Loading...
Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම M2 Pro සහ M2 Max chips එලි දක්වයි

Apple සමාගම විසින් ඊයේ දිනයේදී (2023 ජනවාරි 17) ඔවුන්ගේ නවතම Apple Silicon chips ලෙසින් M2 Pro සහ M2 Max chips එලිදැක්වීම සිදු කරනු ලැබුවා. ඊට සමගාමී​ව Apple සමාගම විසි​න් එම chips වලින් බල ගැන්වෙන නවතම MacBook Pro සහ Mac mini පරිගණක එලිදැක්වීමටද කටයුතු කරනු ලැබුවා.

මේ නවතම chips, Apple සමාගම විසින් ඔවුන්ගේ Apple silicon chips වල M2 මාදිලියේ වැඩිදියුණු කල සංස්කරණයක් ලෙස නිකුත් කිරීම සිදු කෙරුනා. පසුගිය වසරේදීද Apple සමාගම විසින් ඔවුන්ගේ M1 මාදිලියේ chips වලටද M1 Pro සහ M2 Max ලෙසින් chips එලිදැක්වූ බව අප විසින් ඔබට වාර්තා කරනු ලැබුවා.

වේගවත් අත්දැකීමකට M2 Pro

මෙම නවතම M2 Pro chip එක මඟින් නවතම Mac mini පරිගණකය මෙන්ම අඟල් 14 සහ අඟල් 16 තිරයකින් යුක්ත වන MacBook Pro මාදිලියේ පරිගණක බල ගැනිවීම කරනු ලබනවා. Apple සමාගම විසින් Mac mini මාදිලියේ පරිගණකයකට මෙවැනි බලවත් chip එකක් යෙදීම සිදු කල ප්‍රථම අවස්ථාවද මෙය වනවා.

Apple සමාගම විසින් M2 Pro chip එක එලිදැක්වීමේදී සඳහන් කරන ලද ආකාරයට M2 Pro chip එක නිපදවීම සඳහා භාවිතා කර තිබෙන්නේ දෙවන පරම්පරාවේ 5nm process technology එක වන අතර එහි ට්‍රාන්සිස්ටර් බිලියන 40ක් අඩංගු වනවා. එය M1 Pro chip එකෙහි ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයට වඩා ආසන්න වශයෙන් 20%කින් පමණ ට්‍රාන්සිස්ටර් වැඩි වීමකි.

Source: apple.com

M2 Pro chip එක M1 Pro chip එකට ප්‍රමාණයෙන් සමාන වන නමුත් ඒ තුල ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩිවීම නිසා ට්‍රාන්සිස්ටර් අතර ඇති පරතරය අඩුවීම නිසා එය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වනවා.

M2 Pro chip එකෙ​හි memory bandwidth එක 200GB/s වන අතර එය M2 chip එකෙහි මෙන් දෙගුණයකි. එමෙන්ම M1 Pro chip එකෙහි multithreaded CPU performance වලට වඩා 20%කින් M2 Proහි කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මීට අමතරව Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටියේ M1 Pro chip එකෙහි ඇති Graphic speed එකට වඩා 30%කින් M2 Pro හි Graphic speed එක වැඩි බවයි. මේ හරහා Apple පරිගණක මත පරිගණක ක්‍රීඩා ධාවනය කිරීමේදී ඉතාමත් හොඳ graphic quality එකක් ලබා ගැනීමට බවද ඔවුන් එහිදී සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම M2 Pro chip එක M1 Pro chip එක ඇතුලත් වන අඟල් 16 MacBook Pro එකට වඩා 40%කින් වේගවත් වන අතට Intel Core i9 මඟින් බල ගැන්වෙන අඟල් 16 MacBook Pro එකට වඩා 80%කින් වේගවත් වන බවද Apple සමාගම ප්‍රකාශ කර සිටියා.

Source: apple.com

අති වේගවත් අත්දැකීමකට M2 Max

M2 Pro මඟින් බලගැන්වෙන Mac mini පරිගණකයක් එලිදැක්වීමට Apple සමාගම කටයුතු කලද M2 Max chip එක මඟින් බලගැන්වෙනේ අඟල් 14 සහ අඟල් 16 MacBook Pro පරිගණක පමණි.

Source: apple.com

M2 Max chip එකහිද භාවිතා වන්නේ දෙවන පරම්පරාවේ 5nm process technology එක වන අතර එහි ට්‍රාන්සිස්ටර් බිලියන 67ක් අඩංගු වනවා. එය M1 Max එකට වඩා බිලියන 10ක ට්‍රාන්සිස්ටර් වැඩි වීමක් වන අතර M2 chip එක හා සසඳන විට තුන්ගුණයක වැඩි වීමකි.

M2 Pro chip එකෙහි මෙන්ම M2 Max chip එක M1 Max chip එකට ප්‍රමාණයෙන් සමාන වන අත​ර ඒ තුල ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩිවීම නිසා ට්‍රාන්සිස්ටර් අතර ඇති පරතරය අඩුවීම නිසා එය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වනවා.

M2 Max chip එකෙහි unified memory bandwidth එක 400GB/s වන අතර එය M2 Pro එක මෙන් දෙගුණයක වේගයක් වන අතර M2 chip එකෙහි ඇති වේගය මෙන් හතර ගුණයකි.

මෙම chip එකෙහි Graphic speed එක M1 Max එකට වඩා 30%කින් වැඩි අතර එහි ඇති video encode engine ද්විත්වය සහ ProRes engines ද්විත්වය, M2 Pro එකට වඩා video encoding වේගය දෙගුණයකින් ඉහළ නැංවීමට සමත්වනවා.

Sources: www.apple.com