Emojis නැතුව චැට් කරන්න පුලුවන්ද? බෑ නේ? ඉතින් අපි කතා කරමු අද ඉමෝජි ගැන. ඉමෝජි කියල හදුන්වන පුංචි පුංචි රූප මොනවද කියන්න අද සයිබරේ ඉන්න කොයි කවුරුත් හොදින්ම දන්නව. අපි නිකන්ම අකුරු වචන වලට හරවලා කරගන්න සයිබර් අදහස් ප්‍රකාශ කිරිම් වලදි සමහර වෙලාවට අපි අදහස් කරන දේ නැතිව වෙනත් අදහසක් පණිවිඩය කියවන කෙනාට දැනෙන්න ඉඩ තියෙනවා.

උදාහරණයක් විදියට ඔයා ඇයි? කියල නිකන්ම ඇහුවොත් අනිත් කෙනා හිතන්න පුලුවන් මේ මනුස්සයා ගේමට ද එන්නෙ කියල. කියන්න බෑ‌නෙ පාං කපන පිහියක් වත් අතේ තිබුනොත් එහෙම. ඒත්, ඔයා “ඇයි?” කියල වගේ ඇහුවොත් ඉමෝජියක් එක්ක, එතනදි අනිත් කෙනාට තේරෙනවා ඔයා කිසි අවුලක් නැතුව අහන්නෙ කියල. නිකමට හිතන්න බලන්න මේ ඉමෝජි වලින් පුලුවන් අපි වචන බර ගානකින් කියන දේවල්, ඉමෝජි දෙකතුනකින් කියලා දාන්න. ඇත්තටම කොහොමද මේ පුංචි රූප සයිබරේ ඇතුලෙ මෙච්චර ජනප්‍රිය උනේ කියල දැන් ඔයාට හිතාගන්න පුලුවන්නේ? ඒත් කොහොමද මේවා වැඩ කරන්නෙ?

අද වන විට වෙනමම භාෂාවක් බවට පරිවර්තනය වෙලා තියෙන මේ ඉමෝජි, දවසකට බිලියන හයකට අධික ප්‍රමාණයක් හුවමාරු වෙනවා. මේ ඉමෝජි වලට මුල් උනේ මුල් කාලීනව අපිත් පාවිච්චි කරපු ඉමොටිකොන්ස්. ඒ කියන්නෙ මෙන්න මේවා 😛 🙂 😀 😕 මේවා පටන්ගත්තේ 1982 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ කානගී මෙලන් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාඥයෙක් විදියට සේවය කරපු ස්කොට් ෆාමන් මහතා විසින්, විශ්වවිද්‍යාලයීය ඉලෙක්ට්‍රොනික් බුලටින් බෝඩ් එකේ පළ කරන පළකිරීම් වලට මෙන්න මේ 🙂 ඉමොටිකොන් එක භාවිත කිරීමත් සමග.

Scott E Fahlman – emoji නිර්මතෲ සහ ඔහු විසින් නිර්මාණය කල ලොව ප්‍රථම emoticon එක. wired.com

හැබැයි, සයිබරේ දි එහෙම උනාට අතින් ලියන කරන දේවල් වලදි ඊට කලින් ඉදන් ඉමොටිකොන් පාවිච්චි උනා. ඉමෝජීස් කියන්නේ හැබැයි පැහැදිලිවම ඉමොටිකොන් වලින් පරිණාමය උන දෙයක්. 1995 දි ජපන් එන්ටීටී ඩොකොමෝ ආයතනය එයාලගේ පොකට් බෙල් පේජර් එකට හදුන්වාදෙනව චූටි අයිකන් දෙකක්. එකක් ෆෝන් එකක අයිකන් එකක්. අනික හදවතක අයිකන් එකක්.

