Loading...
දැන දැනත් ඇයි අපි අන්තර්ජාල ඒකාධිකාරයක කොටු වෙන්නෙ?

අනතුර දැන දැනත් ෆේස්බුක් පාවිච්චි කරන්නෙ ඇයි?

මේ ප්‍රශ්ණෙ මගෙන් කීප දෙනෙක්ම අහන නිසා, මට හිතුණා මේ ප්‍රශ්ණෙට උත්තරේ පැහැදිලි කරලා ලිපියක්ම ලියන්නම් කියලා.

අපි මුලින්ම කතා කරමු "වෙනස" ගැන. මිනිස්සු හැමෝම වෙනසක් බලාපොරොත්තු වුණාට, කතා කළාට, ඇත්තටම මිනිස්සු වෙනසකට කැමතිද? නෑ. හොඳම උදාහරණෙ අපේ රට. මිනිස්සු වෙනසක් වෙනසක් කිය කිය හැමදාම රටේ පාලකයො විදියට පත් කරගන්නෙ එකම පිරිසක් නෙ. ඒ වගේම, අපේ ක්ෂේත්‍රය, ඒ කිව්වෙ IT වලට හැරුණොත්, අපිත් කරන්නෙ ඒ වගේම වැඩක් නෙ. අපිත් වෙනස් වෙන්න ඕන කිය කිය දැවටෙන්නෙම අනතුර සහිත දිශාවෙමයි.

දැන් මෙහෙම හිතන්නකො, මම ඔයාලට ලිපි බර ගාණක් ලියලා කිව්වෙ, තාමත් කියන්නෙ, Google, Facebook භාවිතය නවත්තන්න කියලනෙ. ඔයාලා කීයෙන් කී දෙනෙක්ද ඒක නැවැත්තුවෙ? හෝ අඩු කළේ? බොහොම සුළු පිරිසක්. මම පෞද්ගලිකව දන්නවා මට ඊමේල්, මැසේජ් කරලා මගෙන් තව කරුණු අහලා වෙනස් වෙන්න උත්සාහ කරන අය ඉන්නවා කියලා. ඒත් බහුතරය නම් එහෙම නෑ.

ආයෙත් අපි යමුකො ප්‍රධාන මාතෘකාව පැත්තට, මම මීට අවුරුදු ගාණකට කලින් අන්තර්ජාලය හරහා වගේම මගේ මිතුරෙක් හරහා ඉගෙනගත්තා අන්තර්ජාලයේ අයිතිකාරයෝ වගේ ඉන්න ප්‍රධාන සමාගම් ටිකක් එයාලගෙ ඒකාධිකාරයක් හදා ගනිමින් ඉන්න බව, ඒ මගපෙන්වීම ඔස්සේ ගිහින් ඒ කතාව ඇත්ත බව සහ අනාගතයේ විය හැකි අනතුර ගැනත් මට එතනදි අවබෝධ වුණා. ඒත් මේ අනතුර ගැන අනික් අයටත් පෙන්වාදෙන්න උත්සහ කිරීම හරි අමාරු වැඩක් බවත් මම දැක්කා. ඒ ඇයි කියන එකත් මම ප්‍රායෝගිකව දැක්කා. මම ඒක මට වුණ සත්‍ය සිදුවීමක් ඔස්සේ පැහැදිලි කරන්නම්.

ඔයාලට මතක ඇති, ලංකාවෙ සමාජ මාධ්‍ය වාරණයක් වුණා. ඒ කාලෙ WhatsApp තහනම් කළාට Telegram තහනම් වුනේ නෑ. Telegram කියන්නෙ WhatsApp වලට වඩා හැම අතින්ම හොඳ Instant Message සේවාවක්. මම ඒ කාලෙ මම එක්තරා ෆේස්බුක් Group එකක හිටියා, එතන මගේ යාළුවෝ 20ක් විතර හිටියා. මම එයාලට කිව්වා VPN දාන් WhatsApp ඉන්න අවශ්‍ය නෑ, මම Telegram Group එකක් හදලා ඔයාලට Link එක දෙන්නම්, Telegram ඇප් එක දාගෙන Group එකට එන්න, කියලා. ඒ ආරාධනාව පිළිගත්තෙ 20න් 5කටත් අඩු පිරිසක්. ඒ ආව කට්ටිය කිව්ව දේ තමයි මෙතන ඉන්නෙ 5ක් විතරනෙ ඒ නිසා මේක කම්මැලී, එපා වෙනවා කියන එක.

ඒ කතාව හෙනම සාධාරණයිනෙ. ඔන්න ඕකම තමයි Facebook ප්‍රොෆයිල් එකක් තාමත් මම තියන් ඉන්න හේතුව. කම්මැලිකම නම් නෙවෙයි, රටේ අනික් ඔක්කොම ඉන්නෙ ඒකෙ නිසා. මම වඩා හොඳ Social Media එකකට ගිහින් තනියෙන් මක් කරන්නද? මම හොයාගත්ත හැම අතින්ම හොඳ Social Media platform එකකට register වෙලා හොයලා බැලුවම එතන ලාංකිකයෝ හිටියෙ 10කටත් වඩා අඩුවෙන්. මුළු ලංකාවෙන්ම එච්චරයි! එතන අපි දහ දෙනා මක් කරන්නද?

ලෝකෙම දැන් ප්‍රධාන ඒකාධිකාරයන් ටිකක් විසින් ගිලගෙන ඉවරයි, දැන් ආයෙ ගොඩ ඒමක් ගැන හිතන්න මාර අමාරුයි. Google ගමුකො උදාහරණයක් විදියට, ඔයා ඊමේල් කියවන්න යන්නෙ කොහෙටද? Gmail, Map එක බලන්න යන්නෙ කොහෙටද? Google Maps, ෆෝන් එකේ ඇප්ස් ඉන්ස්ටෝල් කරගන්න යන්නෙ? Google Play Store, ෆෝන් එකේ දුවන OS එක? Google Android. වීඩියෝ ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න යන්නෙ කොහෙටද? Youtube, ඒකත් Google. ඕන සයිට් එකකට යන්න Search කරන්නෙ මොකේද? Google Search. ඔයාලව Google එකෙන් කොටු කරලා ඉවරයි, ඔයාලා මොන වැඩේ කරගන්න ගියත් Google සමාගමෙන් පිටට යන එක හීනයක් නේද?

Facebook ගමුකො, යාළුවො ගැන හොයන්න නම්, Facebook, Photos බලන්න, Instagram, මැසේජ් කරන්න නම් අනිවා WhatsApp. ඉතින් බලන් ගියාම ඔයා Internet එක කියලා කැරකිලා තියෙන්නේ Google, Facebook සමාගම් දෙක ඇතුළෙ විතරනෙ?

කියන්න කණගාටුයි, අපි අන්තර්ජාල ඒකාධිකාරයක ඉන්න වහල්ලු තත්වෙට පත් කරලා ඉවරයි. අපි අපේ ඩේටා පූජා කර කර සමාගම් ටිකක් පෝසත් කරන එකම තමයි කරලා තියෙන්නෙ.

මට මේ ඒකාධිකාරය බිඳගෙන එළියට යන්න බැරි වෙලා තියෙන්නෙ අනික් අය නිසා. මොකද, හැමෝම අහන්නෙ "WhatsApp ඉන්නවද?" කියලා මිසක් Telegram ඉන්නවද කියලා නෙවෙයි නෙ, Facebook ඉන්නවද කියලා මිසක් අඩුම ගානෙ Twitter වත් ඉන්නවද කියලා නෙවෙයි නෙ. ඉතින් කොහොමද අපි වෙනස් වෙන්නෙ?

මම කළේ Facebook Profile එක පවත්වා ගනිමින්ම ඒකට මගේ පෞද්ගලික දේ දැමීමෙන් වැළකීම සහ භාවිතය හැකිතාක් අවම මට්ටමකට ගැනීම. Facebook එක තවම තියන් ඉන්නෙ අර විදියට කවුරු හරි ඇහුවම "ඔව් ෆේස්බුක් තියෙනවා" කියලා කියන්න විතරයි. ෆේස්බුක් එකේ තියෙන කිසි දෙයක් මගේ සත්‍ය දේ නෙවෙයි. කොටින්ම කිව්වොත් ඒකෙ මම කරන්නෙ වෙනම චරිතයක් හුවා දක්වන එක විතරයි.

මම හිතන්නෙ පිළිතුර දැන් පැහැදිලි ඇතිනෙ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා කීප දෙනෙක්ට හරි මොළේ පාදන්න. "ඒකාධිකාරයක් නම් තියෙනවා තමයි, එයා කියන එක ඇත්ත නම් තමයි." කියලා ආපහු අර ගොඩටම පනින එකෙක් නෙවෙයි, ටිකක් හරි වෙනස් වෙන්න පුළුවන් එකෙක් හරි හදන්න පුළුවන් නම් ඒක ලොකු සතුටක්.

ඒ වෙනස ඇති කරවන්න තමයි Facebook එකේම වැළලෙන්නැතුව එළියට බැහැලා බලන්න, ඊට වඩා ලස්සන ඒවා තියෙනවා මේ බලන්න, හොයන් යන්න කියලා ලිපි ලියන්නෙ. ඩේටා මංකොල්ලය ගැන වගේම, Reddit වගේ Platform ගැන ලිව්වෙත් ඒ බලාපොරොත්තුවෙන්.

බලාපොරොත්තු අත් නොහැර ඉස්සරහටත් මේ ගැන කට්ටියට මම කියනවා. කවදා හරි ලෝකය වෙනස් වේවි කියන බලාපොරොත්තුවෙන්.

වෙනත් ලිපියකින් මුණගැහෙමු.