සිග්නල් ටවර් එකක් අසල ජීවත්වීම ආරක්ෂිතද?

· 2 min read
සිග්නල් ටවර් එකක් අසල ජීවත්වීම ආරක්ෂිතද?

මුලින්ම කියන්නම්, feature image එකෙන් මේ article එක ගැන අදහසක් ගන්න එපා. ඒක දාල තියෙන්නේ මේ article එක ගැන interest එක වැඩි වෙන්න.

සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් එක්ක අද වෙනකොට එහෙ බැලුවත් සිග්නල් ටවර්ස්, මෙහෙ බැලුවත් සිග්නල් ටවර්ස්. නාගරිකව නම් මේ තත්වෙ ඉතාම වැඩියි. සමහරවිට ඔයාලගෙ ගෙදර ලඟත් සිග්නල් ටවර් එකක් ඇති. මේ වගේ ටවර් එකක් අසල ජීවත්වෙන එක සෞඛ්‍යාරක්ෂිතද? මේවා නිසා අකුණු අනතුරු වලට මුහුණදෙන්න වෙයිද? අද අපේ කතාව ඒ ගැන.

ඊට කලින් අපි ශ්‍රී ලංකාවේ ජාතික පුවත් පත් දෙකක වාර්තා දෙකකට අවධානය යොමු කරමු.

පහුගිය දවස් වල මේ ගැන ලියන්න ඉල්ලීම් කීපයක් ලැබුණත් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් හිටපු නිසා වැඩේ ටිකක් කල් ගියා. ඔන්න ඒ හැමෝටම ඔයාලා ඉල්ලපු විස්තරාත්මක පැහැදිලි කිරීම.

ජංගම දුරකථන සේවා සැපයීම සඳහා විවිධ වර්ගයේ සිග්නල් ටවර්ස් භාවිතා වෙනවා.

  1. පොළොවෙ ඉඳල අහස උසට නැගෙන වානේ structures වලින් හදපු greenfield towers
  2. නාගරිකව දකින්න ලැබෙන උස් ගොඩනැගිල්ලක rooftop එකේ ඉදිකරන ලද ටවර්ස්
  3. පරිසරයට අනුගත වීම සඳහා ගසක පෙනුමට හදපු tree towers (ඊළඟ පාර BMICH එකට ගියාම ටිකක් වටපිට බලන්න. Tree tower එකක් දකින්න පුළුවන් වෙයි)
  4. විශාල ගොඩනැගිලි වල ඇතුලෙ හදන Inbuilding Solutions (IBS)
  5. Cell on Wheels හෙවත් ට්‍රක් එකක් උඩ සවිකරන ලද ජංගම සම්ප්‍රේෂණ කුළුණු (ලොකු සෙනගක් එක පාර රැස්වෙන ප්‍රදර්ශන, රැස්වීම් වගේ තියෙන භූමි වල පාවිච්චි වෙනවා)

ඔය අතරින් කිහිපයක්. මේවට සිග්නල් ටවර්ස් කියල කිව්වට මේවා වල තාක්ෂණික නම තමයි Base Transceiver Station (BTS) කියන එක. ට්‍රාන්සීවර් කියන වචනෙ තේරුම තමයි සිග්නල් transmit කරන වැඩෙයි receive කරන වැඩෙයි 2ම මෙයාට පුළුවන් කියන එක.
Transmitter + Receiver = Transceiver.

අපේ රටේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින වචනෙ සිග්නල් ටවර් කියන එක නිසා මම දිගටම ඒ වචනෙ පාවිච්චි කරන්නම්. දැන් අපි එමු මාතෘකාවට

සිග්නල් ටවර් එකක තියෙන ප්‍රධාන ඇන්ටනා වර්ග

සිග්නල් ටවර් එකක විවිධ වර්ගයේ ඇන්ටනා තියෙනවා. එකක් තමයි ඔය සිරස් අතට තියෙන පොලු වගේ ඇන්ටනා ජාතිය. ඒවට කියන්නෙ sector antennas කියලා.