ඉතින් මේ අයිකන් දෙකෙන් ඩොකොමෝ ආයතනය එයාලගේ පේජර්ස් වලට තියෙන ඉල්ලුම වැඩි කරගෙන යද්දි, ටෝකියෝ මැසේජිං කියන ආයතනය හදුන්වාදෙනවා අයිකන් වැඩි ප්‍රමාණයක් යවන්න පුලුවන් විදියෙ ප්ලැට්ෆෝම් එකක්. ඔන්න ඔය විදියට ඩොකොමෝ එකේ පාරිභෝගිනයෝ ටික ටෝකියෝ මැසේජිං වලට මාරුවෙද්දි, ඩොකොමෝ එකේ ඉංජිනේරුවෙකු වුන ෂිගෙටකා කුරිටා (නූතන ඉමෝජි වල පියා විදියට සැලකෙන්නේ මෙයාව) වැඩකරමින් ඉන්නවා i-mode කියන අළුත් මැසේජිං ප්ලැට්ෆෝම් එකක.

Shigetaka Kurita නූතන emoji වල පියා

මෙන්න මේ අළුතින් හදාගෙන යන ප්ලැට්ෆෝම් එකේ මූලික අරමුණ වෙන්නේ කොටස් වෙළදපල දත්ත සහ කාලගුණ දත්ත පරිශීලකයින්ට ලබාදීම. මෙතනදි මෙයා තේරුම්ගන්නවා, කාලගුණ දත්ත වගේ දේවල් ලේසියෙන් පරිශීලකයාට සන්නිවේදනය කරන්න පුලුවන් කියලා පුංචි ග්‍රැ‌ෆික්ස් වලින්. ඒ කියන්නේ වැහි සහිත දවසක් නම් වලාකුළු පෙන්නලා වගේ. එයා එහෙම කරන්න හේතු උන දේ තමා i-mode ප්ලැට්ෆෝම් එක අකුරු දෙසිය පනහක මැසේජස් වලට පමණක් සීමා වීම.

කොහොම හරි කුරීටා හදාගන්නවා මේ විදියේ ග්‍රැෆික්ස් 176ක්. ආහාර, ජලය, හදවත්, වලාකුළු, ඉර වගේ සරළ රූප තමා මෙයා හදන පලවෙනි සෙට් එකේ තිබුනේත මෙයා මේවා නම් කරනවා ඊ මොජි කියලා. ඊ මොජි කියන්නේ ජපන් භාෂාවෙන් රූප අක්ෂර කියන වචන දෙක. (ඔව් මාත් දෙදාස් දොලහ විතර වෙනකල් හිතාගෙන හිටියෙ ඉමෝජි හැදුනෙ ඉමෝෂන් කියන වචනෙන් කියල 😑 ) ඉමෝජි ටික නම් කොහොම හරි හදාගත්තා. දැන් මේක ඩිවයිසස් අතර යවන්න විදියකුත් තියෙන්න එපැයි.

අනූව දශකයේ අගත් දෙදාස් ගනං වල මුලත් කියන්නේ ඩේටා ස්පීඩ් එක සෑහෙන අඩුව පැවතුන කාලයක්නේ (අදට සාපේක්ෂව) ඉතින් ඒ වගේ මන්දගාමී නෙට්වර්ක් එකක ඉමේජ් ෆයිල් එකක් යවනවා කියන්නේ සෙල්ලම් වෙලාවක් යන වැඩක් නෙවෙයි. ඉතින් මේකට විසදුමක් විදියට කුරිටා කලේ ඩොකොමෝ ෆෝන් වල මේ ඉමෝජි අකුරු කලින්ම ස්ථාපනය කරලා ඒව බෙදාහරිමු කියල යෝජනා කරපු එක. ඔන්න ඔය විදියට පික්සෙල් දොලහයි දොලහෙ ඉමෝජි 176ක් මේ ෆෝන් වල ප්‍රීලෝඩඩ් යැව්වා. කාටහරි ඉමෝජියක් යවන්න ඕන උනාම අදාල ඉමෝජිය වෙනුවට යන්නේ බයිට් 2 ක වගේ පුංචි කෝඩ් එකක්. ඒ කෝඩ් එක අනිත් ඩිවයිස් එකේ අදාල ඉමෝජිය පෙන්වන විදියට තමා මෙයා මේ ප්ලැට්ෆෝම් එක ඩිසයින් කලේ.

