Loading...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්ප​තේ (Facebook පනත) බලපෑම කෙටියෙ​න්

මේ වන විට ශ්‍රී ලංකාව තුල වැඩියෙන්ම කතා බහට ලක්වන මාතෘකාවක් තමයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත'. මේ වන විට මේ පනත නීතිපති වරයාගේ නිෂ්කාශන්‍යෙන් අනතුරුව රජයේ ගැස්ට් පත්‍රයේද මේ පිළිබඳව පල කර තිබෙනවා.

මෙහි ප්‍රධානතම අරමුණ ලෙසින් රජය සඳහන් කර ඇත්තේ මේ වන විට සාමාන්‍ය ජීවිතයේ නැතුවම බැරි අංගයක් වී ඇති අන්තර්ජාලය තුල මහජනයා ආරක්ෂා කිරීම ලෙසයි.

එහි සඳහන් වන ආකාරයට මේ පනත,

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනිම සඳහා සහ ප්‍රකාශයට පත් කිරිම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණ සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි,”

ලෙසින් හදුන්වාදී ඇත.

  • ලංකාව තුළ හෝ රටින් පිටත සිටිය දි යම් තැනැත්තෙකු විසින් මෙරට පුරවැසියකු සම්බන්ධයෙන් පනත යටතේ වූ වරදක් සිදු කරනු ලබන අවස්ථාවක දී,
  • මෙම පනත යටතේ වූ වරදක් සිදු කිරිම මඟින් රජයට හෝ මෙරට පදිංචි තැනැත්තෙකුට හානියක් හෝ අලාභයක් ශ්‍රී ලංකාව තුළ දී හෝ පිටත දී සිදු කරන අවස්ථාවක දී,
  • මෙම පනතේ යටතේ වූ වරදක් වරදක් කවර ස්ථානයක දී සිදු කරනු ලැබුව ද එය මෙරට පුරවැසියකු සිදු කරනු ලබන අවස්ථාවක දී

කරනු ලැබූවත් එය මෙරට පුරවැසියෙකු සිදුකරන්නේ නම්, මේ පනතේ විධිවිදාන අදාළ විය යුතු එහි සඳහන් වේ.

පංච පුද්ගල කොමිස​ම

මෙම පනතට අනුව එය ක්‍රියාත්මක කිරීමට පංච පුද්ගල කොමිෂන් සභාවක් ජනාධිපති වරයා විසින් පත් කරනු ලබන අතර එහි ධුර කාල වසර තුනකි. එමෙන්ම මෙම කොමිසමේ සාමාජිකයන් ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමේ බලයද ජනාධිපතිවරයා සතු වේ. කොමිසමේ සාමාජිකයන් තොරතුරු තාක්ෂණය, නීතිය, පාලනය, සමාජ සේවා, පුවත්පත් කලාව, විද්‍යාව සහ තාක්ෂණවේදය හෝ කළමනාකරණය යන කේෂ්ත්‍රවල සුදුසුකම් හා පළපුරුද්දක් සහිත පුද්ගලයින්ගෙන් සමන්විත වීමට නියමිත​ අතර කලින් කලට මෙම පනතට අවශ්‍ය රෙගුලාසි සෑදීමෙ එබලය ඇමතිවරයා වෙත ලබා දීමටද මෙම කෙටුම්පතේ යෝජනා ඇත.

කොමිසමට ඇති බලත​ල (යෝජිත)

  • තහනම් ප්‍රකාශයක් මඟින් අහිතකර බලපෑමකට ලක්ව ඇති පුද්ගලයින්ට ඊට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස නියම කිරීම
  • තහනම් ප්‍රකාශයක් වෙත පරීශිලකයින්ට ප්‍රවේශවීමේ අවස්ථාව අක්‍රීය කරන ලෙස හෝ එම ප්‍රකාශය ඉවත් කරන ලෙස අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නට හෝ අතරමැදියන්ට දැන්වීම් නිකුත් කිරීම
  • සහ අධිකරණයට අපහාස විය හැකි හෝ අධිකරණයේ බලය අපක්ෂපාතී ලෙස පවත්වාගෙන යාමට අගතිගාමී විය හැකි සන්නිවේදනයන් පිළිබඳ සලකා බැලීම සඳහා උචිත අධිකරණයක් වෙත යොමු කිරී​ම
  • පොලිසියේ සහාය ලබා ගනිමින් විමර්ශන සිදු කිරිමට මෙන්ම පරිශ්‍රවලට ඇතුළු වී පරික්ෂා කිරිම, දඩ නියම කිරිම, නඩු පැවරිම සහ තහනම් කිරිමේ බලය

