඩභාවය" (continuation of knowledge), එහෙම නැත්තං මේ ගබඩා ගැන දැනුම නොකඩවා අවුරුදු සිය දහස් ගණනක් ගෙනියන්නෙ කොහොමද කියන එක. විශේෂයෙන්ම, ඉදිරියේ දි වෙන්න පුළුවන් ක්ෂණික/කෙටිකාලීන එහෙත් විශාල මානව-සමාජයීය වෙනසක දි, ඉන් පසු පරම්පරා වලට මේ ගැන සන්නිවේදනය කරන්නෙ කොහොමද? කියන ප්‍රශ්නය තමයි දැන් ඉතිරි අභියෝගය වෙලා තියෙන්නෙ.

සාරාංශය තමයි, කොච්චර දොස් කිව්වත්, න්‍යෂ්ටික අපද්‍රව්‍ය වලට අනිත් කිසිම අපද්‍රව්‍යයකට නැති තරම් හොඳ, තහවුරු කළ සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන විසඳුමක් තියෙනවා ය කියන එක. ‌‌