මේ විදියට අවුරුදු ගානක් ගතවෙද්දි මේ ඉමෝජි වල පොඩි පොඩි ප්‍රශ්න මතු උනා. කෙනෙක් ලග තියෙන ෆෝන් එකෙන් යවන ඉමෝජි අනිත් ෆෝන් එකට සපෝට් කරන්නෙ නෑ වගේ ඒව. උදාහරණයක් විදියට මම මගේ ගෑණු ලමයට හාට් එකක් යැවුවොත් යන්නෙ හාට් එක වෙනුවට බෝම්බයක්. එතනම විනාසයිනේ. මොනව උනත් ඔය කියන දේවල් උන කාල වකවානුවේ දි අපිට කෙල්ලො නෑ. අපි සූර පප්පා බලන පොඩි උං 😑

කොහොම හරි මේ ඉමෝජි වලට ස්ටෑන්ඩඩ් එකක් දෙන්න ඒන කියලා හිතලා 2010 අවුරුද්දෙදි තාක්ෂණික ආයතන සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් උන තාක්ෂණවේදීන් එකතු වෙලා හදාගත්ත ලාභ නොලබන කණ්ඩායමක් විසින් හැම මෙහෙයුම් පද්ධතියකම එක සේ වැඩ කරන ඉමෝජි සිස්ටම් එකක් හදලා දෙනවා. ඉතින් මේ සිස්ටම් එක හැදුවට පස්සේ මොන ඩිවයිස් එකකින් ඉමෝජිය යැවුවත් Android, iOS, Windows, PC, Mac භේදයක් නැතිව හරියට අර ඉමෝජි ටික රෙන්ඩර් වෙනවා.

අද වනවිට Unicode Consortium එක විසින් පවත්වාගෙන යන ඉමෝජි ලයිබ්‍රරි එකේ ඉමෝජීස් 2800කට වඩා තියෙනවා. ඒ වගේම හැම අවුරුද්දකම එයාලා අළුත් ඉමෝජී සීයක් විතර පරීක්ෂා කරලා ලයිබ්‍රරි එකට ඇතුළත් කරගන්නවා. මේ ඇතුළත් කරගැනීම කරන්නේ මාස ගානක් තිස්සේ රිවීව් කරලා එයාලගෙ වෙබ් අඩවියට දාලා සයිබරේ වැසියන් විසින් තෝරාගන්නා ඒව පමණයි. ඒ විතරක් නෙවෙයි මේ ඉමෝජි වලට අයිතිකාරයෙක් නෑ. ඉමෝජි කියන්නේ ඕපන් සෝස් දෙයක්. ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් සදහා ඕනෙම ඉමෝජියක් භාවිතා කරන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි. ලෝකෙ ජනප්‍රියම ඉමෝජිය දන්නවද? දන්නවනම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ ඉමෝජිය 2015 වසරේ වචනය විදියට ඔක්ස්ෆෝඩ් ඩික්ෂනරිය විසින් හදුන්වනු ලැබුවා.

දන්නවද ඉමෝජි නිසා හිරේ ගිය මිනිස්සුත් ඉන්නව කියල? 2016 අවුරුද්දෙදි ප්‍රංශ ජාතිකයෙක්, තමන්ගෙ කලින් පෙම්වතියට පිස්තෝලෙක ඉමෝජියක් යවලා ඒක මරණ තර්ජණයක් බවට උසාවිය හමුවේ වරදකරු වෙලා මාස තුනක් හිරේ ඉදල තමා නිදහස් වෙලා තියෙන්නේ.