හැමෝම මේ දවස් වල කතා වෙ​න පෙට්‍රල්, ඩීසල් නිපදවීමට යොදාගන්නා බොරතෙල් ඇති වුනේ මේ විදිහට​යි

· 1 min read
හැමෝම මේ දවස් වල කතා වෙ​න පෙට්‍රල්, ඩීසල් නිපදවීමට යොදාගන්නා බොරතෙල් ඇති වුනේ මේ විදිහට​යි

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව තාවකාලිකව දින 50කට වගේ වසා තැබීමත් එක්ක මේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් විසින් තමන්ගේ වාහන වලට ෆුල් ටෑන්ක් තෙල් ගහගන්න පෙළඹිලා ඉන්නවා. තෙල් ඇමති නම් කියන්නේ බොරතෙල් නෑ, කොහොමත් කාලයකට සැරයක් සපුගස්කන්ද පිරිපහදුව වහනවා, ඒක නිසා කලබල වෙන්න ඕනේ නෑ, ලංකාවට තෙල් නැති වෙන්නේ නෑ කියල.

අපි අද කතා කරන්න යන්නේ තෙල් හිඟයක් ගැන නම් නෙවෙයි. මේ කට්ටිය ගහගෙන ගහගෙන යන තෙල් හදන්න ගන්න බොරතෙල් කොහොමද ඇති උනේ කියල.

මුලින්ම අපි බලමු කොහොමද මේ බොරතෙල් කියන දේ ඇතිවුණේ කියලා

මේක ගැන ලෝකයේ මත 2ක් තියෙනවා.

  1. Biogenic : මේකෙදි කියන්නෙ බොරතෙල් නිෂ්පාදනය වුණේ විවිධ ජීවී ද්‍රව්‍ය කාලයක් පුරාවට ජීර්ණය වීමෙන් කියන එක
  2. Abiogenic : මේකෙදි කියන්නෙ ජීවී නොවන කාබනික ද්‍රව්‍ය මගින් බොරතෙල් ඇතිවුණා කියන එක.

ඒ කියන්නෙ ගිනිකඳු හා භූමිකම්පා වගේ දේවල් නිසා පෘථිවි පෘෂ්ඨයට යටින් තියෙන මැන්ටලය කියන කොටසෙන් එළියට එන වායූන් ඇසුරින් මේ සංසිද්ධිය ඇතිවුණා කියන එක. හැබැයි වර්තමානය වෙනකොට පොදුවේ පිළිගැනෙන්නෙ අර මුලින් කියපු biogenic මතවාදයයි. ඒ කියන්නෙ ජීවී ද්‍රව්‍ය ඇසුරින් බොරතෙල් නිෂ්පාදනය වුණා කියන එක. දැන් අපි බලමු කොහොමද එහෙම වුණේ කියන එක.

මීට අවුරුදු මිලියන 300කට විතර කලින් ලෝක සිතියම අද අපි දකින ලෝක සිතියමට වඩා ගොඩක් වෙනස්. ඒ කාලෙ මුළු ලෝකෙටම තිබුණෙ එක තනි ගොඩබිමක් විතරයි. මේ සම්බන්ධව ලෝකය පුරාම පිළිගැනෙන්නේ ජර්මන් ජාතික විද්‍යාඥ Alfred Wegener ගෙ පැන්ජියා මතය.

Alfred Wagener

මොකක්ද මේ පැන්ජියාව?

අර කියපු තනි විශාල ගොඩබිම් මහද්වීපයේ නම තමයි පැන්ජියාව (Pangea) කියන්නෙ. මේ තියෙන්නෙ ඔය පැන්ජියාවෙ සිතියම

හොඳට බැලුවොත් මේ පැන්ජියාවේ පැත්තකට වෙන්න ගොඩබිමින් වටවුණු විශාල මුහුදක් ඔයාලට පෙනෙයි. මෙන්න මේකට කියන්නෙ ටෙතිස් මුහුද (Tethys Sea) කියලා.

Tethys Sea

මුළු පැන්ජියාවම වටකරගත්ත දැවැන්ත මුහුද ඇරුනම ඒ කාලයේ පෘථිවියට මුහුදක් කියල තිබුණෙ ඔය ටෙතිස් මුහුද විතරයි. විශාල ප්‍රදේශයක් ගොඩබිමින් වටවෙලා නිසා මේ ටෙතිස් මුහුදේ සාරවත් බව ඉතාම ඉහළ මට්ටමකයි තිබුණෙ. පෘථිවියේ ලොකුම තල්මස් ගහනය පවා තිබුණෙ මේකෙ. තව ටිකක් තේරෙන්න කිව්වොත් ඉස්සර තල්මසා කියන්නෙ කකුල් 4ක් තිබුණ ගොඩබිම ජීවත්වුණ ක්ෂීරපායි සතෙක්. මේ ටෙතිස් මුහුදේ තිබුණ සාරවත්බව නිසාමයි එයාලා ටික ටික මුහුදට අනුවර්තනය වෙලා අන්තිමට තනිකරම ජලයේ ඉන්න අද තත්වයට පරිණාමය වුනේ.

ඉතින් හිතාගන්න පුළුවන්නෙ ටෙතිස් මුහුද කොයි වගේ තැනක්ද කියලා.

හැබැයි කාලයත් එක්ක මේ හැමෝටම අවාසනාවන්ත කාලයක් උදාවුණා. තනි මහද්වීපයක් හැටියට තිබ්බ පැන්ජියාව ලෝරේෂියා සහ ගොන්ඩ්වානා කියල කොටස් 2කට කැඩෙන්න ගත්තා.

මේ වෙන්වීමත් එක්ක ටෙතිස් මුහුද ක්‍රමයෙන් පටුවෙන්න ගත්තා. මේ වෙනකොට පොඩි මුහුදු තීරයක් ඇතුලෙ අති විශාල ජීවීන් ප්‍රමාණයක් හිටපු නිසා ටෙතිස් මුහුදෙ ජීවී ඝණත්වය ඉතාම විශාල මට්ටමක් දක්වා පැමිණුනා. අවසානයේ පොළොවේ භූ තැටි වල චලනයන් එක්ක ටෙතිස් මුහුද සම්පූර්ණයෙන්ම වගේ ගොඩබිම් වලින් වැසී ගිහින් අද තියෙන ආකාරයට මහද්වීප වෙන්වෙලා පෘථිවිය නිර්මාණය වුනා.

අර පොළොවේ ගිලීගිය ටෙතිස් මුහුදේ තිබුණ ජීවයට මොකද වුණේ?

ඒ ජීව කොටස් අවුරුදු මිලියන ගානක් පුරාවටම පොළොව යට අධික උෂ්ණත්වයකට හා අධික පීඩනයකට මුහුණදුන්නා. ටිකෙන් ටික ෆොසිල ජීර්ණය වෙන්න ගත්තා. මේ ජීර්ණය වුණ කොටස් බොරතෙල් හා ස්වභාවික ගෑස් බවට පත්වෙලා පාෂාණ වල සිදුරු අතරින් ඉහළට එන්න පටන්ගත්තා. ඔහොම ඉහළට ඇවිත් ඇවිත් මැටි මිශ්‍ර cap stone එකේ වැදිලා නතර වෙනවා. ඔන්න ඔය පාෂාණ කුටීර එනකන් පොළොව හරල තමයි අද අපි බොරතෙල් (Crude oil) හා ස්වභාවික ගෑස් (Natural gas) ලබාගන්නෙ.

හැබැයි බොරතෙල් නිෂ්පාදනය වුණ එකම ක්‍රමය ටෙතිස් මුහුද ඇසුරින් නෙමෙයි

මතකද මම අර කලින් පෘථිවියේ මහා නෂ්ටවීම් 5 ගැන ලියපු ලිපියෙ තිබුණ පර්මියන් මහා නෂ්ට වීම නැත්තං the great dying සිදුවීම? ඒක වුණෙත් මේ කාලයේ. ඒ ලිපිය කියෙව්ව නම් මතක ඇතිනෙ ඒකෙන් පෘථිවියේ ජීවයෙන් 96%ක්ම සම්පූර්ණයෙන් මියගිය බව. ඉතින් ඒ මහා පරිමාණයෙන් මියගිය ජීව කොටස් ටිකත් මඩ සමග මිශ්‍රව ගංගා දිගේ ඇවිත් සාගර වලට මුසුවුණා. ඒවා මුහුදු පතුලේ අඩි සිය ගාණක් උසට තැන්පත් වුණා. ඒවත් කාලයත් එක්ක පාෂාණ ස්ථර වලින් යටවෙලා අර කලින් ක්‍රියාවලියම සිද්ධවුණා.

මතකද ඒ ලිපියෙම තිබුණා ඩෙවෝනියන් මහා නෂ්ටවීම කාලයේදී එක පාරට ඇතිවුණ දැවැන්ත ගස් සහිත වනාන්තර ටික? මේ ගස් ටිකත් කාලයත් එක්ක මහා වනාන්තර පිටින් පොළොවට පස් වෙලා වැළලිලා ගියා. ඒවත් අවුරුදු මිලියන ගාණක් තිස්සේ පොළොවේ ගොඩාක් යටින් අධික පීඩන හා උෂ්ණත්ව යටතේ ජීර්ණය වෙලා කලින් වගේම බොරතෙල් හා ගෑස් නිෂ්පාදනය වුණා.

ඔන්න ඔහොමයි පෘථිවියේ බොරතෙල් හැදුනෙ.

දැන් අපි අද තත්වයට එමු.

දැන් එමු ලංකාව පැත්තට. ලංකාවෙ සමහරු හිතන් ඉන්නෙ අරාබි ජාතිකයා තෙල් ලිඳට බාල්දිය දාලා තෙල් ඇද ඇද දෙනවා, අපි කළගෙඩි වලට පනිට්ටු වලට පුරවගෙන අරන් එනවා කියලා. එහෙම වෙන්නෙ නෑ. බොරතෙල් විකිණෙන්නෙ ලෝක වෙළඳපොළේ. ලංකාවට එන තෙල් වලින් 1/3කටත් අඩුවෙන් තමයි ලංකාවට බොරතෙල් විදිහට එන්​නේ. එහෙම එන බොරතෙල් ලංකාවෙදි පිරිපහදු කරලා තමයි පෙට්‍රල් ඩීසල් වගේ අවසන් නිෂ්පාදන (end products) හදන්නෙ.

එතකොට ඉතුරු 2/3 එන්නෙ කොහෙන්ද?

ඉතුරු 2/3 එන්නෙ බොරතෙල් හැටියට නෙමෙයි. ඒවා එන්නෙ පිරිපහදු කරලමයි. ඒවා අපි ගන්නෙ තෙල් නිෂ්පාදනය කරන රටවල් වලින් නෙමෙයි. ලෝක වෙළඳපොළේ විකිණෙන බොරතෙල් මිලදීගන්න සිංගප්පූරු සමාගම් තියෙනවා. එයාලා ඒවා අරන් එයාලගෙ purification plants වලදි පිරිපහදු කරලා පෙට්‍රල් ඩීසල් එහෙම නිෂ්පාදනය කරලා ලාභයක් තියාගෙන අපිට විකුණනවා. ඔන්න ඕක තමයි ක්‍රමය.