Loading...
ඒ කාලේ අපි play කරපු සුපිරි computer games 10 ක්

දැන් තියෙන ගේම්ස් වගේ තමයි ඉස්සර අපි ප්ලේ කරපු computer games. මේ තියෙන්නේ ඒකෙන් ගොඩක් ජනප්‍රිය උන ගේම්ස් 10ක්

1. Mortal Kombat 4

මෝර්ටල් කොම්බැට් කියන්නේ අපි පිස්සුවෙන් වගේ ගහපු ගේම් එකක්. ඒකේ ස්ටෝරිලයින් එක හොයාගත්තේ මෝර්ටල් කොම්බැට් චිත්‍රපටි වලින් වුනත් ගේම් එක කිසිසේත්ම බෝරින්ග් වුනේ නෑ. කරන්න තිබුනේ එක එක විදියේ පවර්ස් තියෙන, හොඳට ගහගන්න පුලුවන් වීරයෙක්ව හරි දුෂ්ටයෙක්ව හරි ‍තෝරගෙන, ඉන් පස්සෙ තමන්ගේ හැකියාවට හරියන ටවර් එකක් ‍තෝරගෙන, ඒකේ ඉන්න උන්ව ගහලා ගහලා පරද්දමින් උඩට යන්න තමයි.

හැබැයි කොයි ටවර් එක ‍තෝරගත්තත් හැම ගේම්කාරයම කොර වෙන තැනක් එනවා. ඒ තමයි ගෝරෝ එක්ක තියෙන ෆයිට් එක. අත් හතරේ ගෝරෝ එක්ක ගහගෙන එතනින් උඩට ගිහින් ෂිනොක් වත් පරද්දන්න පුලුවන් කියන්නේ ඔබ මෝර්ටල් කොම්බැට් කාලා ඉන්න පොරක් කියන එක තමයි. ගෝරෝට ඉතින් එක පාරක් අහුවුනොත් ඉවරයි. නිල් වෙන්නම කන්න වෙනවා.

මෝර්ටල් කොම්බැට් එක්ක තිබුණු අනික් ආස කරනම සීන් එක තමයි ෆේටැලිටි. ඒ කියන්නේ ප්‍රතිවාදියාගේ හෙල්ත් බිංදුව වෙන්නම ගැහුවට පස්සේ සාමාන්‍ය හයි කික් එකකින් වැඩේ ඉවර කරනවා වෙනුවට චීට් ඔන් කරලා ෆේටෑලිටි මූව් එකකින් ගේම ක්ලෝස් කරන්න පුලුවන්. හැබැයි ප්‍රතිවාදියාගේ පපුව පලලා හදවත ගලවලා ගන්නවා වගේ, බෙල්ල මුලින් කඩලා ගන්නවා වගේ ලේ විසිවෙන සීන් එකක් තමයි ෆේටෑලිටි මූව් එක. බලං ගියහම පොඩි එවුන්ට ගැලපෙන්නෙ නැති තරමට හෙණ ප්‍රචණ්ඩ සීන් මෝර්ටල් කොම්බැට් එකේ තිබිලා තියෙන්නේ.

2. Need For Speed

තාමත් එක වගේ ජනප්‍රිය නීඩ් ෆෝ ස්පීඩ්, එහෙම නැත්තං අපි හැමෝම කිව්ව විදියට NFS කියන්නේ වේගවත් මෝටර් රථ ධාවන ක්‍රීඩා වලට පිස්සු වැටිලා හිටපු අපේ ගේම් සීරීස් එක. ජීවිතේට කාර් එකක ස්ටියරිං වීල් එක අතින් අල්ලලා නොතිබුණු අපි ඒ කාලේ ඩ්‍රැග් රේස්වලටත් ගියා NFS පිහිටෙන්. ඒ කාලේ කාර් එක හප්පගන්නෙ නැතුව NFS රේස් ඉවර කරන්න නං බැරි එවුන්ව සමාජෙන් කොන් වෙන සීන් එකක් තිබුණේ!

