Loading...
ඔත්තු බැලීමට සෝවියට් අහසේ නිහඬේ සැරිසැරූ වේගවත් ඇමරිකානු කළු කුරුල්ලා: Lockheed SR - 71 Blackbird

SR-71 Blackbird ගුවන් යානය ගැන කතා කරන්න කලින් අපි මේ ගුවන් යානය බිහිවීමට පාදක වෙච්ච ඉතිහාසය ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු.

මේ හැමදේම ඇරඹෙන්නෙ සීතල යුද්ධය කාලයේදි.

ඇමෙරිකාවට අත්‍යවශ්‍ය වුණා සෝවියට්⁣ දේශයේ රේඩාර් මධ්‍යස්ථාන ජාලයන්, SAM (Surface to Air Missile) මිසයිල නිකුත්කරන ස්ථාන සහ Interceptor ගුවන් යානා මුලස්ථාන ආදිය ගැන ඔත්තු බැලීමට. ඇමෙරිකාව විසින් මේ සදහා ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් U-2 ඔත්තු බැලීමේ යානය යොදා ගත්තා. ඇමෙරිකාවත් මේ යානය ගැන අධි තක්සේරුවෙන් තමා ඒ දවස්වල හිටියේ. ඒකට ප්‍රධානමතම හේතුවක් තමා මේ යානයට අඩි 70,000ක් ඉහළ අහසේ ගමන් කළ හැකි වීම. මේ හේතුව නිසා S-75 Dvina වැනි සෝවියට් ගුවන් යානා නාශක අවිවල උපරිම සීමාව වන අඩි 60,000ට හසුවන්නේ නොමැතිව ගමන් කළ හැකි බව බව අමෙරිකාව තදින්ම විශ්වාස කළා.

U-2, a U.S. high-altitude aircraft, c. 1957. (Image: Underwood Archives/Shutterstock.com)

නමුත් මේ හැමදේම කනපිට හැරුනෙ 1960 වසරේ මැයි පළමුවන දා අඩි 68,000ක් ඉහළ අහසේ ගමන් කළ U-2 යානයක් සෝවියට් දේශය විසින් බිම හෙළීමත් සමඟයි. යානය බිම හෙලුවත් එය පැදවූ ගුවන් නියමුවා පැරෂුටයක ආධාරයෙන් ආරක්ෂිතව යානයෙන් ඉවත් වුණා. ඇමෙරිකාව මේ වෙච්ච වැඩෙන් ගැලවෙන්න පැවසුවේ එම ගුවන් යානය කාලගුණ නිරීක්ෂණයට යැවූ එකක් බවයි. නමුත් පසුව සෝවියට් දේශය විසින් එම යානයේ ඡායාරූප නිකුත් කළ පසු තමන්ගේ සැබෑ අරමුණ පිළිගන්නට ඇමෙරිකාවට සිදු වුණා.

The wreckage of Francis Gary Powers's U-2 reconnaissance plane. (Image: National Archives, Washington, D.C.)

මේ අනුව තමා ඇමෙරිකානු රජයට තේරුම් යන්නෙ මේ ඔත්තු බැලීමේ වැඩේ හරියටම කරන්න නම් ඔවුන්ට Stealth ගුවන් යානයක් අවශ්‍ය වෙන බව. ඒ අනුව 1957-58 කාලයේදී ඇමෙරිකානු රජයේ ඉල්ලීමට අනුව Lockheed සහ Convair යන ගුවන් යානා නිෂ්පාදන සමාගම් ඔත්තු බැලීමේ ගුවන් යානා සඳහා ව්‍යාපෘති යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. මේ අතර Lockheed සමාගමේ සැලැස්ම වූයේ A-11 සහ A-12 යන Oxcart ගුවන්යානා වන අතර Convair සමාගමේ සැලැස්ම වුනෙ Kingfish සහ Fish නමින් හැඳින්වුණ යානා දෙකක්.

