Loading...
ශ්‍රී ලංකාවට Internet එන්නේ කොහොමද සහ limit නැතුව Unlimited internet දෙන්න බැරි ඇයි?

ලංකාවට internet එන විදිහ ගැන මං පොඩි කාලේදි හිතාගෙන හිටියේ චන්ද්‍රිකා හරහා තමයි ලංකාවට internet එන්නේ කියල. ඒත් පස්සෙ තමයි දැනගත්තේ මුහුද අස්සෙන් එන කේබල් වලින් තමයි ලංකාවට internet හම්බෙන්නේ කියල. මේ විදිහට මුහුද යටින් එක එක රටවල් යා කරමින් සම්බන්ධ කෙරෙන මේ කේබල්ස් සබ්මැරීන් කේබල්ස් විදිහට හඳුන්වනවා.

ලෝකය පුරාවටම Internet අරගෙන යන මේ සම්බ්මැරීන් කේබල්ස් සම්බන්ධ වෙන කලාප අනුව නම් කෙරෙනවා. ලංකාවට internet අරගෙන එන කේබල්ස් ජාලය හැඳින්වෙන නමක් තියෙනවා. ඒ නම තමයි SEA-ME-WE කියන නම. මේ SEA-ME-WE අකුරු වලින් කියවෙන්නේ South East Asia – Middle East – West Europe කියන නම.

SEA-ME-WE කේබල් පද්ධතිය

SEA-ME-WE කේබල් පද්ධතිය, එහෙමත් නැත්තම් ජාලය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව වෙනකන් දිවෙනවා. ප්‍රංශය සහ සිංගප්පූරුව අතර තියෙන රටවල් විශාල ප්‍රමාණයක් මේ කේබල් පද්ධතිය නිර්මාණය කරන්න මුදල් අයෝජනය කරනවා. ඒ ඒ රටවල් ආයෝජනය කරන මුදල් ප්‍රමාණය අනුව තමයි ඒ ඒ රටට ලැබෙන internet bandwidth එක, එහෙමත් නැත්තම් ධාරිතාවය තීරණය වෙන්නේ.

මේ විදිහට SEA-ME-WE cables 5ක් ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුවට දිවෙනවා. හොඳම දේ තමයි මේ කේබල් පද්ධති 5ටම ශ්‍රී ලංකාව ආයෝජනය කරලා සම්බන්ධතාවය ලබා ගෙන තියෙනවා. මේ SEA-ME-WE පද්ධතියට අමතරව තවත් කේබල්ස් පද්ධති 4කුත් තියෙනවා. ඒ ගැනත් අපි මේ ලිපියෙන්ම කතා කරමු.

SEA-ME-WE 1

1984 වර්ෂයේ පෙබරවාරි මාසයේ 14 වෙනිදා රටවල් 21ක දුරකතන සේවා සපයන ආයතන 22ක් එකතුවෙලා SEA-ME-WE 1 submarine cable system එක ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාකිරීම සහ නඩත්තු කිරීම සඳහා ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව තමයි මේ කේබල් පද්ධතිය නිර්මාණය වෙන්නේ. SEA-ME-WE 1 කේබල් පද්ධතිය කොටස් 8කින් තමයි නිර්මාණය වෙන්නේ. ඒ කොටස් 8 වෙන්නේ,

  1. ප්‍රංශය
  2. ඉතාලිය
  3. ඊජිප්තුව
  4. සෞදි අරාබිය
  5. ජිබූටි
  6. ශ්‍රී ලංකාව
  7. ඉන්දුනීසියාව
  8. සිංගපූරුව

මෙහි සම්පූර්ණ දිග කිලෝමීටර් 13,000කට ආසන්න වූ අතර මෙය ඉදිරීම් කටයුතු සඳහා සිංගපූරු ඩොලර් මිලියන 800කට අධික මුදලක් වැය වී තිබෙනවා. ඒ වන විට ලොව තිබූ දීර්ඝතම සබ්මැරීන් කේබල් එක වුනේද මේ SEA-ME-WE 1 කියන කේබල් පද්ධතියයි. මේ කේබල් පද්ධතිය නිර්මාණය වී තිබුනේ තඹ කම්බි වලින් අතර මේ හරහා දුරකතන සම්බන්ධතා, telex, telegram, fax, සහ internet යන සේවා සැපයීම සිදි කෙරුනා. මෙහිදී කෙබල්ස් 4ක් භාවිතා කිරීම සිදු වුනා.

අග්නිදිග ආසියාව, මැදපෙරදිග, සහ අනෙකුත් යුරෝපානු රටවල් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙම සේවාවන් ලබා ගැනීමේදී SEA-ME-WE කේබල් පද්ධතිය හරහා සම්බන්ධ වුනු රටවල් සියල්ලම පාහේ නොබිඳෙන ස්ථාවර සම්බන්ධතාවයකට හිමිකම් පෑවා. ඒ හරහා ඕනෑම කාලගුණ තත්වයක් යටතේ වඩාත් ගුණාත්මක සේවාවන් එම රටවල් ලබා ගැනීමට සමත් වුනා.

මෙම කේබල් පද්ධතිය 1999 වර්ෂයේදී භාවිතයෙන් මුළු මුනින්ම ඉවත් කෙරුනා.

SEA-ME-WE 2

වැඩි කාලයක් නොගොස්ම SEA-ME-WE 1 කේබල් පද්ධතියේ ධාරිතාවය මේ රටවලට මදි වීමත් සමඟම නැවත වතාවක් ඉහත කී රටවල් එකතු වෙලා SEA-ME-WE 2 කියන කේබල් පද්ධතිය නිර්මාණය කරනවා. මෙය SEA-ME-WE 2 කේබල් පද්ධතියත් එක්ක වෙනස් වෙන්නේ මෙහි එක ලයින් එකකක් යන කේබල් එකක් ඇතුලේ තඹ කම්බි දෙකක් ඇතුලත් වීමත් එක්කයි.

මේ SEA-ME-WE 2 කියන කේබල් ජාලයත් මේ වෙනකොට අභාවයට ගිහිං තියෙන්නෙ.

SEA-ME-WE 3

ලොව තාක්ෂණය කියන්නේ ඉක්මනින් වෙනස් වෙන දෙයක්. මේ එක්කම ඉදිරියට එන අළුත්ම කේබල් වර්ගය තමයි optic fiber කියන්නේ. මේ හරහා තාමත් වේගයෙන් වැඩි දත්ත ප්‍රමාණයක් සහ වැඩි දුරකට රැගෙන යාමේ හැකියාව ලැබුණා.

මේ optic fiber කේබල්ස් භාවිතා කරමින් SEA-ME-WE 3 කේබල්ස් පද්ධතිය නිර්මාණය කෙරීම 1997 වර්ෂයේදී ආරම්භ කෙරුනු අතර 2000 වර්ෂයේ අවසානය වන විට කිලෝමීටර් 39,000ක දිගකින් යුතු වුනා. මේ සඳහා රටවල් 39ක Landing points 39ක් සමන්විත වනවා. 1999දී 0.02Tbps වේගයකින් යුක්තව නිමාණය වුන මේ පද්ධතිය 2007 වර්ෂයේදී 0.96Tbps ලෙසත්, 2009 වර්ෂයේදී 1.28Tbps ලෙසත් වේගය වැඩිදියුණු කිරීමට කටයුතු කෙරුනා.

ශ්‍රී ලංකාවට මෙම කේබල් පද්ධතියේ අදාල සබඳතාවය ලැබෙන්නේ ගල්කිස්සෙන් වන අතර මේ සඳහා වන ආයෝජනය සිදු කර ඇත්තේ Sri Lanka Telecom සමාගමෙනි. මෙහි අයිතියද Sri Lanka Telecom සමාගම සතු වනවා. නුදුරේදීම ඉදිකිරීමේ කටයුතු නිමා වීමට නියමිත SEA-ME-WE 6 කේබල් පද්ධතිය නිමා වීමත් සමඟ මෙහි සේවාව ලබා ගැනීම අවසන් කරනු ඇති මත පල වෙනවා.

SEA-ME-WE 4

ඉස්සෙලා කතා කරපු SEA-ME-WE 3 කේබල් පද්ධතියට පසුව නිර්මාණය වුනු මෙම කේබල් පද්ධතිය 2004දී ඉදිකිරීම ආරම්භ කරන අතර 2005 වර්ෂය වන විට මෙය සම්පූර්ණ වෙනවා. මෙය ක්‍රියාත්මක වීම පටං ගන්න අවස්ථාව වන විට මේ හරහා ලබා දුන් වේගය වූයේ 1.28Tbps වන අතර 2010දී එය 2.8Tbps සහ 2015දී 4.6Tbps ලෙස වැඩි දියුණු වීම සිදු කෙරුනා.

මේ කේබල් පද්ධතිය සඳහාද ශ්‍රී ලංකාව ඇතුලුව රටවල් 16ක අන්තර්ජාල සේවා සපයන ආයතන 17ක් මඟින් ආයෝජනය කිරීම සිදු කෙරුණු අතර ශ්‍රී ලංකාවට මෙහි සබඳතාවය ලැබුනේ කොළඹ ගාලු මුවදොර හරහාය. SEA-ME-WE 2 සහ SEA-ME-WE 2 යන කේබල් සබඳතා දෙකද ලංකාවට සම්බන්ධ වන්නේ ගාලු මුවදොරින් වන අතර මේ කේබල් සබඳතා 3ම ඔබට නැරඹීමේ හැකියාව පවතිනවා.

මේ කේබල් පද්ධතියේ අයිතියත් Sri Lanka Telecom ආයතනය සතු වෙනවා.

SEA-ME-WE 5

දැනට භාවිතා වන අළුත්ම කේබල් පද්ධතිය විදිහට SEA-ME-WE 5 කේබල් පද්ධතිය හඳුන්වන්න පුලුවන්. මේ කේබල් පද්ධතියේ මුළු ධාරිතාවය විදිහට 38Tbps (38 Terabits per second) ලෙස නිර්මාණය කර තිබෙනවා. Sri Lanka Telecom ආයතනය විසින් කර ඇති ආයෝජනය අනුව මේ හරහා ශ්‍රී ලංකාවට 24Tbps ධාරිතාවයක සබඳතාවයක් හිමි වන අතර ඒ සඳහා ඔවුන් විසින් 100Gbps lines 4ක් භාවිතා කර තිබෙනවා.

100Gbps line 4කින් 24Tbps ධාරිතාවයක් ලබාගන්නේ කොහොමද කියල ඔයාට දැන් ගැටළුවක් එන්න පුළුවන්. Fiber optic කේබල් එකක් හරහා ආසන්න වශයෙන් තරංග ආයාම 80ක් එක වර යැවීම සිදු කල හැකි වෙනවා. මේ විදිහට එක කේබල් එකක් හරහා ආසන්න වශයෙන් 8Tbps වේගයක් ලංකාවට ලබා ගත හැකි වනවා. මේ ආකාරයට 100Gbps lines 4ක් ලංකාවට මාතරින් සම්බන්ධ වන අතර එහිදී ලංකාවට ලැබිය යුතු ධාරිතාවය 32Tbps උනත් SLT ආයතනයේ ආයෝජනයේ ප්‍රමාණය මත එය 24Tbps දක්වා සීමා කිරීම සිදු වී තිබෙනවා.

Sri Lanka Telecom ආයතනය විසින් SEA-ME-WE 5 සඳහා සිදු කර ඇති ආයෝජනය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 20ක් වේ.

ඉහත සඳහන් කල ආකාරයට මේ හරහා ලංකාවට lines 4ක් ලැබුණත් එයින් පොදු පරිභෝජනය සඳහා නිකුත් කර ඇත්තේ lines දෙකක් පමණක් වන අතර අනිත් දෙකම රජය, ආරක්ෂක අංශ, බැකු, මූල්‍යාතන වැනි වැදගත් data centers සඳහා පමණක් භාවිතාව සීමා කිරීම සිදු කර තිබෙනවා. මේ වන විට ඉදිකිරීමේ කටයුතු සිදු වෙමින් පවතින SEA-ME-WE 6 කේබල් පද්ධතිය සඳහාත් ශ්‍රී ලංකාව විසින් ආයෝජනය කිරීම සිදු කර ඇති අතර, එහි සබඳතාවය ලැබීමත් සමඟ SEA-ME-WE 5හි සියළුම ports පොදු පරිභෝජනය සඳහා නිකුත් කිරීමට සූදානම්ව පවතිනවා.

ඒ සමඟම මේ වන විට යම් යම් සීමාවන් දමමින් හඳුන්වා දී ඇති Unlimited packages සියල්ලම කිසිඳු සීමාවකින් තොරව අඩු මිලකට විවිධ වේගයන් යටතේ ලබා දීම සිදු කල හැකි වනවා.

ඉදිරියේදී එකතු වීමට නියමිත SEA-ME-WE 6

මේ වෙනකොට ලංකාව SEA-ME-WE 6 කේබල් පද්ධතිය සඳහාත් අයෝජනය කරලා තියෙන්නේ. ඒකෙ නම් විස්තර නිවැරදිව හොයාගන්න බැරි උනත් එක ලෑන්ඩිං පොයින්ට් එකක් විදිහට ලංකාව ඇතුලත් වෙනවා. ඒකට යන මුළු වියදම USD මිලියන් 65ත් 72ත් අතර වෙනවා. මේ වෙනකොට SEA-ME-WE 6 එකේ landing points වෙන්නේ Bangladesh, Singapore, Malaysia, Indonesia, Thailand, Sri Lanka, India, Pakistan, Saudi Arabia, Qatar, Oman, the UAE, Djibouti, Egypt, Turkey, Italy, France, Myanmar සහ Yemen කියන රටවල් ඇතුලත් වෙනවා.

SEA-ME-WE වලට අමතරව තවත් කේබල් පද්ධති?

SEA-ME-WE කේබල් පද්ධති වලට අමතරව ලංකාව අන්තර්ජාලයට සම්බන්ධ වන වෙනත් කේබල් පද්ධති කිහිපයක්ද පවතිනවා.

  1. Bay of Bengal Gateway (BBG)
  2. Bharat Lanka
  3. Dhiraagu
  4. FLAG – Fiber-Optic Link Around the Globe

අපි මේ එකින් එක ගැනත් සරලව විස්තර කිහිපයක් දැනගනිමු.

Bay of Bengal Gateway (BBG)

මේ කේබල් එකේ අයිතිය නම් SLT සමාගමට නෙවෙයි තියෙන්නේ. මේ සඳහා ශ්‍ර්‍රී ලකාව වෙනුවෙන් ආයෝජනය කිරීම සිදු කරනු ලැබුවේ Dialog Axiata PLC සමාගම විසින්. ඒ අනුව මෙහි අයිතිය Dialog Axiata වෙත හිමි වන අතර මේ සඳහාද භාවිතා වන්නේ fiber optic කේබල් පද්ධතියක්. මේ කේබල් පද්ධතියේ මුළු දිග කිලෝ මීටර් 8,040ක් වන අතර මේ හරහා Dialog Axiata ආයතනයට 6.4Tbps වේගයක් හිමිවනවා.

Dialog Axiata ආයතනයට මේ විදිහට fiber optic කේබල් පද්ධතියක හිමිකාරිත්වය තිබියදි එය භාවිතා කරලා තවමත් ඇයි ස්ථාවරව fiber optic internet ජාලයක් ගොඩනගන්න බැරි කියන ප්‍රශ්නය ඔබට පැන නගින්න පුළුවන්. එයට හේතුව වන්නේ මේ වන විට අන්තර්ජාල සබඳතා සහ දුරකතන සබඳතා සඳහා අවශ්‍ය කරන කේබල් පද්ධති ස්ථාපනය කිරීමේ හැකියාව සහ අවසරය TRCSL විසින් ලබා දී ඇත්තේ Sri Lanka Telecom ආයතනයට වීමයි. මේ වන විටත් Dialog ආයතනය විසින් fiber optic සබඳතා සැපයූවද ඒ සඳහා ඔවුන්ද භාවිතා කරන්නේ SLT ආයතනය විසින් නිමවා ඇති fiber optic ජාලයයි.

කෙසේ වුවත් මේ වන විට Dialog ආයතනය විසින් අවශ්‍ය කරන top centers වල ජාලකරණයන් සිදු කිරීම අවසන් කර ඇති අතර අවසර ලැබුණු වහාම ඉතාමත් වේගයෙන් ඔවුන්ගේ fiber optic ජාලය විහිදුවීමේ ක්‍රියාවලි ආරම්භ කිරීමේ සුදානමින් සිටිනවා.

Bharath Lanka

Bharath Lanka කියන්නේ අනිත් කේබල් පද්ධති වගේ නෙවෙයි, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පමණක් එලලා තියෙන කේබල් පද්ධතියක්. SEA-ME-WE 3 සහ 4 බහුලව භාවිතා වුන කාලයේදී යම් විදිහකින් අන්තර්ජාල සබඳතාවයට මොනයම් හෝ ප්‍රශ්නයක් පැමිණුන හොත් අන්තර්ජාලයට ශ්‍රී ලංකාව සම්බන්ධ වීම සිදු කෙරුනේ මෙම කේබල් පද්ධතිය භාවිතා කරමින් ඉන්දියාව හරහාය.

මේ පද්ධතියේ ශ්‍රී ලංකාවේ අයිතිය SLT ආයතනය සතු වන අතර ඉන්දියාවේ අයිතිය Bharat Sanchar Nigam Limited (BSNL) සමාගම සතු වනවා. මෙය නිර්මාණය කෙරුනේ 2006 වර්ෂයේදී වන අතර මුලින්ම මෙහි වේගය එස සඳහන් වූයේ 40Gbps උනත් පසුව සිදු කරන ලද වැඩි දියුණු කිරීම් වලින් මේ වන විට මෙහි වේගය 960Gbps දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ සඳහා SLT ආයතනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 40ක ආයෝජනය කිරීමක් සිදු කර තිබෙනවා. මේ කේබල් පද්ධතියත් ලංකාවට සම්බන්ධ වන්නේ ගල්කිස්සෙනි.

Dhiraagu

මේ කේබල් පද්ධතියත් Bharath Lanka කේබල් පද්ධතිය වගේම කේබල් පද්ධතියක්. මේ කේබල් පද්ධතිය ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර නිර්මාණය කර තිබෙනවා. ඒ හරහා මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාවය වේගවත් වන අතර SEA-ME-WE 3, 4, 5 සහ Bharath Lanka සබඳතාවයන් මාල දිවයින සමඟ බෙදා ගැනීමේ හැකියාවද ලැබෙනවා. මෙය මාල දිවයින අන්තර්ජාලයට සම්බන්ධ කරන දෙවන කේබල් පද්ධතියද වන අතර ආරම්භයේදී 3Gbps වේගයක් සතු වූ මෙම ජාලය මේ වන විට 160Gbps වේගයක් ගනු ලබනවා.

Fiber-Optic Link Around the Globe කියන්නේ 1999දී පිහිටවපු කේබල් පද්ධතියක්. මේ සඳහා ලංකාවෙන් ආයෝජනය කරලා තියෙන්නෙ Lanka Bell ආයතනය විසින්. මේ කේබල් පද්ධතියේ මුළු දිග මේ වෙනකොට කිලෝමීටර් 28,000ක අගයක් ලබා ගන්නා අතර එකසත් රාජථානියන් ආරම්භ වන මේ කේබල් පද්ධතිය ජපානය දක්වාම විහිදී යනවා.

නමුත් ශ්‍රී ලංකාව මේ පද්ධතියට සම්බන්ධ වෙන්නේ ඍජුව නෙවෙයි, මේ පද්ධතියේ තියෙන FALCON කියන අතිරේක කොටස හරහාය.

මේ තමයි ශ්‍රී ලංකාව අන්තර්ජාලයට සම්බන්ධ වන ආකාරය. ඉහත කියපු SEA-ME-WE සහ 2 හැරුණු කොට අනිත් කේබල්ස් පද්ධති 7ම මේ වන විට සක්‍රියව ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා දායක වීම සිදු කරනවා.

එතකොට ඇයි මේ වගේ යටිතල පහසුකම් තියාගෙනත් "තාමත්" ලංකාවට Unlimited internet දෙන්න බැරි?

මේකට හේතු කිහිපයක් තියෙනවා. මං ඉහත කියල තියෙනවා SEA-ME-WE 5 කියන ලයින් එක තමයි මේ වෙන්කොට ලංකාවේ internet වලින් වැඩි බරක් අදින්නේ කියල. මේ වැඩි බරක් අදින ලයින් එකෙන් එන ports 4න් ports 2ක්ම වෙන් වෙලා තියෙන්නේ රජයේ, ආරක්ෂක අංශ, ගුවන් තොටුපලවල්, වරාය, මහ බැංකුව සහ රටේ අනෙකුත් ඉතාමත් වැදගත් කියන ආර්ථික, සමාජීය මර්මස්ථාන සහ ආරක්ෂක අංශ වල භාවිතාව සඳහා. ඉතිරි ports දෙක තමයි පොදු ජනතාව සඳහා භාවිතා කිරීමට අවශ්‍ය කරන අන්තර්ජාල පහසුකම් ලබා දීමට නිදහස් කරලා තියෙන්නේ.

SEA-ME-WE 3 සහ 4න් සහයක් ලැබුනත් මේ වන විටත් වැඩි බරක් අදින්නේ SEA-ME-WE 5 ජාලය හරහා වන අතරම, පොදු පරිභෝජනය සඳහා ලබා දී ඇති ports දෙක හරහා ලැබෙන වේගයට වඩා වැඩි වේගයක් ඉහත මං කියපු රජයේ පරිභෝජනයට නිකුත් කරලා තියෙනවා.

ඒ වගේම Dialog Axiata ආයතනයට මේ වන තුරුත් රටතුල fiber optic ජාලයක් ගොඩ නැගීම සඳහා අවසරය ලබා දීම සිදු කර නැහැ. මේ හේතුවෙන් ඔවුන්ට ඔවුන්ගේ fiber optic ජාලයක් ගොඩ නැගීම සිදු කිරීමේ අවස්ථාව මග හැරී ගොස් තිබෙනවා. මේ හේතුව නිසා අව්‍ය්න් මේ වන විට ඉතාමත් සීමිත පිරිසකට fiber optic සබඳතා සැපයීම සිදු කරන නමුත් ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ SLT සමාගමේ fiber optic ජාලයයි. ඒ නමුත් Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ fiber optic ජාලය සඳහා අවශ්‍ය කරන ජාල කරණයන් සිදු කර අවසාන අතර, අවසරය ලැබුණු වහාම ඔවුන්ගේ ජාලය ව්‍යාප්ත කිරීමේ සූදානමින් සිටිනවා.

ඒ කියන්නේ කවදාවත් ලංකාවට limit නැතුව Unlimited internet දෙන්න බැරිද?

පුළුවන්, මේ තියෙන තට්වයෙන් පුලුවන්. ඒත් ඒ දුන්න වහාම ලංකාවේ ජාලය ක්ෂණයකින් බිඳවැටීමේ හැකියාව තියෙනවා. එයට හේතුව තමයි, මං ඉහත පැහැදිලි කරපු SEA-ME-WE 5 ජාලයේ ports දෙකක් පමණක් පොදු පරිභෝජනයට විවෘත වීම සහ ලංකාවට මේ වන විට අන්තර්ජාල සබඳතා ලබා දෙන ජාලයන් අඩු වීම.

උදාහරණයකට සිංගපූරුව ගතහොත් 2016 පලවූ වාර්තාවකට අනුව එම වර්ෂය වන විට පමණක් සිංගප්පූරුව සඳහා submarine cables 17ක් සම්බන්ධ වී ඇති තිබුණු අතර ඒ හරහා සිංගප්පූර ලබා ගත් අන්තර්ජාල වේගය 410Tbps වී ඇත. නමුත් 2017 Google Next cable line එකද මේ සඳහා එකතු වී ඇති අතර 2020 වර්ෂය වන විට කේබල් ප්‍රමාණය තවත් වැඩි වී ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති වේගය මෙන් 20 ගුණයක අන්තර්ජාල වේගයක් 2016 වර්ෂයේදී සිංගපූරුව සතුව තිබී ඇත. එමෙන්ම 2016දී ඔවුන්ගේ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය 11,512,900ක්ව පැවතී ඇත.

මේ වෙනකොට SEA-ME-WE 6 submarine cable එකේ ඉදිකිරීමේ කටයුතු අවසාන වෙමින් පවතින අතර එහි ක්‍රියකාරීත්වය මෙම වසර අවසානය වන විට ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. එහි සබඳතාව ලැබීමත් සමඟම SEA-ME-WE 5 ජාලයේ සියළුම ports පදු පරිභෝජනය සඳහා නිකුත් කිරීමට නියමිත අතර ඒ හරහා ලංකාවේ පොදු පරිභෝජන ජාලයේ වේගය දැන් පවතිනවාට වඩ දෙගුණයකින් ඉහළ යෑම සිදු වනු ඇත.

එමෙන්ම SEA-ME-WE 6 ජාලයේ සබඳතාවයෙනුත් ports කිහිපයක් පොදු පරිභෝජනය සඳහා නිකුත් කිරීම සිදු වනු ඇති බැවින් ඒ හරහාද ජාතික ජාලයට එකතු වන වේගය තවත් ඉහල යෑම සිදු වනු ඇත.

මේ වෙනස්කම් සිදුවීමෙන් අනතුරුව සීමාවක් නැති අසීමිත අන්තර්ජාල සබඳතා ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන්ට ලැබෙනු ඇති අතර, මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන අසීමිත අන්තර්ජාල සබඳතා යම් සීමාවන්ට අනුව ක්‍රියාත්මක වීම සිදුකරනුයේ ඇයිදැයි ඔබට වැටහෙනවා ඇතැයි සිතමි.