Loading...
මහා නැව්, ගුවන් යානා ගිලින බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහසට සාධාරණ විසඳුමක්! ඇත්තටම මොකක්ද වෙන්නේ?
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික සවන් වංසජ මාපලගම සොයුරා විසින් ලියැවුණකි.

බර්මියුඩා ත්‍රිකෝණය එහෙමත් නැත්තම් යක්ෂයාගේ ත්‍රිකෝණය කියලා හඳුන්වන පෘථිවිය මත තියන අද්භූත ස්ථානය ගැන හැමෝම අහලා තියෙනවා ඇති කියලා හිතනවා. අත්ලාන්තික් සාගරයේ පිහිටලා තියෙන මෙයට ඇමෙරිකාවේ ෆ්ලොරිඩා තුඩුවත්, පෝටො රිකෝ දූපතත්, බර්මියුඩා දූපතත් අතර මුහුදු ප්‍රදේශය තමා අයිති වෙන්නේ.

මේ ප්‍රදේශයේ විශේෂත්වය තමා ඒ හරහා ගමන් කරන ගුවන් යානා, නෞකාවන් හිටපු ගමන් අතුරුදහන් වීම. ඒ වගේම හිටිහැටියේම මගපෙන්නවන උපකරණ, මාලිමා යන්ත්‍ර ආදිය හරි ආකාරව ක්‍රියාත්මක නොවන බවටත් අතුරුදහන් වීමට ප්‍රථමව ලැබුන පණිවුඩ වලින් කියැවී තිබෙනවා. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ කොහොමද?

බර්මියුඩා ත්‍රිකෝණය (ඇමෙරිකාවේ ෆ්ලොරිඩා තුඩුවත්, පෝටො රිකො දූපතත්, බර්මියුඩා දූපතත් අතර මුහුදු කලාපය)

බර්මියුඩා ත්‍රිකෝණයේ වෙන්නේ මොකක්ද කියන එක ගැන මෙතෙක් කාලයක් විවිධ මත පළවුනා. ඒ අතර හදිස්සි කාලගුණික විපර්යාස, විශාල දියසුලි ඇති වීම්, විතරක් නෙවෙයි පිටසක්වල ජීවීන්ගේ බලපෑම් ඇතිවෙනවා කියලත් අදහස් පළවුනා. ඒ කොහොම උනත් කිසිම දෙයක් ඔප්පු කරන්න සාක්ෂි ඉදිරිපත් උනේ නැහැ. නමුත් අද වන විට විද්‍යාඥයන්ට හැකිවෙලා තියෙනවා ඒ අතුරුදහන් වීම් සිදුවීමට හේතු වූ කරුණු මොනවද කියල සොයාගන්න. ඒ මොනවද කියලා කතා කරන්න කලින් එහි සිද්දවුන අතුරුදහන් වීම් ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු.

ඉතා ඈත අතීතයේ පටන්ම අභිරහස් සිදුවීම් සිදුවන ප්‍රදේශයක් ලෙසට නම් දරා සිටි මෙම ප්‍රදේශය ගැන මුල්ම වාර්තා හමුවෙන්නේ 1492 දි සාන්ත මරියා නෞකාවෙන් ගමන් කල ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ සටහන් වලයි. එහිදි ඔහු සඳහන් කර තිබුනේ ඔක්තෝම්බර් 11 දින රාත්‍රියේදී මෙම කලාපය අසලින් ගමන් කරන විට අභිරහස් එලි දක්නට ලැබුන බවයි. ඉන්පසු 1800දී ප්‍රථම වරට මිනිසුන් 90ක් පමණ රැගත් නෞකාවක් අතුරුදහන් වී තිබුනා.