නමුත් ඇමෙරිකානු රජය තම අනාගත ඔත්තු බැලීමේ ගුවන් යානාය ලෙස තෝරාගත්තේ Lockheed සමාගමේ A-12 යානයයි. මේ යානයම තවත් වැඩි දියුණු කිරීමෙන් පසු තමයි අද අපි කතාකිරීමට බලාපොරොත්තු වන SR-71 Blackbird බිහිවන්නෙ. එකත් නිකන්ම නෙමේ Ramjet කියන Jet engine තාක්ෂණයේ තවත් පියවරක් ඉදිරියට තබමින්ය.

USAF SR-71 Blackbird next to CIA A-12 OXCART

ගුවන් යානයකට අධික වේගයක් ලබාගැනීමට නම් සාමාන්‍ය පිස්ටන් එන්ජිමක් වෙනුවට ජෙට් එන්ජිමක් යොදා ගත යුතු බව මේ කාලය වෙද්දි හොඳටම වැටහි තිබුණ නමුත් Jet Engine එකෙහි ඇති වායු සම්පීඩකය කරකැවීමටත් එන්ජිමෙන් නිපදවෙන වායු ධාරාවේ ශක්තියෙන් කොටසක් වැය වන නිසා සමස්තයක් ලෙස මෙහි කාර්යක්ෂමතාව අඩුවන බව වටහාගත් ඇමෙරිකාව මේ සඳහා නියම පිළියමක් යොදා ගනු ලබනවා. ඒ තමයි Ramjet තාක්ෂණය. මේ එන්ජිම Turbojet එන්ජිමක් හා සැසඳීමේ දී ඇති ප්‍රධාන වෙනස වන්නේ වායුව සම්පීඩනය කිරීම සඳහා යාන්ත්‍රික සම්පීඩකයක් වෙනුවට කේතුවක් යොදා ගැනීමයි. මේ මගින් සාමාන්‍යෙන් ජෙට් එන්ජිමක් විසින් අත්පත් කරගෙන තිබු උපරිම වේගය වන Mach 02 පසු කර Mach අංක 6ක දක්වා අගයේ වේගයක් ලබා ගැනිමට හැකි වුණා.

නමුත් මෙම තාක්ෂණයේ තිබු විශාලතම අඩුපාඩුව නම් එහි ජෙට් වායු ධාරාව යානය නිශ්චලතාවයේ දී නිර්මාණය නොවීමයි. මේ නිසා වෙනත් යානයක ආධාරයෙන් Ramjet සහිත ගුවන් යානාව ඉහළට ගෙන ගොස් දියත් කල යුතු වනවා. මේ වැඩේ තවත් පිරිවැයක් දරන්ඩ වන නිසත් වෙනත් යානයක ආධාරයක් නොලබා ගුවන් ගත කිරීමට නොහැකි නිසත් ඇමෙරිකාව තීරණය කරනවා Turbojet සහ Ramjet යන එන්ජින් දෙකම ඒකාබද්ධ කළ දෙමුහුන් එන්ජිමක් නිර්මානය කිරිමට. ඒ අනුව Pratt & Whitney අමෙරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් J-58 නමැති ජෙට් එන්ජිම නිර්මාණය කරන්නේ. මෙය මුලින්ම Lockheed A-12 සඳහාත් ඊට පසුව SR-71 සඳහාත් භාවිත කෙරුනා.

J58 engine on display at the Evergreen Aviation & Space Museum

J58 එන්ජින් A-12 යානයට සවි කිරීමෙන් පසු 1962 දී එය මුල් වරට ගුවන්ගත කෙරුණා. අත්හදා බැලීම් පියසැරියක දී අඩි 90,000ක් දක්වාවූ උපරිම උසකට ගමන් කර තිබූ මෙම යානය එහිදි පැයට කිලෝමීටර 3,550ක වේගයෙන් පියාසර කර තිබුණා. එම වේගයේ Mach 2.87ක් වුවත් මෙම යානයට Mach 3.2ක වේගයක් ලබාගත හැකි බවයි නිෂ්පාදකයන්ගේ මතය වුණේ.