මීට අමතරව තවත් බලතල රාශියක් මෙම පනත යටතේ ලබා දීමට යෝජනා කර ඇති අතර ඔබට සම්පූර්ණ පනත මේ සබැදිය හරහා ලබා ගත හැකියි.

‍⬇️ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත - Download

පනතේ සඳහන් වැර​දි

මෙම පනත යටතේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකරකම් කිහිපයක් වැරදි ලෙස අර්ථ ගන්වා ඇත අතර ඒවා පහතින් දැක්වේ.

  • ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • අධිකරණයට අපහාස වන පරිදි අසත්‍ය ප්‍රකාශයන් සන්නිවේදනය
  • අසත්‍ය ප්‍රකාශයක් මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම
  • ආගමික හැඟීම්වලට රිදවීම අරමුණු කරගනිමින් අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • ආගමික හැඟීම්වලට නිග්‍රහ කිරීම අරමුණු කර ගනිමින් සහ ද්වේෂසහගත ලෙස අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • අසත්‍ය ප්‍රකාශයක් මඟින් කැරලි ගැසීමක් සඳහා ප්‍රකෝප කරවීම
  • මාර්ගගත ගිණුමක් මඟින් හෝ ස්ථානයක් මඟින් අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීමෙන් යම් පුද්ගලයෙකුට වංචා සිදු කිරීම
  • මාර්ගගත ගිණුමක් මඟින් වෙන පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් වංචා සිදු කිරීම
  • වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම
  • සාමය කඩකිරීම සඳහා ප්‍රකෝප කරවීම පිණිස චේතනාන්විතවම අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය මඟින් අපහාස සිදු කිරීම
  • කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් සිදු කිරීම සඳහා චේතනාන්විතවම අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • හිරිහැර සිදු කිරීම සඳහා ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
  • මාර්ගගත ගිණුමක් හෝ ස්ථානයක් හරහා ළමා අපයෝජනයක් සිදු කිරීම
  • කොමිෂන් සභාවේ විධිවිධානවලට අනුකූලව කටයුතු නොකිරීම

දඬුව​ම්

මෙම පනත යටතේ වැරදිකරුවෙකු වන අයෙකුට බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඬුවම් දෙකම විඳීමට සිදුවිය හැක.

මේ පනතේ බලපෑ​ම

මේ කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමක් නිසා තවදුරටත් මේ කොමිසම ස්වාධීන කොමිසමක් ලෙසින් කටයුතු නොකරනු ඇත. එමෙන්ම මෙහි දක්වා ඇති තහනම් ප්‍රකාශ සම්බන්ධ වැරදි, නිශ්චිත නොවන නිසාත් ඒවාට පුළුල් අර්ථ ලබා දිය හැකි නිසාත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අනවශ්‍ය සීමාවන් පැනවිය හැකියි.

මේ පනත අනුව සාමාජ මාධ්‍යයන් ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි කල යුතු අතර ඊට අවනත නොවන සමාජ මාධ්‍යජාල සේවාවන් ශ්‍රී ලංකාවෙන් බැහැරවිය හැක්‍යි. එමඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ අවකාශය අවදානමට ලක්වේ.

නඩු නම් බෑ...

පනතේ සඳහන් වන ආකරයට මෙම කොමිසමට විරුද්ධව සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් වේ.

‍⬇️ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත - Download

Cover Image: Sajith Bandara (Daily Mirror)