Loading...
දූෂිත ලෙස සොරකම් කළා යැයි කියන වත්කම් රටට නැවත ලබා ගන්නේ කෙසේද?

දකුණු ආසියාවේ යම් රටක අග්‍රමාත්‍යවරයා ඉවත්වීමෙන් පසුව,මේ වන විට දූෂිත ලෙස සොරකම් කළා යැයි කියන වත්කම් නැවත ලබා ගැනීම පිළිබඳව යම් කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඉතිං අර ඒ දකුණු ආසියාවේ රටේ පවතින ප්‍රශ්න වලට උත්තර සපයපූ Android වැඩකාරයෝ Team එකේ අපි,මේ වෙලාවෙත් "මේ දූෂිත ලෙස සොරකම් කළා යැයි කියන වත්කම් රටට නැවත ලබා ගන්නේ කෙසේද?" සම්බන්ධව තොරතුරු වාර්තා කරන්න.

මෙහිදී සොරකම් කළ දේවල් නැවත ලබා ගන්නෙ කෙසේද ඒ පිළිබඳ දැනුවත් කළ යුතු දේවල් මොනවද සහ නීති මොනවාද, විසඳුම් මොනවාද යන්න අපි පහතින් විමසා බලමු,

ශ්‍රී ලංකාව තුළ සඟවා ඇති වත්කම් ආපසු ලබා ගැනීම

මෙය කල් ගත වන ක්‍රියාවලියකි. එයට හේතුව ශ්‍රී ලංකාව තුළ අපරාධ නඩුවක් අවසන් වීමට අවුරුදු 10.2ක් පමණ ගත වීමය.

කෙසේ වෙතත්, පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ පවතින අපරාධ නීතිය යටතේ, සඟවා ඇති වත්කම් හඳුනා ගැනීම, අත්හිටුවීම සහ ග්‍රහණය කිරීම සිදු කළ හැකිය.

දූෂිත මුදල් ඉතා ඉක්මනින් රටෙන් බැහැරට යා හැකි නිසා සැක කටයුතු ක්‍රියාවක් සම්බන්ධයෙන් සාක්ෂි ඇති විට දී නීතිය ක්‍රියාත්මක කරන ආයතන කඩිනමින් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. ජනතාව සිය රජයෙන් මෙසේ ක්‍රියා කරන ලෙස තරයේ ඉල්ලා සිටිය යුතු වේ.

විදේශ රටවල ඇති වත්කම් ආපසු ලබා ගැනීම (අන්තර්ජාතික වත්කම් ආපසු ලබා ගැනීම)

දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි (UNCAC) අත්සන්කාර පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකාව ඒ හා අනුකූල වීමට බැඳී ඇත. අන්තර්ජාතික සහයෝගීතාව සහ නීති විරෝධී වත්කම් ආපසු ලබා ගැනීම මෙම ප්‍රඥප්තියෙහි එන ප්‍රධාන සංකල්ප දෙකක් වේ.

මුදල් සොරකමට භාජනය වූ ප්‍රභව රට සහ වත්කම් පවතින ගමනාන්ත රට අතර අන්‍යෝන්‍ය නීති සහාය (MLA) මගින් අන්තර්ජාතික සහයෝගීතාව ප්‍රධාන වශයෙන් ම සිදු කෙරේ.

විදේශ රටවලින් වත්කම් ආපසු ලබා ගැනීමට ගත හැකි පියවර

  1. ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ වත්කම් ගමනාන්ත රටවල (Destination country) නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර වන අවිධිමත් සංවාද, දූෂණ කටයුත්තක් සිදු වී ඇතිදැයි සාක්ෂි සොයාගැනීම සඳහා මෙය සිදු කරනු ලබයි. වත්කම් තිබෙන ස්ථාන සොයා ගැනීමට මෙම ක්‍රමය භාවිත කෙරේ.
  2. රජය විසින් ගමනාන්ත රටෙහි රජය වෙත කරන විධිමත් ඉල්ලීම්.
  3. ප්‍රශ්නයට තුඩු දී ඇති වත්කමෙහි විමර්ශනයට අදාළව ගමනාන්ත රටෙහි අධිකරණ නියෝගයක් ලබා ගැනීම.
  4. ප්‍රභව රටට වත්කම් ආපසු ලබා දීම. (ශ්‍රී ලංකාව)

ඉක්මන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට භාවිතයට ගත හැකි ශ්‍රී ලාංකේය නීති මොනවා ද?