1814දීද ඒ ආකාරයෙන් මිනිසුන් 140ක් සමඟ නෞකාවක් අතුරුදහන් වී තිබුනා. මෙලෙස සිද්ධීන් බොහෝමයක් සටහන් වී තිබෙනවා. මුහුදේ ගමන් කරන නෞකා බොහෝවිට කුණාටු නිසා විනාශ විය හැකි නිසා මේවාද එලෙස වන්නට ඇති බව උපකල්පනය කල හැකි උනත් පසුකාලයේ වාර්ථා වූ සමහර සිද්ධි නම් කුණාටු නිසා සිදුවූ ඒවා නොවේ. 20 වන සියවසේ මුල් භාගයෙදීත් මෙවැනිම නෞකා අතුරුදහන් වීම් දිගින් දිගටම සටහන් වී තිබුනත් ඒ සියල්ලම වාගේ සලකා ඇත්තේ කුණාටු නිසා හෝ කාර්මික දෝෂ නිසා සිදුවූ අනතුරු ලෙසයි.

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සිදුවුන පළමු ගුවන් යානා අතුරුදහන් වූ සිද්ධිය ලෙස වාර්තා වුනේ 1945 ඇමෙකාවේ ගුවන් හමුදාවට අයත් ටෝපිඩෝ ගුවන් යානා පහක් මෙම ප්‍රදේශට ඉහලින් ගමන් කරමින් සිටියදි එකවරම අතුරුදහන් වීමයි. රේඩියෝ තරංග භාවිතයෙන් ගුවන් තොටුපල හා පණිවුඩ හුවමාරු කරගනිමින් සිටි එම යානා හදිස්සියෙම පණිවුඩ හුවමාරුව නැවතුනේ ඇයි කියලා හැමෝටම හිතාගන්න බැරි උනා. බොහෝ කාලයක් බලන් හිටියත් එම යානා ගුවන්තොටපල වෙතටනම් ආවේ නෑ.

මේ නිසා තවත් යානාවක් ඔවුන් සොයාගැනීමේ අරමුණින් ඒමට නියමිතව තිබුනු මාර්ගය ඔස්සේ ගමන් කලා. එම යානාවත් අදාල ප්‍රදේශයට ලං වන විට පණිවුඩ එවීමේ දුර්වලතාවයක් පෙන්නුම් කලා වගේම බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළ ප්‍රදේශයේ දී හදිස්සියේම අතුරුදහන් වුනා. මේ සිද්ධියත් එක්ක නැතිවුන යානා සොයන්න පරීක්ෂණයක් සිදු කලත් නැවත කිසිම දවසක එම යානා 6 ගැන ආරංචියක් ලැබුනේ නෑ.

කුණාටු නොමැති දිනවලදීත් මෙම ප්‍රදේශයේ දී අද්භූත ලෙස යාත්‍රා අතුරුදහන් වන බවට හඳුනා ගැනුනේ 1967 වර්ෂයේදී සිදුවුන එක් සිදුවීමක් නිසායි. ඒ මෙම ප්‍රදේශය ඔස්සේ ගමන් කල පුද්ගලික යාත්‍රාවක් හිටිහැටියේම අතුරුදහන් වීමයි. මේ වර්ෂයේදීම නත්තල් දවසේ ගිණිකෙලි සන්දර්ශනය හොඳින් දැකබලා ගන්න හිතාගෙන ධනවත් ව්‍යාපාරිකයෙක් තමා සතු යාත්‍රාවකින් ෆ්ලොරිඩාවෙන් මදක් ඈතට ගමන් කරලා තියෙනවා.

නමුත් හදිස්සියේම වෙරළ ආරක්ෂ අංශයට පණිවුඩයක් එවමින් ඔහු ඉල්ලා තිබුනේ යාත්‍රාව හදිස්සියේම අක්‍රිය වීම නිසා එය වෙරළ වෙත ඇදගෙන ඒමට යාත්‍රාවක් එවන ලෙසයි. විනාඩි 20ක් පමණ ගතවන විට වෙරළ ආරක්ෂක බෝට්ටුවක් අදාල ස්ථානයට ළඟා වුනත් එහි කිසිම යාත්‍රාවක් දකින්නට ලැබුනේ නෑ. කාලගුණයද යහපත් වූ නිසා කුණාටුවකට හසුවිය නොහැකි වීමත්, යාත්‍රාව ගිලුනා නම් එහි සිටි පිරිසෙන් කවුරුන් හෝ බේරෙන්නට තිබුනත් මෙහි කිසිවෙක්ම නැති වීම ගැන කාටවත් හිතාගන්න බැරි වූනා.