මේවා වලින් නිකුත්වෙන්නෙ Radio frequency (RF) එකේ තරංග. ඒ කියන්නෙ අඩු සංඛ්‍යාතයක් තියෙන තරංග. ඒවා වලින් තමයි ටවර් එකයි අපේ ෆෝන් එකයි අතර සම්බන්ධතාවය පවත්වගන්නෙ. ඔය ඇන්ටනා වල ආනතිය (tilt එක) අනුව තමයි coverage area එක තීරණය වෙන්නෙ. මේ sectors හරවල තියෙන්නෙ ටවර් එකෙන් ටිකක් දුරට වෙන්න තියෙන ප්‍රදේශයට තරංග නිකුත්වෙන හැටියට. ඒ කියන්නෙ වැඩි ජනගහනයකට cater කරන්න පුළුවන් වෙන්න. ඒක නිසා ටවර් එක යටට අමුතු fast internet එකක් එන්නෙ නෑ. සමහරවිට ඉන්ටනෙට් ගොඩක් slow වෙන්නත් පුළුවන්. සිග්නල් ලොකුවට දැනෙන්නෙත් නෑ.

ඊළඟ ඇන්ටනා ජාතිය තමයි ලොකු බෙරයක් වගේ පේන්නෙ. ඒවා ඇත්තටම බෙරයක් වගේ නෙමෙයි. සැටලයිට් ඩිෂ් එකක හැඩය තියෙන්නෙ. හුළං බදන එක අඩු කරන්න ඉස්සරහින් කැන්වස් එකක් ගහල තියෙන්නෙ. ඒකයි බෙරේ වගේ පේන්නෙ.

ඒ ඇන්ටනා ජාතිය පාවිච්චි කරන්නෙ towers - towers අතර සම්බන්ධතාවය හදාගන්න. ඒ ඇන්ටනා වලට සම්බන්ධ වෙන්නෙ තවත් ටවර් එකක් මිසක් ෆෝන් එකක් නෙමෙයි. හැබැයි දැන් නම් ගොඩක් ටවර්ස් එකිනෙක සම්බන්ධ වෙන්නෙ fiber optics වලින් නිසා මේ ඇන්ටනා වල අවශ්‍යතාවය අඩුවෙලා ගිහින්. මේ ඇන්ටනා වලට යොදාගන්නෙ high power microwave එකක් (මයික්‍රෝවේව් වල සංඛ්‍යාතය දෘශ්‍ය ආලෝකයටත් වඩා අඩුයි. හැබැයි මේක හයි පවර්). ඔන්න ඕක තමයි ටිකක් සැර.

සිග්නල් ටවර්ස් වලට නැගල තියෙන කෙනෙක් නම් අත්දැකීමෙන්ම දන්නව ඇති ටිකක් පුරුදු වෙනකන් මුල කාලෙදි ඔය ඇන්ටනා ලඟින් නගිනකොට ඔළුව කැක්කුමක් එක්ක සමහරවිට කලන්තයක් වගේ එනවා. ඒ ඔය microwave beam එකේ සැරට. ඒ වෙලාවට ඉක්මනට එතනින් මාරු වෙන්න ඕන. නැත්තං කලන්තෙ දාලා ladder එකෙන් වැටිල ටවර් එක පාමුල මිනිය තියෙයි.

දිගටම ඕවා එක්ක වැඩ කරනකොට වඳ භාවය, tumors වගේ ලෙඩ එන්නත් පුළුවන්. පොඩ්ඩක් සිග්නල් නැතිවෙනකොට අපේ කට්ටිය මැරෙන්න හැදුවට ඕවා වල නැගගෙන වැඩ කරන මිනිස්සු මාර අවදානමක් අරන් ඔය සේවය දෙන්නෙ.

මේ තරංග සෞඛ්‍යාරක්ෂිතද?

ඔන්න ඕකනෙ ලොකුම ප්‍රශ්නෙ. මම මුලින් කියපු RF තරංග හා පසුව කියපු Microwaves කියන 2ටම තියෙන්නෙ දෘශ්‍ය ආලෝකයටත් වඩා අඩු සංඛ්‍යාතයක්. ඒ කියන්නෙ මේවා non ionizing radiation. මෙයාලට බෑ කිසිදෙයක් අයණීකරණය කරන්න. ඒ කියන්නෙ DNA වල chemical bonds කඩල DNA විකෘති කරන්න මෙයාලට බෑ. ඒවා කරන්න පුළුවන් UV, X-Ray, ගැමා කිරණ වගේ ඉහළ සංඛ්‍යාතයක් සහිත තරංග වලට. RF, microwaves වගේ අයට එච්චර වැඩ බෑ. ඒක නිසා american cancer society එකට අනුව සිග්නල් ටවර් එකකින් නිකුත්වෙන තරංග වල පිළිකා අවදානමක් නෑ.

