Loading...
ජංගම දුරකතනයේ තිරය නිවැරදිව පිරිසිදු කරගන්නේ මෙහෙම​යි

ඔබගේ වැසිකිළියේ ආසනයට ව​ඩා ඔබගේ ජංගම දුරකතනයේ තිරයේ විෂබීජ පවතින බව කිව්වොත් ඔබ එය පිලිගන්නවාද? ඇරිසෝනා විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද සමීක්ෂනයකදී හෙලිවී ඇත්තේ ඔබගේ සාමාන්‍ය වැසිකිළි ආසනයට වඩා ඔබගේ ජංගම දුරකතනයේ විෂබීජ තිබීමට ඉඩකඩ ඇති බවයි.

එම කරුණත් ඔබගේ මතක​යේ තබාගෙන ඔබ විසින් අවසානයට ඔබ ඔබගේ ජංගම දුරකතනයේ තිරය පිරිසිදු කරන ලද්දේ කවදාද කියල මතක් කරලා බලන්​න. මතක් උනාද?

මේ වෙනක​න් ශ්‍රී ලංකාවේ බහුතරයට තමන්​ගේ ජංගම දුරකතනයේ තිරය නිවැරදි ආකාරයට පිරිසිදු කරගන්නේ කෙසේද සහ, එසේ පිරිසි​දු කරගැනීමේදී සිදු කල යුතු සහ සිදු නොකල යුතු දෑ මොනවාද කියන දේ පිළිබඳව නිසි අවබෝධයක් සහ නිසි මඟ පෙන්වීමක් නැති නිසා අපි හිතුවා ඔයාලා හැමෝටම ඒ ගැන කියල දෙන්න.

සාමාන්‍යෙන් අපි අපේ ලිපියක් කියවන ඔයාලාගෙන් කවදාවක් ඉල්ලපු නැති දෙයක් තමයි අ​පේ ලිපියක් අනිත් අයට බලාගන්න පුළුවන් වෙන්න share කරන්න කියල. ඒත් මේ ලිපිය ඔයා කියවනවා නම් ඔයාගේ යාළුවෝන්ටත් කියවන්න අනිවාර්යෙන් share කරලා ඇවිල්ලා ඉතිරි ටික කියවන්න.

ජංගම දුරකතන තිරය පවිත්‍ර කරන ආකා​ර

ජංගම දුරකතන තිර (මෙතන ඉඳලා screen කියල පාවිච්චි කරනවා, හැමෝගෙම පහසුවට) පවිත්‍ර කරන ප්‍රචලිතම ක්‍රමය​න් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ හරහා ඔයාගෙ screen එක හොදින් පවි​ත්‍ර වෙනවා කියල ඔයාට හොදින් පේන අවස්ථා තියෙනවා. ඒක අවිවාදාත්මකයි. දුරකතනය භාවිතා කිරීමෙන් පසුව අපි බහුලවම කරන දෙයක් තමයි කුමක් හෝ රෙදි කෑල්ලකින් හෝ තමගේ ඇදුමෙන් දුරකතන තිරය පිස දමා පවිත්‍ර කිරීම. මේ ක්‍රම හරහා screen එක මතුපිටින් පවිත්‍ර වනවා වගේ පෙනුනත් සැබැවින්ම එය පිරිසිදු වෙනවාද? Screen එකේ තියෙන විෂබීජ වල මොකක්ද වෙන්නේ කියල ඔබ සිතා තිබේද?

අපි බස් එකේ හෝ දුම්රියේ හෝ ගමනා ගමනය කරන විටකදී අප විසින් අල්ලන තැන් වල ඇති සියළුම දෑ ඇඟිලි තූඩු හරහා ජංගම දුරකතනයේ screen එක මත තැවරෙන්නේ එය touch කරන විටදීය. එමෙන්ම ඔබ විසින් එලියේ පහලියේ ඇවිදින වෙලාවක මුහුනට දාඩිය දමා ඇති අවස්ථාවක දුරකතන ඇමතුමක් ආවොතින් එයට පිළිතුරු ලබා දීම සඳහා කණේ තබා ගන්නා අවස්ථාවේදී මුහුණේ මත ඇති දාඩිය සහ දාඩි​ය මත තැවරුනු සියළුම කුඩා අංශු සියල්ලම වගේ ජංගම දුරකතන screen එකේ තැවරෙනවා. මේ වගේ තවත් අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා, ඔයාටම පුළුවන් ඒවා මතක් කරගන්න.

අපි බලමු කොහොමද විෂබීජ නසාගෙන දුරකතන screen එක නිවැරදි ආකාරයට පවිත්‍ර කරගන්නේ කොහොමද කියලා. ඇත්තම කිව්වොත් මේ ක්‍රම screen එක පවිත්‍ර කරන්න විතරක් නෙවෙයි, මුළු ජංගම දුරකතනයම පවිත්‍ර කරන්න භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඉතාමත් සැලකිල්ලෙන් සිදු කල යුතුයි.

01. Microfiber cloth භාවිතා​ව

ඔයාගේ ජංගම දුරකතනයේ තිරය මත නිතරම වගේ රැදෙ​න දූවිලි සහ ඇඟිලි සලකුණු ඉවත්කිරීමට භාවිතා කිරීමට සුදුසුම ක්‍රමය තමයි මේක. මේ හරහා පහසුවෙන් ඔයාට සාමාන්‍ය විදිහට තිරය මත රැදෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව ලැබෙනවා. නමුත් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්න නම් ඔයාට microfiber cloth එක අසෘත ජලයෙහි මඳක් පොඟවා ගැනීම සිදු කල යුතු වනවා.

මෙහිදී අසෘත ජලය භාවිතා කරන මෙන් දක්වා ඇත්තේ සාමා​න්‍ය ජලයේ මෙන් එහිදී අපද්‍රව්‍ය දක්නට නොලැබෙන නිසාය. ඔබට microfober cloth එකක් සොයා ගැනීමට අපහසු නම් කපු වලින් නිමවූ රෙදි කැබැල්ලක් භාවිතා කිරීම සිදු කල හැකිය.

සැ.යු. දුරකතනය පවිත්‍ර කිරීමේදී රෙදි කැබැල්ලට ආසෘත ජලය අවශ්‍ය ප්‍රමාණයට දැමීම ප්‍රමාණවත් වේ. ජංගම දුරකතනය අසෘත ජලයේ ගිල්වීම සිදු නොකල යුතුය.

02. Screen cleaning wipe භාවිතා කිරී​ම​‍

Screen cleaning wipe කියන්නේ අසෘත ජලය අඩංගු microfiber රෙදි කැබලිය. ඔබගේ දුරකතනයට screen guard එකක් හෝ tempered glass එකක් සවි කිරීමේදී screen එක පිරිසිදු කිරීමට බොහෝ විට භාවිතා වන්නේ මේ screen cleaning wipesය. මේවා පැමිණෙන්නේ කුඩා පැකට්ටු වල වන අතර එක්වරක් පමණක් භාවිතා කල හැකිය.

කුඩා පැකට්ටුවේ පැමිණෙන මේ​වා භාවිතා කිරීමෙන් ඔබගේ දුරකතන තිරයේ ඇති අපද්‍රව්‍ය තෙතමනයට ලක් කරමින් පහසුවෙන් සහ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ හැකියාව ලබා දෙනවා. ඒ හරහා වඩාත් හොඳ පිරිසිදු තිරයක අත්දැකීමක් ඔබට අත්විදිය හැකි වනවා.

මෙය භාවිතා කිරීමේදී ඔබ විසින් සැලකියමත් විය යුතු කරුණක් තියෙනවා. Screen cleaning wipe භාවිතා කිරීමට ප්‍රථමව, ඔබ අනිවාර්යයෙන්ම සාමාන්‍ය අකාරයෙන් ඔබගේ තිරය පිස දැමීම සිදු කිරීම කල යුතු වනවා. එසේ නොමැති වුවහොත් තිරය මත ​මේ වන විටත් තියුණු දූවිලි අංශු පවතී නම් ඒවායෙන් තිරයට හානි සිදු විය හැකියි.

සැ.යු. මේ හරහා සිදු වන්නේ තිරය මත ඇති අපද්‍රව්‍ය ඉවත්වීම පමණි.

03. විෂබී​ජ නාශක screen wipes භාවිතා කිරී​ම (Disinfecting screen wipes)

Microfiber cloth සහ screen cleaning wipes භාවිතා කරමින් දුරකතන තිරය පිරිසිදු කරගැනීම පිළිබඳව ඉහතදී අපි කතා කරා. ඒ අවස්ථා දෙකේදීම අපි තිරය පිරිසිදු කරගන්න විදිහ ගැන කතා කරත් ඒ එකකදිවත් විෂබීජ නැසීමක් ගැන කතා උනේ නෑ කියල මේ ඡේදය කියවන ඔයාට දැන් සිහියට නැගෙන්න ඇති. නමුත් අපි මුලින්ම කතා කරා වැසිකිළියේ ආසනයට ව​ඩා ඔබගේ ජංගම දුරකතනයේ තිරයේ විෂබීජ පවතින බව.

දුරකතන තිර පවිත්‍ර කිරීමට ලොව බහුලව භාවිතා වන Disinfect screen wipe වර්ගය​ක්

මේ screen wipes හරහා සිදු වන්නේ ඔබ තිරය පවිත්‍ර කරන විට තිරයේ ඇති විෂබීජ විනාශ කරමින් තිරය පවිත්‍ර කිරීමයි. මෙහිදී ආසෘත ජලය වෙනුවට භාවිතා වන්නේ alcohol අඩංගු වන විෂබීජ නාශක ද්‍රාවණයකි.

ඔබගෙ දුරකතන තිරය olephobic coating එකක් සහිත තිරයක් නම් නිරතුරුව මෙම screen wipe භාවිතා කිරීමෙන් ඒ coating එකට හානි සිදුවීමට ඉඩ කඩ පවතිනවා. ඒ පිළිබඳවත් ඔබ සිහියේ තබා ගතු යුතුයි.

04. UV Phone sanitizer එකක් භාවිතා කිරීම

මේ ගැන කතා කරන්න කලින්ම කියන්න ඕන දෙයක් තමයි, UV Phone sanitizer එකක් භාවිතා කිරීමේදී කිසිම විදිහකින් ඔයාගේ ජංගම දුරකතනයේ හෝ තිරයේ ඇති ඇඟිලි සලකුණු හෝ අනෙකුත් ආගන්තුක දෑ ඉවත් නොවන බව. මෙහිදී සිදු වන්නේ දුරකතනයේ ඇති විෂබීජ විනාශ වීම පමණි. ඒ නිසාවෙන් ඔයාට සිද්ධ වෙනවා UV Phone sanitizer එකට ජංගම දුරකතනය දාන්න කලින්, පළමු හෝ දෙවන ක්‍රම දෙකෙන් එකක් භාවිතා කරලා දුරකතනයේ තිරය පිස දමන්න.

වෙළඳපලේ UV Phone sanitizer එකක් මිලදී ගැනීමට යාමේදී සාමාන්‍යෙන් සැලකිය යුතු ප්‍රමානයේ පිරිවැයක් දැරීමට සිදුවනවා. නමුත් එය එක අයෙකුට පමණක් නො​ව, නිවසේ වෙසෙන සියළුම දෙනාගේ භාවිතාවට ගැනීමට හැකි නිසාත්, කාලයක් පුරාවට භාවිතා කිරීමට හැකි නිසාත් එක්තරා ආකාරයක ආයෝජනයක් විදිහටත් මෙය සලකන්න පුළුවන්.

UV Phone sanitizer එකක් භාවිතා කිරීම හරහා ඔබට ඔබගේ ජංගම දුරකතනයේ ඇති විෂබීජ 99%කටත් වඩා වැඩි ප්‍රමාණයක් නසා ගැනීමේ හැකියාවක් පවතිනේ ඒවායේ භාවිතා වන UV-C වර්ගයේ ආලෝකය මඟින් විෂබීජ හරණය සිදු වන නිසාවෙනි.

මෙහිදී සැලකිය යුතු තවත් කාරණාවක් වන්නේ, ඔබට මේ හරහා ජංගම දුරකතනය පමණක්ම නොව, UV Phone sanitizer එක තුලට දමා වැසිය හැකි ඕනෑම දෙයක විෂබීජ හරණය සිදු කරගැනීමේ හැකියාව පැවතීම සහ මේ වන විට වෙළඳපලේ පවතින බොහොමයක් UV Phone sanitizer වල wireless charging පහසුකමද ඇතුලත් වීමයි.

තිරය පිරිසිදු කිරීමේදී නොකල යුතු ​දෑ

  1. කිසිම අයුරකින් ජංගම දුරකතනය ද්‍රාවණයන් වල ගිල් වන්න එපා
  2. පෙට්‍රල් ඩීසල් වැනි දෑ භාවිතාවෙන් වලකින්න
  3. සබන් භාවිතා කරන්නම එපා
  4. Bleaching වර්ගත් භාවිතා කරන්නම එපා
  5. අවශ්‍ය ප්‍රමාණයට පමණක් රෙදි කැබැල්ලට අසෘත ජලය හෝ විෂ්බීජ නාශක alcohol අඩංගු ද්‍රාවණයන් දමා ගන්න
  6. තිරය මතට කෙලින්ම ද්‍රාවණයන් දමන්න එපා
  7. තිරය තදින් තද කරන්න එපා‍
  8. ඝණ මතුපිටකින් යුතු කිසිම දෙයකින් දුරකතන පිස දමන්න එ​පා

සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙක් දිනකට 50 වතාවකට වඩා ජංගම දුරකතනය අතට ගනු ලබනවා. නමුත් ඒ කිසිම අවස්ථාවකදීවත් කිසිවෙකුත් හිතන්නේ නෑ තමන්ගේ දුරකතනය විෂබීජ රහිත ආකාරයට පවිත්‍ර කරගන්නවාද කියන එක ගැන. අපි අද ඉඳලාවත් ඒ ගැන හිතමු.

සැ.යු. ඔබගේ ජංගම දුරකතනය පවිත්‍ර කරගැනීමේදී ප්‍රවේසම් වීම ඔබ සතුවන අතර ඔබ​ගේ නොසැලකිල්ල නිසා ජංගම දුරකතනයට සිදුවන හානී සඳහා අප විසින් වග කියනු නොලැබේ.