මෙම සිද්ධි වලින් පස්සේ දිගින් දිගටම අතුරුදහන් වීම් වාර්තා වීම නිසා ඒවා වාර්තා වූ ස්ථාන සිතියම්ගත කල විට දකින්න ලැබුනේ මේ සියල්ලම බර්මියුඩවට ආසන්න ප්‍රදේශකදී සිදුවී ඇති බවටයි. ඒ නිසාවෙන් මේ ප්‍රදේශය යක්ෂයාගේ ත්‍රිකෝණය (බර්මියුඩා ත්‍රිකෝණය) ලෙසින් පසුකාලයේදි හඳුන්වන්නට වුනා.

කාලයත් සමඟ තාක්ෂණය දියුණු වුනත් මේ සිද්ධීන් සිදුවූයේ ඇයිද යන්න පැහැදිලි කරන්න කාටවත් හැකි වුනේ නෑ. බර්මියුඩා ත්‍රිකෝණය තුලදී අවසන් වරට නෞකාවක් අතුරුදහන් වීම සිදුවීම වුනේ 2015 ඔක්තෝම්බර් 1 වන දින අතුරුදහන් වූ එල් ෆාරෝ නම් භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවයි. ෆ්ලෝරිඩා සිට පෝටො රීකෝ වෙත ගමන් කරමින් තිබියදී අතුරුදහන් වුන මේ නෞකාව, දින 30ක් තිස්සේ සිදුකල දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් පසුව මුහුදු පතුලේ තිබියදී හමුවී තිබුනා.

2015 ඔක්තෝම්බර් 01 වන දින බර්මියුඩා ත්‍රිකෝණය තුලදී අවසන් වරට අනතුරට ලක්වුණු El Faro නෞකාව මුහුදු පතුලෙන් සොයා ගත් අවස්ථාවේ ගත් ඡායාරූප

එල් ෆාරෝ සිදුවීමත් එක්ක මෙම අභිරහස් ප්‍රදේශයේදි ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා හොයන්න ඇමෙරිකාවේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයෙන්, ලෝකේ පුරාම ඉන්න විද්‍යාඥයන් රැසක් එකතු කරගනිමින් කමිටුවක් පත්කර පරීක්ෂණයක් ආරම්භ කලා. ඒ සම්බන්ධව තිබුන සියලුම මත ගැන පරීෂාවට ලක් කරමින් තමා මේ පරීක්ෂණය කරගෙන ගියේ. යානා වල සහ නෞකා වලින් අවසන් වරට ලැබුන පණිවුඩයන් සහා අනතුරු සිදුවන දිනවල මෙම කලාපයේ කාලගුණික තත්වයන් පරීක්ෂා කිරීමට චන්ද්‍රිකා ඡායාරූප ඇතුලු සියලුම දත්තයන්ද සියුම්ව පරීක්ෂාවට ලක් කල ඔවුන් ට පෙනි ගියේ ඒ සෑම දිනකම වාගේ එක්තරා විශේෂ වූ කාලගුණික තත්වයක්, මෙම අනතුරු සිදුවීමට හේතු වී ඇති බවයි.

ඒ අදාල දින වලදී මෙම ප්‍රදේශයේ වලාකුළු විශේෂිත වූ ෂඩාස්‍රාකාර හැඩැයක් ගෙන තිබුනු අතරම ඒවා කිලෝමීටර 20ත් 55ත් තරම් විශාල ඒවා වී තිබෙනවා. සාමන්‍යයෙන් වලාකුළු වලට මේ ආකාරයේ සෘජු දාර සහිත හැඩයක් ගන්නට හැකියාවක් නැහැ. එම ප්‍රදේශයේදී ඇතිවෙන මෙම විශේෂිත ෂඩාස්‍රාකාර වලාකුළු වල කෙලවරක පැයට කිලෝමීටර 100 - 120 ක් තරම් වේගයෙන් පහළට සුළං දාරාවක් හමන ඔවුන් බව සොයා ගත්තා.