මං කලින් කිව්වනෙ අර microwaves වල සංඛ්‍යාතය අඩුවුණාට ඒවා high power කියලා. මේවා සහ RF තරංග වල මේ ඉහළ ශක්තියට පුළුවන් අපේ පටක වලට තාපය ලබාදෙන්න. ඒකෙන් පටක උණුසුම් වෙලා tissue damages වෙන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්නෙ අපිට බලපාන්නෙ කොහොමද?

American cancer society එකට සහ තවත් පිළිගත් research institutes රැසකට අනුව මේ සිග්නල් ටවර්ස් වලින් නිකුත්වෙන RF තරංග වල ශක්තිය පවතින්නෙ අපේ ශරීරයට හානිදායක වෙන්න පුළුවන් මට්ටමට වඩා දළ වශයෙන් දහස් ගුණයක් අඩු මට්ටමකින්. ඒ නිසා ටවර් එකක් ලඟ හිටියා කියල ඒකෙ sector antenna වලින් අපිට සැලකිය යුතු බලපෑමක් වෙන්නෙ නෑ.

හැබැයි අර ටවර්ස් එකිනෙක අතරෙ connection එක හදන microwave antenna වල ශක්තිය නම් ටිකක් වැඩියි. ඒ උනාට ටවර් එක යට හිටිය කියල ඔය microwave beam එකට අපිව අහුවෙන්නෙ නෑ. මොකද ඔය ඇන්ටනා වල direction එක focus කරල තියෙන්නෙ දුරින් පේන තවත් ටවර් එකක ඔය ජාතියෙම ඇන්ටනාවකට. ඒකට කියන්නෙ line of sight හදනවා කියලා. හරියට sniper rifle එකකින් ඉලක්කය ගන්නව වගේ. එතකොට microwave beam එක යන්නෙ ඒ ඇන්ටනා 2 අතරෙ. එතකොට අහල පහළට බාධාවක් නෑ.

හැබැයි මේකෙදි හරියටම සරල රේඛීය කිරණ කදම්බයක් නෙමෙයි යන්නෙ. Beam එක යන්නෙ පතෝල කරලක හැඩයට (පතෝල lobe එක කියල කියන්නෙ).

දෙපැත්තෙන් හීනියි, මැදින් මහතයි. ඒ නිසා ටවර් 2ට හරි මැද ප්‍රදේශයේදි පොළොව මට්ටමට ටිකාක් ලඟින් ඔය ලෝබ් එක යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙනවද කියල තීරණය කරන්න ටවර් එක හදන්න කලින් ගන්න පරිසර වාර්තාවෙන්. කොහොමත් සිග්නල් ටවර් එකක ඇන්ටනා තියෙන්නෙ පොළොව මට්ටමට වැඩිය ගොඩක් උසින් නිසා සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මෙතන ප්‍රශ්නයක් මතුවෙන්නෙම නැති තරම්.

වැවකින් දෙපැත්තෙ ටවර්ස් 2ක් තියෙනව නම් ගොඩක් දුරට වැවේ මතුපිට ජල පෘෂ්ඨය ස්පර්ශ කරගෙන ඔය beam එක යන්න පුළුවන්. ටවර් එක යට ඉන්න කෙනෙකුට මේ කිසි දේකින් ප්‍රශ්නයක් නෑ. Fiber optics තියෙන ටවර් එකක් නම් ටවර් එකේ එල්ලිලා හිටියත් අවුලක් නෑ.

ඒ නිසා සිග්නල් ටවර් එකක් ලඟ ඉන්න එකේ කිසිම පැහැදිලි සෞඛ්‍ය ප්‍රශ්නයක් දකින්න නැහැ.

ආ තව එකක්. මම කලින් කිව්වනෙ එක එක ජාතියෙ සිග්නල් ටවර්ස් වර්ග. ඕකෙ එකක් කිව්වනෙ IBS කියලා.

මොනවද මේ IBS?

කොළඹ වගේ අධි නාගරික ප්‍රදේශ වල හැමතැනම තියෙනවනෙ උස් ගොඩනැගිලි (Highrises). මේ ගොඩනැගිලි ඇතුලෙ ඉන්න අයට කෝල් එකක් ගන්න ගියාම පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. අහළ පහළ ගොඩනැගිලි වලට cover වෙන නිසා ගොඩනැගිල්ලෙ පහළ තට්ටු වල ඉන්න අයට කෝල් එකක් ගන්න සිග්නල් නෑ. ඉහළ තට්ටු වලට යනකොට ඒකෙ අනිත් පැත්ත.