1964 දී A-12 යානයේ තවත් සංස්කරණ දෙකක් නිර්මාණය වුණා. මේවායින් M-21 යානය සකස් වුණේ D-21 නම් නියමුවන් රහිත ගුවන් යානය ඉතා ඉහළ උසකට රැගෙන ගොස් ලෝන්ච් කිරීමේ යානයක් ලෙසයි. A-12 යානයේ අනෙක් සංස්කරණය වූ SR-71 හෙවත් අද අපි කතා කරන Blackbird යානය මෙම පවුලේ ජනප්‍රිය ම යානය බව නිසැකයෙන්ම පැවසිය හැකියි. SR-71 ජනප්‍රිය වීමට පාදක වුණ ප්‍රධානම හේතුවක් තමයි 1968න් පසු A-12 යානා සියල්ල භාවිතයෙන් ඉවත් වීමයි.

A-12 යානයට වඩා වැඩි දුරක් එක් ඉන්ධන පිරවුමකින් ගමන් කළ හැකිවූ SR-71 යානය අධි තාක්ෂණික කැමරාවලට අමතර ව සතුරු කඳවුරු නිරීක්ෂණය සඳහා සවිකෙරුණු රේඩාර් පද්ධති වලින් ද සමන්විත වුණා. මේ නිසා තවදුරටත් A-12 යානා භාවිත කිරීම අවශ්‍ය වූයේ නැහැ. A-12 යානා නිෂ්පාදනය කෙරුණේ අමෙරිකානු බුද්ධි අංශ (CIA) භාවිතයට පමණයි. මේ නිසා ඒවා පිළිබඳ ව තොරතුරු 1981 තෙක් ප්‍රසිද්ධ වූයේ නැහැ. නමුත් SR-71 යානා අමෙරිකානු ගුවන් හමුදාව වෙනුවෙන් නිර්මාණය වුණු නිසා බොහෝ දෙනා අතර ප්‍රචලිත වුණා.

J58 එන්ජින්වල ඇති විශේෂ තාක්ෂණය නිසා Mach 5ක පමණ වේගයක් SR-71 යානාවලට ලබාගත හැකිවි තිබුන නමුත්, ඉංජිනේරුවන් විසින් එය වුවමනාවෙන් ම පාලනය කර තිබුණා. එයට ප්‍රධානම හේතුව වූයේ අධික වේගයේ දී ඉන්ධන දහනය අධික වීමයි. වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කිරීමට මෙම යානාවල ඉඩකඩ තිබුණත් එයින් සිදුවන අවාසිය වන්නේ ගුවන් යානය බරින් වැඩි වීමත් සමඟ එම බර රැගෙන යාමට වැඩිපුර ඉන්ධන දහනය කිරීමට සිදුවීමයි. මේ නිසා යම් මට්ටමකට වඩා ඉන්ධන රැගෙන යාමෙන් යානයේ කාර්යක්ෂමතාව අඩු විම සිදු වෙනවා.

මෙම SR 71 Blackbird යානයකට එක් වරක් ඉන්ධන පිරවීමෙන් පසු කිලෝමීටර 5,230ක දුරක් ගමන් කළ හැකියි. අමෙරිකාවේ සිට සෝවියට් දේශය හරහා පියාරසර කිරීමට මෙම පරාසය ප්‍රමාණවත් නොවන නිසා ගුවනේදී ඉන්ධන පිරවිය හැකි ලෙස මෙම යානය සකස් කෙරුණා.

යානය නිර්මාණය කිරීමේදි පැන නැගුන ගැටලු මෙතනින් නතර වුණේ නැ. ශබ්දයේ වේගය ඉක්මවා යන විට වායු ඝර්ෂණය හමුවේ ගුවන් යානයේ බඳ අධික උෂ්ණත්වයකට ලක්වනවා. මැක් 3.2ක වගේ වේගයකදී මෙම යානයෙහි බඳෙහි උෂ්ණත්ව අගය සෙල්සියස් අංශක 250 සිට 650 දක්වා පැතිරෙන බැවින් යානය නිර්මාණය සඳහා ඇලුමිනියම් වැනි ලෝහ යොදා නිර්මාණය කිරීම කළ නොහැකි උනා. මේකට හේතුව උනේ ඇලුමිනියම් හි ද්‍රවාන්කය 660C° විමයි. මේ නිසා SR-71 ඇතුළු සියලු A-12 යානා නිර්මාණය කෙරුණේ 90% කට වැඩි ප්‍රමාණයක් ටයිටේනියම් ලෝහය යොදාගෙනයි. (ටයිටේනියම්වල ද්‍රාවාංකය ලෙස සැලකෙන්නෙ 1668 C° කි ) මෙම ලෝහය බරින් අඩු වුවත් ඉන්ධන රහිත SR-71 යානයේ බර ටොන් 25ක් පමණ වුණා. ඉන්ධන සහිත බර වූයේ ටොන් 61ක්.