ඒ වේගවත් සුළං දාරාව ජලතලය මත වේගයෙන් වැදීම නිසා අඩි 50ක් පමණ උස ක්ෂණික රැලි ඇතිවන බව නිරීක්ෂණය වී තිබෙනවා. ඔවුන් පරිඝණක මොඩියුලයක් යොදාගෙනයි මෙය පරීක්ෂාවට ලක් කලේ. මෙම මොඩියුලය කාලගුණය ගැන සාර්ථක ලෙස අනාවැකි පලකරන පරිගණක මොඩියුලයක් වීම නිසා ඇත්තටම බර්මියුඩා ත්‍රිකෝණයේ මෙම තත්වය ඇතිවීමට ඉහළ ඉඩකඩක් ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. කොහොම නමුත් මේ සිද්ධිය සිදුවන ආකාරය තහවුරු කිරීමට පර්යේෂණාත්මක සාධක තවම හමුවී නැහැ.

දශක ගණනාවක සිටිම නොවිසඳුන අභිරහසක් ව පැවති බර්මියුඩා ත්‍රිකෝණයේ අද්භූත හැසිරීමට භෞතික නියම පිළිපදිමින් විද්‍යාත්මක හා භෞතික සාක්ෂි වලට සාධාරණයක් වන පරිදි දැනට ඉදිරිපත් වී ඇති මතය මෙයයි. ඒ එම ප්‍රදේශයේදී ක්ෂණිකව සිදුවන කාලගුණික වෙනස් වීමකදි ඇතිවන වේගයෙන් පහලට හමන සුළං දාරවට හෝ ඉතා උස් වූ මුහුදු රැළි වලට හසුවන මුහුදේ ගමන් කරන යාත්‍රා එකවරම ගිලීයාමත්, ගුවන් යානා එකවරම මුහුදට කඩා වැටීමත් සිදුවන්නට ඇති බවයි. එක් ප්‍රදේශයකට පමණක් සීමාවන පරිදි මෙලෙස ෂඩාස්‍රාකාර වලාකුළු ඇති වන ආකාරය ගැන නම් පැහැදිලි කිරීමටනම් තවම හැකිවී නැහැ. වෙනත් සාධාරණ විසඳුමක් ලැබෙනතුරු හෝ මෙය පර්යේෂණාත්මකව ඔප්පුවන තුරු බර්මියුඩා අභිරසට විසඳුම මෙය බව විද්‍යාඥයන් පවසා සිටිනවා.

විසඳුමක් ලැබී තිබූ පමණින් ඒ කලාපය හරහා ගමන් කිරීම අනතුරුදාක වන බව නම් වෙනස් වන්නේ නැහැ. ඒ බව පසක් කරමින් 2017 මැයි මස 15 වන දින පෞද්ගලික ගුවන් යානයක් අඩි 24,000 ක් ඉහළ අහසේදි එකවරම අතුරුදහන් වී තිබුනා. ඇමෙරිකාවේ මියාමිහි ගුවන් පාලක මධ්‍යස්ථානයේ රේඩාර් පද්ධතියෙන් නොපෙනී ගිය මෙම යානයේ කොටස් පසුව හමුවී තිබුනා. පසුගිය 2019 වසරේදීද මෙම කලාපයේදි ගුවන් යානා අනතුරු 3ක් සිදුවී ඇති අතර අවසන් සිදුවීම ලෙස 2019 අගෝස්තු 8 දින Piper PA-32 ගුවන් යානයක් Bimini ප්‍රදේශයට සැතම්පුම් 20ක් නැගෙනහිර මුහුදේදි කඩා වැටී ඇත.

සවන් වංසජ මාපලගම
ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය