Loading...
හරියට eBay use කරල ලාභෙට quality බඩු ගන්න සුපිරි ටිප්ස් 10ක්

eBay කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය කම්පියුටර් ලෝකේ ගැන දන්න අයට අමුතු තැනක් නෙවෙයිනේ. හැබැයි එහෙම eBay ගැන දැනගෙන හිටියට හැමෝම eBay එකෙන් බඩු ගන්නෙ නම් නෑ කියලා ෂුවර් එකටම කියන්න පුලුවන්. ඒකට එක එක හේතු තියෙනවා. ආසයි බයයි, ක්‍රෙඩිඩ් කාඩ් නෑ, ගාණ වැඩියි වගේ, ගන්න දෙයක් නෑ. ඔය වගේ හේතු. හැබැයි බඩු ගන්න අය අතරෙත් eBay එක කාලා මෝටර් ඔයිල් බීපු වැඩ්ඩෝ වගේම කිසිම දෙයක් නොදැන ගිහින් අහුවෙන අහිංසක කොළුවොත් ඉන්නවා. මේ උපදෙස් වැදගත් වෙන්නේ ඒ අහිංසක කොළුවන්ට සහ eBay එකෙන් බඩු ගන්නෙ නැති, හැබැයි හිතේ අදහසක් තියෙන අයට වැඩ්ඩෝ වගේ eBay එකේ කරක් ගහන්න තමයි.

1. ගණුදෙනු ආරක්ෂාවට PayPal හරහා payments කරන්න

අමුතුවෙන් කියන්න ඕන නෑනේ. eBay කියන්නේ හරියට ඉරිදා පොළ වගේ පොට් එකක්. හොඳ වෙළෙන්දෝ ඉන්නවා. නරක වෙළෙන්දෝ ඉන්නවා. නරක වෙළෙන්දන්ගෙන් පාරිභෝගිකයින්ව ආරක්ෂා කරගන්න එක එක නීතිත් තියෙනවා. හැබැයි මෙතන තියෙන එක කේස් එකක් තමයි සල්ලි දෙන එක. ක්‍රෙඩිට් කාඩ්, වෙබ් කාඩ් වලින් තමයි ගෙවන්න වෙන්නේ. අද කාලේ ඩිජිටල් ලෝකෙ ඇතුළේ මේක තරමක රිස්ක් එකක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ආරක්ෂා සංවිධාන තරකරගන්න කියලා.

මොනවද මේ eBay එකට ක්‍රෙඩිට් කාඩ් එක හඳුන්වලා දෙන්න කලින් ගන්න ඕන ආරක්ෂක ක්‍රියාමාර්ග? මූලිකවම අපි කියන්නේ පේපැල් එකවුන්ට් එකක් හදාගන්න කියලා තමයි. පේපැල් එකවුන්ට් එකක් හදාගත්තට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එක, වෙබ් කාඩ් එක බයනැතුව ඕකට ලින්ක් කරන්න පුලුවන්. හැබැයි ඉතින් දෙය්යන්ගෙ නාමෙට පාස්වර්ඩ් එකට තමන්ගේ උපන්දිනේ, කෙල්ලගේ නම දෙනවා වගේ මොට්ට මෝල් වැඩ කරන්න එපා. කාටවත් අනුමාන කරන්න බැරි, සංකීර්ණ, අකුරු එක්ක අංක සහ සංකේත ඇතුළත්, තමන්ට මතක හිටින පාස්වර්ඩ් එකක් යොදාගන්න.

2. වැඩි හොඳට prepaid web card සම්පත් බැංකුවෙන්

සෑහෙන්න වෙලාවට eBay එකේ ගනුදෙනු කරන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ක්‍රෙඩිට් කාඩ් නැතිකම. ඉරිදා පත්තරේ වගේ ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑනේ. හැබැයි  මේකට විසඳුමක් තමයි සම්පත් වෙබ් කාඩ් කියන්නේ. මේක හරියට ඉන්ටර්නෙට් එකේ සල්ලි ගෙවන්නම හදපු ප්‍රී පේඩ් ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ. සල්ලි කලින් දාන්න ඕන. ඉන් පස්සේ ක්‍රෙඩිට් කාඩ් එකක් වගේම පේපැල් එකවුන්ට් එකකට කනෙක්ට් කරලා පාවිච්චි කරන්න පුලුවන්. සල්ලි ඉවර වෙනකොට ආයෙමත් සල්ලි දාන්න පුලුවන්. මේකත් එක්ක ආරක්ෂාව වගේම තියෙන තව වාසියක් තමයි පාලනයක් නැතුව බඩු ගන්න යන එක වැළැක්වෙන එක. ඇයි කාඩ් එකේ සල්ලි තියෙන ගාණට විතරනේ ඕන සෙල්ලමක්.

3. පුළුවන් තරම් Bid කරල ගන්න බලන්න

eBay එකෙන් බඩු ගන්නකොට දෙයාකාරයක් තියෙනවා. එක්කෝ කෙලින්ම එවේලේම සල්ලි ගෙවලා ගන්න එක. එහෙම නැත්තං වෙන්දේසියකට සෙට් වෙලා ලංසු තියලා ලංසු තියලා වෙන්දේසියෙන් දිනන එක. දැන් මේ දෙයාකාරේම තියෙන හොඳ සහ නරක පැහැදිලියිනේ. කෙලින්ම ගෙවලා ගන්න තියෙන බඩු වල ගාණ කලින් තීරණය කරලා තියෙන්නේ. ඒක වෙළෙඳපොලේ මිලට වඩා අඩු වෙන්න පුලුවන් එක වෙනම දෙයක්.

අනික් අතට වෙන්දේසියකින් ලංසු තියලා බඩු ගන්නකොට අවම මිල තීරණය කරන්නේ වෙළෙන්දා වුනත් එතන ඉඳන් බඩු ගන්න කට්ටිය අතේ තමයි ගෙවන ගාණ ගැන තීරණය තියෙන්නේ. හැබැයි මේක ගොඩක් දෙනෙක්ට ඕන, දුලබ දෙයක් නම් මේක ගන්න වියදම් කරන්න ඕන ගාණ වෙළෙඳපොළේ ගාණටත් වඩා වැඩි වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබට වැඩි ලංසුව තියන්න බැරි වුනොත් ඕක නොලැබෙන්න තියෙන ඉඩත් වැඩියි.

4. හොඳට හොයල බලලා sellerව select කරගන්න

eBay එකේ සර්ච් කරලා තමන්ට ඕන බඩුවක් හෙව්වට පස්සේ ඒ බඩුව විකුණන්න තියෙන තැන්/වෙළෙන්දෝ ගැන පත ලිස්ට් එකක් එනවා. දැන් මේකෙන් ගොඩක් දෙනා කරන්නේ අඩුම ගාණ තියෙන තැන හොයාගෙන යන එක. අපි කියන්නේ අඩුම ගාණ හොයනවා වගේම විකුණන මිනිහා ගැනත් පොඩ්ඩක් හොයන්න කියන එක තමයි. ඒ කියන්නේ වෙළෙන්දාගේ eBay රේට් එක. ඕක හැම බඩුවක් එක්කම පෙන්නන දෙයක්. වෙළෙන්දාගේ රේටින්ග්ස් වැඩි වෙන්න වැඩි වෙන්න මිනිහා වඩාත් විශ්වාසනීය බුවෙක් වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. එතකොට බඩුවේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ආයි වාත වෙවී ඉන්න ඕන නෑ. කිව්ව ගමන් පටස් ගාලා වෙන එකක් එවයි, නැත්තං සල්ලි රිෆන්ඩ් කරයි.  මේ ගැන තේරුම් ගන්න පුලුවන් eBay රේටින්ග්ස් ගැන දැනුමක් තියෙනවනම්.

5. අවශ්‍ය දේ විතරක් මිලදී ගන්න

eBay කියන්නේ ඇවිදින්න ඇවිදින්න අපිට පිස්සු හැදෙන තරම් කලෙක්ෂන් එකක් තියෙන ඉරිදා පොළක් වගේ කියලා කලිනුත් කිව්වනේ. හැබැයි අර අම්මත් එක්ක පොළේ යන පොඩි එකෙක් වගේ මට මේකත් ඕන අරකත් ඕන කියලා ගන්න එක තරම් මෝඩ වැඩක් තවත් නෑ. අපි කියන්නේ eBay ලොග් වෙන්න කලින් දැනගෙන ඉන්න තමන්ට ගන්න ඕන මොකද්ද කියලා. ඉන් පස්සේ බලන්න ඒක ලංකාවට ගෙන්න ගන්න පුලුවන් දෙයක්ද කියලා.

උදාහරණයක් විදියට ගත්තොත් eBay එකේ වෛද්‍ය අවශ්‍යතා සඳහා වෙන ගංජා එහෙමත් විකුණන්න තියෙනවා. හැබැයි මොන අවශ්‍යතාවය වුනත් ඕක ලංකාවට ගෙන්න ගන්න එක කේස් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අනික් එක තමයි එක එක ආහාර වර්ග එහෙමත් eBay එකේ තියෙනවා. ඒත් අපිට දවස් විස්සකට තිහකට පස්සේ ඕවා හම්බුවෙනකොට කෑමේ කොලිටියට මොනව වෙලා තියෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

තව ඔය කටානා කඩුවක් එහෙම ගෙන්න ගන්න ආස කෙනෙක් පොඩ්ඩක් කස්ටම් එකේ ඉන්න යාලුවෙක්ට එහෙම කතා කරලා බලන්න අවුලක් නැද්ද කියලා. මොකද ඔය පිහි කිරිච්චි වගේ ඒවා වුනත් සමහර වෙලාවට අවුලක් නැතුව ගෙදරටම එනවා, හැබැයි සමහරක් වෙලාවට කස්ටම් එකෙන් මෙහාට එන්නෙ නෑ. ඒ හින්දා පොඩ්ඩක් හරි අවුලක් තියෙනවා වගේ හිතන දෙයක් ගෙන්නන්න කලින් අදාළ ආයතන හරහා හොයල බලන එක වටිනවා.

6. කරන්නම් වාලේ bid කරන්න එපා. දින්නොත් ගන්නම වෙනවා.

ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කලින් වුනත් eBay එකේ ඇවිදලා බලන අය ඉන්නවනේ. දැන් eBay එකේ තියෙන ආතල් එක නිසාම ආස කරන බඩුවකට ලංසු තියලා බලන්න හිතෙන්න පුලුවන්. ඊට පස්සේ අනෙක් පැත්තේ එවුන් ලංසු තියද්දි අපිටත් ගේම අත අරින්න හිතෙන්නෙ නෑ. දිගටම ලංසු තියනවා. ඔන්න එක වෙලාවක අනික් එවුන් ගේම අත අරිනවා. බඩුව අපේ. හැබැයි ගෙවන්න නෝ කාඩ්. දැන් මොකද කරන්නේ? ෂේප් එකේ පිටිපස්සෙ දොරෙන් ලිස්සලා යමුද?

අවාසනාවකට eBay එකේ එහෙම බෑ. ගන්නව කියල පොරොන්දු වුනා නං ගන්න ඕන. සහන කාලයක් ඇතුළතදී බඩුව ගන්න බැරි වුනොත් ඉතින් නමට කලු පැල්ලම් එකතු වෙලා තමයි නවතින්නේ. ඒ නිසා හදිසි වෙලා ආතල් කුඩුකරගන්න එපා. eBay එකේ වචනයක් දුන්නොත් වචනේ තියන්න. බැරිම නං සෙලර්ට මෙසේජ් එකක් දාලා තත්වය පැහැදිලි කරලා දීලා ෂේප්මන්ට් එකකට එන්න බලන්න.

7. Bad reviews set කරගන්න එපා

අපි කිව්වනේ eBay එකේ තියෙන වාසියක් තමයි වෙළෙන්දෙක් පාරිභෝගිකයින්ට බොරු කරන්න තියෙන දැඩිවම අහුරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි, වෙළෙන්දව හාවා කරන්න එන පාරිභෝගිකයින්ටත් වැට බැඳලා තියෙන්නේ මෙතන. ඒකටත් ප්‍රධාන වෙන්නේ රේටින්ග් සිස්ටම් එක. වෙළෙන්දාට කොකා පෙන්නන්න ගිහින් වැඩේ මාට්‍ටු වුනොත් ඔබේ නමට එකතුවෙන්නේ සෘණාත්මක රේටින්ග් එකක්, කළු පැල්ලමක්. ඉන් පස්සේ ඉතින් වෙන වෙළෙන්දෙක්ගෙන් මොනව හරි ගන්න ගියත් පොර ඔබට දේවල් නොවිකුණා ඉන්න පුලුවන්.

ඊටත් වඩා නරක දෙය තමයි එහෙම ලංකාවේ දෙන්නෙක් තුන්දෙනෙක් එක වෙළෙන්දෙක්ට පොල්ල තිබ්බහම පොර තීරණය කරනවා ආයෙමත් මං ලංකාවට බඩු විකුණන්නේ නෑ කියලා. එහෙම දේවල් ඕන තරම් වෙනවා. කැතයිනේ එහෙම කරන එක. ඉතින් eBay සමාජෙන් කොන් වෙනවට වඩා හොඳයි බ්‍රෝ චාටර් වැඩ කරන්නෙ නැතුව ඉන්න එක. බඩු ගන්නවා වගේම හරියට නීතියට වැඩ කරන්න.

8. වැඩ්ඩෙක් වගේ bid කරන්න

eBay එකේ බිඩ් කරන එකත් ගමේ පංසලේ මල්වට්ටි වෙන්දේසියේ ලංසු තියනවා වගේ ආතල් වැඩක්. හැබැයි ඔබට ඇත්තටම යම් භාණ්ඩයක් ගන්න ඕන නිසා බිඩ් කරනව නං පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් දැනගෙන ඉන්න එක වටිනවා.

මුලින්ම මේක තමන්ට හරියටම ඕන බඩුවද කියලා ටක්කෙට දැනගන්න. ඉන්පස්සෙ තියෙන්නේ රිසර්ච් කරන්න තමයි. මේකේ තියෙනවා බිඩින්ග් හිස්ට්‍රි එක, ඒ කියන්නේ අනික් එවුන් කොහොමද ලංසු තියලා තියෙන්නෙ කියලා බලන්න පහසුකම. අන්න එතනට ගිහින් බලන්න කට්ටිය සැරටම ලංසු තියලද, එහෙම නැත්තං මේක වේලෙන අයිටම්ස් එකක්ද කියලා. ඒ එක්කම බලන්න ඉවර වෙන්න කොච්චර වෙලාවක් තියෙනවද කියලා. දැන් හදිසි වෙලා ලංසු තියන්න යන්න එපා. පොඩ්ඩක් ඉවසිල්ලෙන් ඉන්න.

අනිත් එක එක පාරම දඩාස් ගාලා ලොකු ලංසු තියන්න යන්න එපා. මේ හැමදේටම හේතුව තමයි ඔබ අනික් ලංසු තියන එවුන් දිහා බලාගෙන ඉන්නවා වගේම උනුත් ඔබ දිහා බලාගෙන ඉන්න නිසා. එතකොට ඔබ ලංසු තියෙන විදිය අධ්‍යයනය කරලා ඔබව ලේසියෙන්ම කපලා දාන්න කෙනෙක්ට පුලුවන්.

අනික් එක තමයි මතක තියාගන්න, ගොඩක් බඩු ලංසු තියලා දිනලා ගන්න වගේම ඒ වෙලාවෙම සල්ලි ගෙවලා ගන්නත් පුලුවන්. හැබැයි ලංසුවක් තිබ්බ ගමන් ඒ වෙලේ මිලදී ගන්න තියෙන හැකියාව නැතිවෙනවා. ඒ නිසා මේක ඔබට ඕනෑම බඩුවක් නං, කියලා තියෙන මිලත් සාධාරණ නං ලංසු තිය තියා ඉන්නෙ නැතුව ගන්න.

9. Sellersලා කීපෙකම මිල බලන්න

හැම වෙලාවේම දෙයක් eBay එකෙන් ගන්න කලින් වැඩිදුර කරුණු හොයන එක වටිනවා. ඒ කියන්නේ රිසර්ච්. පොඩ්ඩක් බලන්න එකම බඩුව විකුණන විවිධ වෙළෙන්දෝ ගැන. සාමාන්‍යයෙන් ගොඩක් දෙනා එකම රේන්ජ් එකක තමන්ගේ මිල පවත්වගන්න උත්සාහ කරනවා වගේ දැනුනත්, එකම බඩුව තවත් තැනක, තවත් රටක වෙළෙන්දෙක් අඩුවට දෙන අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි මෙහෙම හොයනකොට අඩුවට දෙන පලියට ෂුවර් නැති, ඒ කියන්නේ කිසිම රේටින්ග් එකක් නැති හෝ සෘණ රේටින්ග් තියෙන කෙනෙක්ගෙන් ගන්න යන්න එපා.

අනෙක් අතට eBay එකෙන් මොනවහරි ගෙන්න ගන්න කලින් හොයල බලන්න ලංකාවේ ඒක ගන්න තියෙනවද කියලා. මොකද ලංකාවේ ගන්න තියෙන දෙයක් eBay එකෙන් වැඩි ගාණක ෂිපින් ගෙවලා ගන්න එක මෝඩකමක්නේ. ඒ නිසා පොඩ්ඩක් දන්න කියන තැන්වල ඇවිදලා හොයලා බලන්න. ලංකාවේ තියෙන ඩේලි ඩීල් සයිට් වල එහෙමත් පොඩ්ඩක් කරක ගහලා බලන්න. මෙහෙම බඩුවල මිල ගණන් හරියටම දැනගත්තට පස්සේ eBay එකේ මිල ගණන් එක්ක සසඳලා බලන්න.

10. Sellerව සම්බන්ධ කරගන්න, ෆිට් වෙන්න

eBay එකෙන් මොනවහරි ගන්න යනකොට අනික් පැත්තේ ඉන්නෙ රොබෝ කෙනෙක් නෙවෙයිනේ. අපි වගේම මනුස්සයෙක්. අන්න ඒ නිසා හොඳ සන්නිවේදනයක් තියෙන එක වැදගත්. බඩුවක් ගත්තට පස්සෙ හරි ගන්න කලින් හරි මොනවාම හරි සැකයක් තියෙනවා නම් මනුස්සයට මෙසේජ් එකක් තියන්න. සැකයක් නැතත් බඩුව ගත්තට පස්සේ තහවුරු කරන මෙසේජ් එකක් තියන්න.

ඔබට ඕන කරන්නේ මේ බඩුවේම වෙන පාටක් නම් ඒත් ගන්න කලින් මෙසේජ් එකක් තියලා අහල බලන්න. මේක ලංකාවට එවන්නේ නෑ කියලා තිබුණත් සමහර වෙලාවට වෙළෙන්දා එක්ක “මචං උඹත් කොල්ලෙක්, මාත් කොල්ලෙක්” කියලා සුහදව ටෝකක් දාලා බඩු සාර්ථකව ගෙන්න ගන්න පුලුවන්. ඒ නිසා හරියට සන්නිවේදනය කිරීම වැදගත් කියන එක මතක තියාගන්න. මෙතනදී භාෂාව ප්‍රශ්නයක් කරගන්න එපා. ගොඩක් වෙලාවට ඔය චීන වෙළෙන්දෝ එක්ක එහෙම ඉංග්‍රීසි කතා කරන්න ගියහම පණ යනවා. හැබැයි ඉතින් ගොඩදාගන්න බැරි කමක් නෑනේ.

අනෙක් කාරණේ තමයි අපිට නියම කාලෙට, නියම කොලිටියට eBay එකෙන් ගත්තු බඩුවක් ලැබුණානං ඒ වෙළෙන්දාට හොඳ රේටින්ග් එකක් දෙන්න ලෝබ වෙන්න එපා. ඒක දෙපැත්තටම වැදගත්. මොකද ඔබ ගනුදෙනු කරන විදිය ගැන වෙළෙන්දා සතු‍ටු වෙනවා කියන්නේ ඔබටත් සුපිරි රේටින්ග් එකක් දෙන්න මනුස්සයා පසුබට වෙන්නෙ නෑ කියන එක.