SR-71 යානා වර්ණ ගැන්වුණේ කළු වර්ණයෙන්. කළු වර්ණය මගින් තාපය වැඩි වශයෙන් උරා ගැනීමට අමතර ව තාපය පිට කිරීමත් වේගවත් ව සිදුවනවා. මේ නිසයි SR-71 යානා කළු වර්ණයෙන් වර්ණ ගැන්වුණේ. ඒ අනුව තමය් SR-71, කළු කුරුල්ලා (Blackbird) යන නාමය මෙම යානයට පටබැඳුනෙ. SR-71 ඇතුළු A-12 යානාවල හැඩය සාමාන්‍ය ගුවන් යානාවලට වඩා විශේෂ හැඩයකින් යුක්තයි. මෙම හැඩය ද රේඩාර්වලට හසු නොවී ගමන් කිරීමට උපකාරි වනවා. නමුත් අමෙරිකාව මෙම යානා සෝවියට් දේශය ඉහළින් පියාසර කරවීමෙන් වැලකුණා. ඒ වෙනුවට සෝවියට් දේශ සීමා ඔස්සේ ගමන් ගත් මෙය රේඩාර් තාක්ෂණය යොදාගෙන එහි සිට සැතපුම් 100 ගණන් රට තුළට ඇති සෝවියට් කඳවුරු නිරීක්ෂණය කළ බව තමය් අන්තර් ජාලයේ සඳහන් වන්නෙ.

නමුත් 1980 කාලයෙන් පසු මෙම යානවලට නරක කාලයක් ලැබුවා. ඒකට ප්‍රධානම හේතු වුණේ, ඒ වන විට නිර්මාණය කර තිබු සෝවියට් Mig-31 යානයට SR-71 බිම හෙළීමේ හැකියාව හා මෙම යානා නඩත්තුව සඳහා යන අධික වියදම හා නිවැරදිව නඩත්තු කටයුතු සිදු නොවීම නිසා සිදුවූ අනතුරු නිසා ඒ වන විට නිෂ්පාදනය කර තිබූ SR-71 යානා 32න්, 13ක් ම විනාශ වී තිබිම හා SR-71 ඉටු කළ කාර්යයට වඩා වැඩි කාර්යයක් ඔත්තු බැලීමේ චන්ද්‍රිකා සහ නියමුවන් රහිත ගුවන් යානා යොදා ගනිමින් කළ හැකිවීමත්ය. මෙම සියලු කාරණ සැලකීමෙන් පසු SR-71 යානා සම්පුර්ණයෙන් භාවිතයෙන් ඉවත් කිරීමට අමෙරිකානු රජය විසින් 1998 දී පියවර ගනු ලැබුවා.

මේ වන විට SR-71 යානා දෙකක් NASA ආයතනයේ පර්යේෂණ කටයුතු සඳහා ලබා දී තිබෙනවා. තවත් යානා කිහිපයක් අමෙරිකාවේ Smithsonian ජාතික අභ්‍යවකාශ කෞතුකාගාරයේ සහ ගුවන් හමුදා කෞතුකාගාර කිහිපයක ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

මෙම තාක්ෂණය දැන් වසර 50කට අධික පැරණි වුවත් අදටත් මේ යානය ඉන්ජිනේරු ශිල්පයේ විශ්මයක් ලෙස සැලකෙනවා වගේම මෙය ලොව දෙවෙනි වේගවත් ගුවන් යානවත් වනවා.