සිග්නල් වැඩියි. අපි කෝල් එකක් ගන්නකොට මොකක්හරි එක ටවර් එකකට connect වෙලානෙ කෝල් එක ගන්නෙ. හැබැයි මේ වගේ ඉහළ තට්ටුවක ඉන්නකොට කෝල් එක හතර වටේම තියෙන towers වලට connect වෙන්න ගන්නවා. තත්පරෙන් තත්පරේට tower එක මාරුවෙලා. එතකොට connection එක හරිම unstable. ඕකත් ලොකු ප්‍රශ්නයක්.

ඕකට විසඳුමක් හැටියට තමයි මේ IBS නැත්තං In-building Solutions කියන ක්‍රමය ආවෙ. මේක මුළු ගොඩනැගිල්ල ඇතුලත ආකෘතිය පුරාම විහිදෙන ටවර් එකක්. සාමාන්‍යයෙන් මේකෙ කැබිනට් එක තියෙන්නෙ building එකේ basement එකේ. ඇන්ටනා ටික හැම තට්ටුවකම වගේ තියෙනවා. බලන්න සිවිලිමේ හයිකරල තියෙන පෙනුමින් smoke detector එකකට ටිකක් සමාන මේ ඇන්ටනා දැකල තියෙනවද කියලා.

අනිවාර්යයෙන්ම දැකල ඇති. සමහරවිට රැකියා ස්ථානයේ ඔයාලගෙ ඔළුවට උඩිනුත් ඇති. සාමාන්‍ය outdoor tower එකක sector antenna වලින් කරන කාර්යයම තමයි indoor site එකක මේ ඇන්ටනා වලිනුත් කරන්නෙ.

මේවා ආරක්ෂිතද?

මේකෙත් ජාති 2ක් තියෙනවා.

01. Omnidirectional

මේවා තමයි බහුලව තියෙන්නෙ. මේවා වල power එක නම් එච්චර ලොකු නෑ. සිවිලිමේ හයිකරන්නෙ. කියන්න තරම් ලොකු අවදානමක් නෑ.

02. Panel type

මේවා හයිකරන්නෙ කාමරයක හරි හෝල් එකක හරි මුල්ලකට. හතරැස් පෙනුමක් තියෙන්නෙ. මෙන්න මේවා නම් omni වලට වඩා ටිකක් power එක වැඩියි. මේවා නිසා අපේ tissues වලට ටිකක් දැනෙන heat එකක් එන්න පුළුවන්. ලොකු සිග්නල් ටවර් එකකට එහා පැත්තෙ ගෙයක් හදාගෙන ඉන්න එක ප්‍රශ්නයක් නැතිවුණාට මේ වගේ පොඩි panel type antenna එකකට නිරාවරණය වෙලා "දීර්ඝ කාලයක්" ඉන්න එකේ නම් තරමක අවදානමක් තියෙනවා කියන එක තමයි සාමාන්‍ය පිළිගැනීම.

ඊළඟ ප්‍රශ්නෙ අකුණු

අපි ආපහු යමු outdoor towers වලට. මේවා වල අකුණු සන්නායකයක් තියෙනවනෙ. මේ අකුණු සන්නායක වලින් අහල පහල පැති වලට අකුණු විසිකරනවා කියල සමහරු අතරෙ වැරදි මතයක් තියෙනවා. මං මුලින් අකුණු සන්නායක ගැන කියල ඉන්නම්.

අකුණු සන්නායක ජාති 2ක් තියෙනවා.

  1. Repulsion / Expulsion type
    Repulsion/ Expulsion කියන්නෙ විකර්ශණයටනෙ. මේ Repulsion type අකුණු සන්නායක වලට අපි විදුලිය දෙන්න ඕන. එතකොට එයා අකුණෙ ආරෝපණයට සමාන වර්ගයෙන් ආරෝපණයක් හදාගන්නවා. සජාතීය ආරෝපණ විකර්ශණය වෙන නිසා අකුණ එතනට වදිනෙ නෑ. විකර්ශණය වෙනවා. ඕකට තමයි අකුණු විසිකරනව කිය කිය කට්ටිය බයවෙන්නෙ. ඔය ජාතියේ අකුණු සන්නායක දැන් හදන්නෙත් නැති තරම්. ලංකාවේ කිසිම signal tower එකක මම තාම ඕකක් දැකල නෑ. ඉස්සර අපේ කැම්පස් එකේ නම් ළමයින්ට පෙන්නන්න එකක් තිබ්බා. පරණ Russian එකක්. ඒක නිසා මේ අකුණු විසිකරන අකුණු සන්නායක වර්ගය ගැන කතාවට දැන් නම් පොඩ්ඩක්වත් බයවෙන්න එපා.
  2. Attraction type
    Attraction type එකේදි අපි අකුණු සන්නායකයට විදුලිය සපයන්නෙ නෑ. මේකෙදි වෙන්නෙ අකුණු සන්නායකය මගින්  අකුණ ඇදගෙන ආරක්ෂිත මාර්ගයක් දිගේ භූගත කරන එක. Signal towers වල තියෙන්නෙත් මේවා. එතකොට ටවර් එක අවට තියෙන ගෙවල් ඔක්කොටම අකුණු වලින්  ආරක්ෂාවක් ලැබෙනවා.

හැබැයි resistance හරිද, earth loop ගහනවද, අකුණ පහළට ගෙනියන copper conductors හොරු කපන් ගිහින්ද ඔය ඔක්කොම හරියටම චෙක් කරගන්න ඕන. ඒ දේවල් වල ප්‍රශ්නයක් නැත්තං සාමාන්‍යයෙන් වෙන එක අවුලයි තියෙන්නෙ. ඒ තමයි Side Splashes. ඒ කියන්නෙ ටවර් එකට වැදෙන අකුණක් ටවර් එක දිගේ භූගත වෙන අතරෙදි අකුණෙ පොඩි පොඩි කොටස් එළියට පැනලා ගස්/ රැහැන්/ ඉදිකිරීම් දිගේ භූගත වෙන්න උත්සාහ කිරීම. කුළුණෙ Earth එක හොඳටම හොඳයි නම් මේ ප්‍රශ්න ඇතිවීම අවමයි.

ටවර්ස් හදන projects කරන companies වෙනම තියෙනවා sierra, tantri වගේ. එයාලා ටවර් එකක් හැදුවම එයාලගෙ customer ඒ කියන්නෙ ඩයලොග් මොබිටෙල් හච් වගේ අය ඇවිත් මේ හැම parameter එකක්ම නූලට තියෙනවද කියන එක බලල තමයි ටවර් එක බාරගන්නෙ. මේ ඔක්කොම චෙක් කරල ටවර් එක බාරගන්න එකට මේ ක්ෂේත්‍රයෙදි කියන්නෙ Professional Acceptance Test (PAT පැට්) කියලා. පොඩි හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්නෙ නිවැරැදි කරනකන් Tower එක බාරගන්නෙ වත්, කිසිම payment එකක් කරන්නෙ වත් නෑ.

අකුණු නිසා ගොඩක් ඉස්සර ඇතිවුණ තව ප්‍රශ්නයක් ගැන ඩයලොග් ආයතනයේ ඉංජිනේරු විධායකවරයෙක් හැටියට වැඩ කරන අපේ මදුෂාන් කුලතිලක අයියා මෙහෙම විස්තරක් කිව්වා.

කිව්වා වගේම දැන් නම් මෙහෙම ප්‍රශ්නයක් නෑ. Surge protector devices නිසා මෙහෙම ලොකු voltage එකකදි power supply එක cutoff වෙනවා. ඒ කොහොමවුණත් දැන් නීතියේ හැටියට සිග්නල් ටවර් එකකට විතරක් නෙමෙයි වඩු මඩුවකට, වෙල්ඩිං ප්ලාන්ට් එකක් පාවිච්චි කරන තැනකට පවා ට්‍රාන්ස්ෆෝමරයේ සිට වෙනම රැහැනක් (dedicated line) මගින් විදුලි සම්බන්ධතාවය ලබාගැනීම අනිවාර්ය නිසා තවදුරටත් කිසිම ගෘහස්ථ විදුලි සැපයුමකට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

ඉතින් මේ ඔක්කොම සලකල බැලුවම නියමිත පරිදි ඉදිකරන ලද සිග්නල් ටවර් එකකින් අසල්වැසියන්ට කිසිම සැලකියයුතු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියන එක දැන් ඔයාලට හොඳින්ම පැහැදිලි ඇති. හැබැයි හොඳට මතක තියාගන්න භූගත කිරීමේ පද්ධතියේ හෝ surge protectors වල හෝ යම් තාක්ෂණික දෝෂයක් (SPD ක්‍රියා නොකිරීම/ earth කරන copper tapes හොරු කපාගෙන යාම වගේ ප්‍රශ්නයක්) තිබුණොත් අසල්වැසියන්ට අකුණු වලින් වෙනදට වඩා කරදර වෙන්න ලොකු ඉඩක් තියෙනවා..