මුල් NFS ගේම් වල තිබුණා කැඩිච්ච, තැලිච්ච කාර් සල්ලි දීලා අරගෙන ඒවා ඉන් පස්සෙ හදලා විකුණලා සල්ලි හොයන සීන් එකක්. අපරාදේ පස්සෙ NFS ක්‍රීඩා වලින් ඒක අයින් වුනා. ඊට පස්සෙ ආවා ඔන්න NOS පිස්සුව. NOS දැම්මහම මුළු වටපිටාවම බොඳ වෙන වේගෙකින් යන එකේ තිබුණු ත්‍රිල් එක කියන්න වචන නෑ. ඒ කාලේ ඔය NOS කියන්නෙ මොන මගුලක්ද කියලා දැනගෙන හිටියෙ නෑනේ. අපේ එක පණ්ඩිත යාලුවෙක් කිව්වා කියහන්කෝ NOS කියන්නේ නයිට්‍රජන්, ඔක්සිජන් සහ සල්ෆර් මික්ස් එකක් කියලා! දැන් තමයි දන්නේ NOS කියන්නේ නයිට්‍රස් ඔක්සයිඩ් සිස්ටම් එකටයි කියලා.

3.  Age of empires

අපිට කම්පියුටර් අල්ලන්න ලැබුණු කාලේ අපිට තිබුණු සුපිරිම ස්ට්‍රැටජි ගේම් එක වුනේ Age of empires තමයි. මොනවද ඉතින්, මුලින් මිනිස්සු දම්මලා ගස් ටිකක්, කෑම ටිකක්, ගල් ටිකක්, රත්තරං ටිකක් එකතු කරගත්තා. ඔහොම ඉකොනොමි එක පොඩ්ඩක් ගොඩ දාගත්තට පස්සේ යුද්ධ සේනාවක් හදාගන්න තමයි තියෙන්නේ. සේනාව හදාගත්තට මදි, තමන්ගේ ටවුම ආරක්ෂා කරගන්නත් ඕන. ඒකට මුර අට්ටාල ටිකක් හදලා, බලකො‍ටුවක් දෙකක් බැඳලා, මැප් එකේ හරහට තාප්පයක් දෙකක් එහෙම දාගත්තහම හරි.

දැන් ඔය ටික කරනකනුත් කවුරුත් ගේමට ආවේ නැත්තං තියෙන්නේ එලියට බැහැලා ගේම ඉල්ලන්න තමයි. තමන්ගේ සේනාව අරගෙන ගිහින් ඔය අහල පහල තියෙන ටවුමකට ගහලා අල්ලගන්න තමයි තියෙන්නේ. හැබැයි මෙහෙම කියන තරං වැඩේ ලේසි නෑ. ගොඩක් වෙලාවට අවංකෙන්ම ගේම් එක ගහගෙන ආවනං තාප්ප හදලා ඉවර වෙනකොට තාප්ප කඩන්නත් අල්ලපු ගං වලින් චණ්ඩි සෙට් පිටින් ඇවිල්ලා තියෙන්න පුලුවන්.

Age of empires දිනන්න නං එක එක ක්‍රම තියෙනවා. හැබැයි ආතල්ම ක්‍රමේ තමයි මුළු මැප් එකම අල්ලගෙන දිනන එක. දැන් ඔය ඔක්කොම විනාඩි පහෙන් කරන්න බෑ. ඉතින් එහෙම වෙලාවට අපි කරන්නේ හොර හිත පහළ කරන් චීට් කෝඩ් වලින් ගේම ගොඩදාන එක තමයි. අනික් එවුන් හැරෙන්නත් කලින් ගල්, රත්තරං, කෑම, ගස් එහෙම චීට් වලින් පහළ වෙනකොට අපිට තියෙන්නේ ආමි එක රෙඩි කරගන්න විතරයි. එහෙම නැත්තං කියන තැනට ගිහින් සතුරට ගල් විදලා විනාස කරන කෝබ්‍රා කාර් එකක් වුනත් චීට් වලින් ලබාගන්න පුලුවන්. හැබැයි ගේම් එකේ නියම ත්‍රිල් එක නං ඒකෙන් ලැබෙන්නෙ නෑ.

4.  Virtua Cop 2

ෆාස්ට් ගියර් එකේ වෙඩි තියාගෙන තියාගෙන යන්න කැමති අය්යලට මල්ලිලට මෙන්න තියෙනවා Virtua Cop 2 හෙවත් V-Cop 2. මේ කාලේ ගහපු අනික් ගේම් එක්ක බලනකොට බැලූ බැල්මට සරලයි. අපිට මේ පොලිස්කාරයා යන එන විදිය පාලනය කරන එක අදාළම නෑ. තියෙන්නේ කෑලි හැලෙනකං වෙඩි තියන්න විතරයි. ඒකට මවුස් එක විතරයි ඕන. හැබැයි අපිට වෙඩි තියන්න ත්‍රස්තවාදී අය්යලා කොහෙන් කොහෙන් මතුවෙයිද කියන්න බෑ. ත්‍රස්තවාදියෙක් මතුවෙලා තත්පරයක් විතර ඇතුළත් ඌ අපිට වෙඩි තියනවා. එතකොට ඒ තත්පරෙන් හිතලා අපි වෙඩි තියන්න ඕන.

මෙහෙම කිව්වට ත්‍රස්තවාදියෝ දෙන්නෙක් තුන්දෙනෙක් හතරදෙනෙක් මතුවෙන වෙලාවලුත් තියෙනව. ඒ වගේ වෙලාවක අපි එකෙක්ට වෙඩි තියනකොට අනිකා අපිට වෙඩි තියන්න පුලුවන්. ඇත්තටම මේ V-Cop 2 ගේම් එකේ රහස තමයි ප්‍රැක්ටිස් එක. ඒ කියන්නේ එක පාරින් ගේම් එකේ සම්පූර්ණ ලෙවල් එකක් ක්ලෝස් කරලා දාන්න සක්කරයගෙ පුතා වයිමටවත් බෑ. හැබැයි දෙතුන් පාරක් ගහනකොට මීටර් වෙනවා තුන් හතර දෙනෙක් ඉන්නකොට කවුද මුලින් වෙඩි තියන්නේ, කාර් දෙක තුනක් ලුහුබැඳගෙන යනකොට කොයි කාර් එක පුපුරන්න වෙඩි තිබ්බහමද සෙට් එකම දඩෝරියං වෙන්නේ වගේ සීන්. ඔහොම හරි ප්‍රැක්ටිස් එක තියෙන කෙනාට අන්තිමට එන බොස්ලටත් දඩබඩ ගාලා වෙඩි තියලා ඉවර කරලා දාන්න පුලුවන්.

කොහොම වුනත් V-Cop 2 දහ පාලොස් පාරක් ගැහුවත් ඇති වෙන්නේ නෑ. ඒ තරමට මේකේ වේගවත් භාවයත් එක්ක ලැබෙන උත්තේජනය වැඩියි. මේකේ හිටපු ගමන් මැග්නම් රිවෝල්වර් වගේ සුපිරි භාණ්ඩත් හම්බුවෙන තැන් තියෙනවා. හැබැයි එක වෙඩිල්ලක් අපිට වැදුනු ගමන් ඒවා නැතිවෙන නිසා එක වෙඩිල්ලක්වත් අපිට වදින්නෙ නැතුව ගොඩදාන්න තමයි මේකට වහ වැටිලා හිටපු අපි ට්‍රයි කලේ.

5. Delta Force 3

ඔහොම කිව්වට ඉතින් දැං කාලේ තියෙන First person shooter ගේම් එක්ක බලනකොට මේකේ ලොකු දෙයක් නැති වුනත් ඒ කාලේ අපිට මේ තරම් සුපිරි ගේම් එකක් තව තිබ්බේ නෑ. මේකේ තිබුණේ නියම හමුදා මිෂන්. හැබැයි Delta Force 2 එකට වඩා ග්‍රැ‍ෆික් වලින් වගේම අනෙක් හැම පැත්තෙන්ම Delta Force 3: Land Warrior මරු. මේකේ තියෙන එක එක මිෂන් වල ප්‍රාණ ඇපකරුවෝ මුදාගන්න වගේ සීන් තිබුණත් ඇත්තටම මේ මිෂන් ඔක්කොම දිව්වේ තනි ස්ටෝරි ලයින් එකක.

මිෂන් 30 ඔස්සේ අප්‍රිකාව, ඊජිප්තුව, දකුණු ඇමරිකාව වගේ රටවල් ගණනාවක් හරහා යන මේ ගේම් එකේ එක එක මිෂන් වලට තිබුණු එක එක තුවක්කු ජාති හින්දා හමුදාවට බැ‍ඳෙන්න ආසාවෙන් හිටපු යාලුවොත් හිටියා. හැබැයි මේකේ හැම මිෂන් එකකම යකා වගේ වෙඩි තියාගෙන තියාගෙන ගිහින් ඉවර කරන්න බෑ. සමහර ඒවල හොරෙන් ගිහින් වැඩේ දීලා හොරෙන්ම එන්න ඕන. මේකෙ තිබුණු පොඩි අවුලක් තමයි හතුරෙක්ගේ කකුලේ ඇඟිල්ලකට වෙඩි තිබ්බත් ඌ මැරිලා වැටෙන එක!

6. Project IGI (I’m going in)

Delta Force එහෙම ගහලා එනකොට තමයි අපිට හම්බුවෙන්නේ Project IGI. එතන ඉඳන් ඉතින් පිස්සුවෙන් ගැහුවේ සම්පූර්ණ මිෂන් ටික ඉවර වෙනකල්. ඇත්තටම කිව්වොත් කියන්නේ කම්පියුටර් ගේම් එකක් විදියට අඩුපාඩු ගණනාවක් තියෙන වැඩක් වුනත්, අපිට ඒවා අදාළ වුනේ නැත්තේ සමහරවිට ඒ කාලේ ගහන්න ලැබුණු අනෙක් ගේම් එක්ක බලනකොට මේකේ ග්‍රැ‍ෆික් වල තිබුණු කොලිටිය, හතුරන්ගේ බුද්ධියේ රියල් බව සාපේක්ෂව වැඩි වීම වගේ කාරණා නිසා වෙන්න ඇති.

මේකත් අර හතර අතේ තුවක්කු වනාගෙන ගහන්න පුලුවන් ගේමක් නොවීමත් කොලිටිය වැඩි වෙන්න හේතුවක්. හොරෙන් ගිහින් වැඩේ ගොඩදාන්න තියෙන අවස්ථා ඕනෑ තරම් මේකේ තිබුණා. අනෙක් එක මේ ගේම් එකේ ඔබ්ජෙක්ටිව්ස් කීපයක්ම සම්පූර්ණ කරන්න වෙනවා වගේම සමහර වෙලාවට එක ඔබ්ජෙක්ටිව් එකක් සම්පූර්ණ වෙන්න නම් ඊට කලින් ඔබ්ජෙක්ටිව් දෙකක් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ගේට්‍ටුව ඇරලා පැනලා යන්න නං මුලින් ගේට්‍ටුවට පවර් එක දෙන ජෙනිය ඔන් කරලා, කැමරා සිස්ටම් ඩවුන් කරලා එන්න ඕන වගේ සීන් මේකේ තියෙනවා.

අපේ සමහර එවුන් එක එක තුවක්කු ජාති අඳුනගන්න පටන් ගත්තෙත් Project IGI ගේම් එක ගහලා. දැං ඔය ජැක්හැමර් කියන ෂොට්ගන් තුවක්කුව, එතකොට ඩෙසර්ට් ඊගල් කියන පිස්තෝලේ එහෙම මතක් වෙන්නේ Project IGI ගේම් එකෙන් තමයි. හැබැයි මේකේ තිබුණු තුවක්කු වල පොඩි පොඩි අවුලුත් තිබුණා. උදාහරණයක් විදියට කියනව නං මේකේ තියෙන රුසියන් ඩ්‍රැගනොව් ස්නයිපර් එක ෆුල් සයිලන්ස්, මීක් නෑ. ඔය වගේ අවුල් ගොඩක් හදාගෙන තිබුණා මේකේ දෙවෙනි ගේම් එක වෙන Project IGI: Covert Strike එනකොට.

7. GTA Vice city

දැං ඔය ඉන්න ඇච්චො බැච්චො පොඩි වුන් තග් ලයිෆ් කියල යකඩ කෑලි එල්ලගෙන, කුණුහරුප කියාගෙන ‍රැප් කරලා ෆේස්බුක් දැම්මට අපි තග් සීන් එකට එන්ටර් වුනේ ඔයිට බොහොම ඉස්සර. ඔය වහලවල් උඩ නෙවෙයි අපි ගේම් වලට බැස්සේ, කෙලින්ම මියාමි බීච් එකේ ඉඳන්. ඒ පැත්තෙන් අහලා බැලුවනං කියයි ආයි අපි හෙලිකොප්ටර් කීයක් රේල් ගන් එකෙන් වෙඩි තියලා ඩවුන් කරල තියෙනවද කියලා. එතකොට සුපිරි කාර් කීයක් මූදට ලෑන්ඩ් කරලා තියෙනවද! කාර් එකක් වුනත් අපි එහේ ලෝ-ජැක් කර කර වදවෙන්නෙ නෑ. පාර මැද්දට පැන්නා, ආස කාර් එකකට අත දාලා නැවැත්තුවා, කාර් එකේ ඩයිවර්ට කණට දෙකක් ගහලා ඇදලා දැම්මා, කාර් එකත් අරන් ගියා. හරිම සිම්පල්. ඔව් ඉතින්, මෙහේ නෙවෙයි තමා. ඔය ඔක්කොම සෙල්ලං දැම්මේ වයිස් සිටි එකේ.

GTA Vice City කියන්නේ සෑහෙන්න දිග ස්ටෝරි ලයින් එකක් එක්ක පදනම් වුණු මිෂන්ස් ගණනාවක් තියෙන ගේම් එකක් වුනත්, ඒකේ තිබුණු Open world ගතිය හින්දම අපි මේ ගේම් එකේ උපරිම ආතල් එක ගත්තේ බලෙන් සුපිරි කාර් පැහැරගෙන, ඉන් පස්සේ ඒවලින් උපරිම වේගෙන් ගිහින්, වෙන ගැන්සි අල්ලගෙන තියෙන ‘ඒරියල්ස්’ වලට ගිහින් ගේම ඉල්ලලා, අනික් ගැන්සි කුඩු කරලා දාලා වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් තමයි. හැබැයි පුතාලා, මැරුම් නොකා මේ හැමදේම කරන්න නං දැනගෙන ඉන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි චීට් කෝඩ්ස්!

කොහොම වුනත් ගේම් එකක් ඇතුලේ හරි රියල් තග් පොරක් වෙන්න නං අනිවා අපි රෙකමන්ඩ් කරන්නේ වයිස් සිටි යන්න කියලා තමයි!

8 . Max Payne

මෙට්‍රික්ස් ‍ෆිල්ම් එක බලලා තිබුණු අපිට අර නියෝ ස්ලෝ මෝෂන් බුලට් මග අරින සීන් එක කොයි තරං මාර වුනාද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි ඉන්පස්සේ මැක්ස් පේන් ගේම් එකත් එක්ක මේ Bullet time ඉෆෙක්ට් එක ඇත්තටම අත්හදා බලන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ කාලේ මැක්ස් පේන් ගේම් එක ගැන තව කාටහරි කිව්වෙත් ‘මෙට්‍රික්ස් එකේ තියෙන ස්ලෝ මෝෂන් බුලට් මග අරින සීන් එක තියෙන ගේම් එක’ කියලා තමයි.

මේ ගේම් එක ප්ලේ කරන විදිය ඇරුණහම කතාවත්, ග්‍රැ‍ෆික් සහ පසුබිමත් වෙනස්ම අත්දැකීමක් ගෙනවා කිව්වොත් හරි. තමන්ගේ මුළු පවුලම ඝාතනය වුණු නිව්යෝර්ක් රහස් පරීක්ෂකයෙක් පළි ගැනීමේ මෙහෙයුමක යෙදෙන විදිය ආවරණය වුණු කථා රේඛාවක් තිබුණු මේ ගේම් එක පසුබිම් කරගත්තු අඳුරු, ශෝකජනක ස්වභාවයත් එක්ක අපිටත් මැක්ස් පේන්ගේ වේදනාව දැනුණා. එතකොට ග්‍රැ‍ෆික් නවල් වල වගේ තිබුණු කට් සීන් සහ ඇනිමේෂන් වුනත් අමුතුම ගතියක් ගේම් එකට ගෙනාවේ. අනික මැක්ස් පේන් ගේම් එකේ අනික් ගේම් වල වගේ බැලූ බැලූ අත හම්බුවෙන තුවක්කු සහ හෙල්ත් නැති, හරිම රියල් ගතියක් තිබීමත් මේ ගේම් එක එක්ක බැ‍ඳෙන්න එක හේතුවක්.

9. SimCity 3000, SimCity 4 – දෙය්යෝ මමයි!

සිමියුලේටර් ගේම් ගැන ඒ තරං වැටහීමක් නැති වුනත් ඒ කාලේ කඩු පයිට් ගේම් වලින් හෙම්බත් වුනාට පස්සෙ හැරුණේ සිම් සිටි ගේම් දිහාට තමයි. මේ ගේම් එකේ අපිට දැනෙන්නම තිබුණු ආතල් එක වුනේ මේ සිම් සිටි එක ඇතුළේ දෙය්යෝ අපිය කියන සීන් එක තමයි. ඒ කියන්නේ ගෙවල් දොරවල් මවන්න විතරක් නෙවෙයි, මිනිස්සුත් මවන්න පුලුවන් අපිට ඕන විදියට. ඒ විතරක්ද, මැවුවට පස්සේ ඒ මිනිස්සු කරන කියන දේවලුත් තීරණය කරන්නේ අපි.

සමහරවිට ගේම් එක ඇතුලේ ඉන්න මිනිස්සු හිතාගෙන ඉන්නවා ඇති තමන්ට ඕනෑවට තමයි අලුත් සෙටප් එකක් ගත්තේ, එහා ගෙදර ගෑල්ලමයට බැල්ම දැම්මේ, ගිනිනිවන හමුදාවේ වැඩට යන්න තීරණය කලේ කියලා. ඒත් අපි දන්නවා මේ එක දෙයක්වත් උන් හිතලා ගත්තු තීරණ නෙවෙයි, අපිට ඕන හින්දා ගත්තු තීරණ කියලා. මොලේ පොඩ්ඩක් කොලොප්පං වෙනව නේ එහෙම හිතනකොට? හැබැයි ඒ කාලේ ඔහොම ‍ෆිලොසො‍ෆි සීන් හිතල නෙවෙයි සිම් සිටි ගහන්න ගත්තේ. දෙය්යන්ගේ රෝල් එක ප්ලේ කරන එකේ තියෙන ආතල් එකට!

විශේෂයෙන්ම SimCity 4 ගේම් එක ගහනකොට ඔය තමන්ට ඕන විදියට ටවුන් එකක් හදන එකේ ආතල් එක උපරිමේටම දැනුනා. ඇත්තටම, ගේම් එක ඩිවලොප් කරපු එවුන් දීලා තියෙන සීමා යටතේ තමයි අපිත් සෙල්ලං දාන්න ඕන, ඒත් ඒකත් ඇති. හැබැයි මේක ඔය වෙඩි තියන ගේම් වලටත් වඩා සෑහෙන්න අභියෝගයක් වුනා. ඒ වගේම මේ ගේම් එක සෑහෙන්න කාලයක් ගත වෙන වැඩක්. හැබැයි ඉතින් වුනේ දීලා තියෙන හිස් බිමක් අපිට ඕනේ විදියට වෙනස් කරලා, ඒකේ නගරය හදන්න පටන් අරගෙන, මහ පාරවල්, රේල් පාරවල්, උමං දුම්රිය පාරවල්, ගෙවල්, ගොඩනැඟිලි වගේ හැමදෙයක්ම හදලා,මිනිස්සුත් හදලා මිනිස්සුන්ව අපිට ඕන විදියට මෙහෙයවලා සුපිරි නගරයක් නිර්මාණය කලාට පස්සේ ගේම් එක ගහන්න කම්මැලි හිතෙන එක තමයි.

10. EA Cricket

කම්පියුටර් හම්බුනාට පස්සෙ ඉතින් හැමදාම කොල්ලො සෙට් එකත් එක්ක ක්‍රිකට් ගැහිල්ලත් අඩු වුනානේ. හැබැයි ඒ අඩුව මකාගන්න හම්බුණු සුපිරි ගේම් එකක් තමයි මේ EA Cricket සීරීස් එක. Cricket 2000 වල වගේ ඉඳන් තමයි මේ ගේම් එක අපි අතරෙ ජනප්‍රිය වේගෙන ආවෙ. ඊට පස්සෙ අවුරුද්දකට දෙකකට සැරයක් 2002,2004,2005 සහ 2007 වශයෙන් අලුත් වර්ෂන් එළියට ආවා. කාලෙත් එක්ක කියන්න තරම් ගේම් ප්ලේ එකේ දියුණුවක් නැති උනත් මේ ගේම් එකට තියන පිස්සුව නම් අඩුවුනේ නැහැ.

මේකෙ ආතල් එක තියෙන්නෙ ගේම් එක පටන් ගත්ත ගමනුයි. මුලදි පට්ට ගේමක් දීල තමයි ලකුණු 10ක් 15ක් උනත් ගහන්න වෙන්නෙ. හැබැයි මේක පිස්සුවෙන් වගේ දවසක් දෙකක් ගහගෙන යද්දි හාඩ් මොඩ් එකෙන් උනත් ඕවරේකට හයේ ඒව තුන හතරක් ගහන එක අමාරු වැඩක් නෙමෙයි. අන්න එතනදී ගේම් එක ටිකක් බෝරිංග් වෙනවා. එතකොට කරන්නේ පොතේ හැටියට විවිධ පාරවල් ට්‍රයි කරලා බැටිං ස්ටයිල් ගොඩ දාගන්න උත්සාහ කරන එක තමයි.

මේකේ ග්‍රැ‍ෆික් වුනත් කාලයත් එක්ක එච්චර දියුණු වුනේ නෑ. අපේ ක්‍රීඩකයින්ගේ නම් වලින් තිබ්බේ මේ ලෝකේ සමානකමක් නැති මූණු. ඔක්කොටම වඩා ක්‍රීඩකයන්ගෙ නම් උනත් හෙන වැරදි තිබ්බා. Dolsten, Sangappora වගේ නම් දෙකක් තමයි දිල්ෂාන් සහ සංගක්කාරට ගේම් එකේදි දීල තිබ්බෙ. ඊට අමතරව රිචී බෙනෝගෙ ඒකාකාරී කමෙන්ට්‍රියත් මරුම ආතල්. දුවද්දී දැවීයාමක් වෙන හැම වෙලේම “ෆූලිෂ් රනින් සිම්ප්ලි ත්‍රෝවිං විකට්ස් අවේ” කියල කියන වචන සෙට් එක මතක් වෙද්දි අදටත් මේ ගේම් එක ගහපු සුන්දර කාලෙ මතක් වෙනවා.