ශ්‍රී ලංකාව තුළ දේශීය වශයෙන් වත්කම් ග්‍රහණය, අත්හිටුවීම, සහ රාජසන්තක කිරීම විවිධ නීතිවල විධිවිධාන මගින් ආවරණය කෙරේ.

  1. 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත
  2. 1988 අංක 30 දරන බැංකු පනත (බැංකුකරණයට අදාළ)
  3. අපරාධ නඩු විධාන සංග්‍රහය
  4. 1870 රේගු ආඥාපනත
  5. 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත
  6. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත

සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා ගැනීමේ වැඩසටහන යනු කුමක් ද? (StAR)

StAR යනු ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අතර ඒකාබද්ධ ප්‍රයත්නයකි. මෙම වැඩසටහනෙන් සිය වත්කම් ආපසු ලබා ගැනීමට බලාපොරොත්තු වන සොරකමට ලක් වූ රටවල් (ප්‍රභව රාජ්‍යයන්) සහ සොරකමකට ලක් වූ මුදල් සිය රට තුළ තබා නොගෙන යළි ලබා දීමට කැමති රටවල් (ගමනාන්ත රාජ්‍යයන්) හට විශේෂඥ සහාය ලබා දේ.

දූෂිත මුදල් සඟවා තැබීම වැළැක්වීමට වන අන්තර්ජාතික ප්‍රයත්නයට සහාය දැක්වීම ද StAR විසින් සිදු කරනු ලැබේ.

රටකට මැදිහත් වීමට නම්, එම රටෙහි පව පවතින රජය විසින් උපකාර ලබා ගැනීමට StAR වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳ ගෝලීය සංසදය යනු කුමක් ද? (GFAR)

2017 දෙසැම්බර් මස දී, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපද රජයන් විසින් ලෝක බැංකුව සහ UNODC සමඟ එක්ව අන්තර්ජාතික වත්කම් ආපසු ලබා ගැනීමට පහසුකම් සැපයීමේ සමුළුවක් පවත්වන ලදි. මෙය නයිජීරියාව, ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ යුක්රේනය යන ඉලක්කගත රටවල් 4හි නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ, සොරකම් කළ වත්කම් සඟවා ඇති ගමනාන්ත රටවල් කිහිපයක ආයතන අතර වූ හමුවකි.

විභාග වෙමින් පවතින වත්කම් ආපසු ලබා ගැනීමේ නඩු සම්බන්ධීකරණයට පහසුකම් සැලසීම මෙහි අරමුණ විය.

සමුළුව අතරතුර එවැනි නඩු 43ක් පිළිබඳ ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කළ බව සමුළුව අවසානයේ වාර්තා විය. මෙම නඩු පිළිබඳ මහජනතාවට පොදුවේ ප්‍රවේශ විය හැකි ලේඛන කිසිවක් නොමැත.

සොරකම් කළ වත්කම් ආපසු ලබා ගත් අවස්ථා

  1. පසුගිය අවුරුදු 21 තුළ පිලිපීනය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1කට වඩා වැඩි මුදලක් ආපසු ලබා ගෙන ඇත. ෆර්ඩිනන්ඩ් මාකෝස් විසින් සොරකම් කළ මෙම මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ ස්විට්සර්ලන්තයෙනි.
  2. 2007 වන විට පේරු රාජ්‍යය ඇමරිකානු ඩොලර් මිලියන 174ක් 174ක් ආපසු ලබා ගෙන ඇත. ව්ලැඩිමිරෝ මොන්ටෙසිනෝස් විසින් සොරකම් කරන ලද මෙම මුදල් ස්විට්සර්ලන්තය, කේමන් දූපත් සහ එක්සත් ජනපදයෙන් ලබා ගන්නා ලදි.
  3. සානි අබාචා විසින් සොරකම් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 700ක මුදල ස්විට්සර්ලන්ත අධිකාරීන් විසින් අත්හිටුවා, අහිමි කර, නයිජීරියාවට නැවත ලැබීමට සලස්වා ඇත
  4. තෙල්වලින් බහුල බේස්ලා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයෙකු වූ ඩිප්‍රෙයේ ඇලමීසියා විසින් අයථා ලෙස ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 17.7ක මුදලක් ආපසු ලබා ගැනීම උදෙසා 2006 සහ 2007 වසරවල දී බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකානු අධිකාරීන් විසින් නයිජීරියාවට උපකාර කරන ලදි.
  5. රාජසන්තක කළ ඇමරිකානු ඩොලර් මිලියන 1312 ඇමරිකානු ඩොලර් මිලියන 131 ක වටිනාකමක් ඇති වත්කම් නැවත සිය රටට ගෙන ගෙන ඒම සඳහා 2020 දී ස්විට්සර්ලන්තය සහ උස්බෙකිස්ථානය විසින් කොන්දේසි ස්ථාපිත කර ගන්නා ලදි. මෙම වත්කම් උස්බෙකිස්ථානයේ හිටපු ජනාධිපතිගේ දියණිය වන ගුල්නාරා කිරීමවාට අයත් විය.

ශ්‍රී ලංකාව සතුව නොමැත!

  1. රටෙන් එපිට සඟවා ඇති සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා ගැනීම සඳහා වන පරිපූර්ණ නීතියක්.
  2. දේශීය සහ අන්තර්ජාතික වශයෙන් රාජසන්තක කළ වත්කම් යළි ලබා ගැනීමෙන් පසු කළමනාකරණය කිරීම සඳහා යාන්ත්‍රණයක් (වත්කම් නැවත අහිමි නොවීමටත්, ඒවායේ සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් මෙය වැදගත් වේ.)
  3. වත්කම් ඒවායේ සැබෑ හිමිකරුවන් අතට නැවත පත් කිරීමට යාන්ත්‍රණයක් (වින්දිතයන් සඳහා වන්දි)

විසඳුම

මෙම අඩුව පිරවීම සඳහා නෛතික රාමුවක් දැනටමත් කෙටුම්පත් කර ඇත. මෙම නීතිය බලාත්මක වුවොත්, ඉන් පහත කරුණු ආවරණය කෙරෙනු ඇත.

  1. අපරාධවලින් උපයාගත් දේපළ ආශ්‍රිත විමර්ශන
  2. අපරාධ වලින් උපයාගත් දේපළ හඳුනා ගැනීම සහ ඒවා තිබෙන ස්ථාන සොයා ගැනීම
  3. අපරාධවලින් උපයාගත් දේපළ පරිග්‍රහණය කිරීම, අත්හිටුවීම,රාජසන්තක කිරීම, අහිමි කිරීම මෙන් ම එවැනි දේපළ ආශ්‍රිත නෛතික ක්‍රියාමාර්ග ගැනීම
  4. ආපසු ලබා ගත් වත්කම් බැහැර කිරීම හෝ කළමනාකරණය කිරීම
  5. වත්කම් ආපසු ලබා ගැනීම කාර්යක්ෂම කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නව බලතල ලබා දීම
  6. අපරාධවල වින්දිතයන් හට වන්දි ලබා දීම සහ නිර්දෝෂී තුන්වන පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් හඳුනා ගැනීම
  7. කාලීන වශයෙන් මහජනතාව වෙත වාර්තා කිරීම සහ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම

එසේම,එලෙස සොරකම් කෙරූ වත්කම් ජනසතු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා!!
මැයි මස 9 වන දා සාමකාමී විරෝධතාවයට එල්ල වූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයද Android වැඩකාරයෝ Team එකේ අපි හෙළා දකිනවා.

තවද,අපි ඉල්ලා සිටිනවා ප්‍රචණ්ඩකාරී නොවී හැකිතාක් සාමකාමී ලෙස මේ මොහොතේ සිටින ලෙස.

මූලාශ්‍රය Transparency International Sri Lanka