Loading...
SIM කාඩ්පතේ වර්තමානය (eSIM) සහ අනාගතය (iSIM)

තාක්ෂණික දියුණුවත් සමග අප සියල්ලන්ටම ස්මාර්ට් දුරකථනයක් භාවිතා කිරීමට සිදුවීම 2022 වසර වන විට අතිශය සාමාන්‍ය කාරණාවක් වී ඇත. දුරකථන ඉතිහාසය පිළිබඳව සැලකීමේ දී ජංගම දුරකථන සඳහා එයට අවශ්‍ය සන්නිවේදන ආවරණය ලබා ගැනීම සඳහා SIM Card දුරකථනයට අත්‍යාවශ්‍ය කොටසක් බවට පත් වීම නූතනයේ සුලභ දසුනකි.

SIM එකක් යම් පුද්ගලයෙකු සඳහා අනන්‍ය සාධකයක් වන අතරම මෑත කාලයේ එම SIM වලට ආදේශකයක් වශයෙන් තාක්ෂණික දියුණුවත් සමග eSIM භාවිතයට නැඹුරු වීම සඳහා දුරකථන නිෂ්පාදන සමාගම් කටයුතු කරමින් පවතී. එයට කදිම උදාහරණයක් වශයෙන් මෑතකදි නිකුත් වූ Apple iPhone 14 දුරකථන පෙළ සඳහා ඇමරිකාව තුල​දී eSIM දෙකක්ම භාවිතා කිරී​මේ පහසුකම අන්තර්ගත කර ඇත.

එසේම මෙම eSIM වලටත් ඔබ්බට යන්නාවූ iSIM භාවිතය පිළිබඳව කරලියට පැමිණෙන්නේ මෙම කාලය තුළ දී ය. මෙම ලිපිය තුළින් Android වැඩකාරයෝ පාඨක ඔබ සඳහා එම තාක්ෂණික කරුණු කිහිපය පැහැදිලි වනු ඇත.

SIM Card එකක් යනු කුමක් ද?

1991 වසරේ ජර්මනියේ නිශ්පාදිත පළමු SIM කාඩ්පතේ සිට 2022 වන විට එක ප්‍රමාණයෙන් කුඩා සහ තාක්ෂණිකව දියුණුවට පත් වූ උපාංගයක් වී අවසානය. SIM යන්නෙන් අර්ථ දැක්වෙන්නේ Subscriber Identity Module නැතිනම් යම් පරිශීලකයෙකුගේ අනන්‍යතාවය අන්තර්ගත තාක්ෂණික මෙවලමක් ලෙසයි.

SIM කාඩ්පතක් සලකන විට එය තුළ සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් ගබඩා කළ හැකි අතරම ඒ අතරට එම කාඩ්පත හිමි පුද්ගලයාගේ දත්ත, දුරකථන අංක වැනි දේවල් අන්තර්ගත වේ. එයට අමතරව දුරකථන භාවිතා කරනු ලබන පුද්ගලයා හට SMS හා වෙනත් පණිවුඩ මෙන්ම අන්තර්ජාල පහසුකම් අත්විඳීමටත්, ඇමතුම් ලබා ගැනීමටත් මෙම SIM මගින් පහසුකම සලසයි.

SIM කාඩ්පත් වල මෙතෙක් ආගමනය

SIM සැලකීමේ දී මෙතෙක් ගත වූ කාලය තුළ SIM කාඩ්පත් සඳහා ප්‍රධාන ආකාර තුනක් පැවතීය. එනම් Standard SIM, Micro SIM සහ Nano SIM වේ. මෙම SIM විවිධ කාල වලදී වෙළඳපොල වෙත නිකුත් වූ අතර ඒවා විවිධ ප්‍රමාණයන් ගෙන් යුක්ත විය. ඉහත සඳහන් සටහන නිරීක්ෂණය කරන ඔබට ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබේ.

තාක්ෂණික දියුණුවත් සමග SIM සඳහා පැමිණි නවතම ආදේෂකය ලෙස eSIM හඳුන්වා දිය හැකිය. පහත කොටසින් ඒ පිළිබඳව විග්‍රහ වේ.

eSIM පිළිබඳව කෙටියෙන්...

මේ වන විට භාවිතා කරනු ලබන SIM කාඩ්පත් භාවිතයේ අපහසුතාවලින් තොර වීම සඳහ මෙම eSIM හඳුන්වා දීම සිදුවිය. eSIM ලෙස හඳුන්වන්නේ Embedded SIM හෝ ඒmbedded Universal Integrated Circuit Card යන්නයි. මෙම eSIM භාවිතා කිරීම සඳහා එයට පහසුකම් සහිත දුරකථනයක් භාවිතා කිරීම අනිවාර්යය වේ.

මෙම eSIM ඊට පෙර පැවති Standard SIM වලට සාපේක්ෂව ඉතා කුඩා වන අතර එමගින් දුරකථනයේ Hardware සඳහා වැය වන ඉඩ ප්‍රමාණය අවම කර ගත හැකිවේ. මේ වන විට වෙළඳපොලට නිකුත් වන නවතම දුරකථන බොහෝමයක් සඳහා eSIM පහසුකම පවතී.

මේ වන විටත් Dialog Axiata, SLTMobitel සහ Hutch Sri Lanka සමාගම් විසින් eSIM පහසුකම ලබා දීම ආරම්භ කර තිබෙන අතර මෙම සබැඳිය ඔස්සේ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට ලබා ගත හැකි වනවා.

iSIM පිළිබඳව කෙටියෙන්...

මේ වන විට පවතින නවතම SIM වනුයේ iSIM වේ. මෙය බොහෝ දුරට eSIM වලට සමානකමක් දක්වන නමුත් මේ සඳහා දුරකථනයේ වෙනම් Processor එකක් මෙන්ම අනෙකුත් Hardware හි අවශ්‍යතාවය පවතී. එමනිසා මෙය eSIM වලට වඩා ඉතාමත් කාර්යක්ෂම වන අතර උපාංග කිහිපයක් ඔස්සේ භාවිතා කිරීමට ද හැකියාව ඇත.

iSIM සඳහා අනෙකුත් SIM මාදිලි වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ තාක්ෂණයක් යොදාගෙන ඇති බැවින් දුරකථනයේ බැටරිය සඳහා සිදුවන බලපෑම අවම කර ඇත. එහි දී මේ සඳහා 70% ක පමණ බැටරියේ ශක්ති ඉතිරියක් බලාපොරොත්තු වන බව නිශ්පාදක සමාගම් සඳහන් කරයි.

මෙම SIM භාවිතා කිරීමේ දී හටගන්නා ප්‍රධාන කරුණක් වන්නේ එහි වූ ආරක්ෂාව සම්බන්ධ කාරණාවයි. මේ වන විට බහුතරයක් භාවිතා කරනු ලබන Standard SIM හි ආරක්ෂාව සම්බන්ධව පරිශීලකයන් වෙත මතභේදාත්මක තත්ත්වයන් උදා වීමට බොහෝ අවකාශයන් පවතී. නමුත් eSIM සහ iSIM සලකා බලන විට එම කරුණ තරමක් දුරට අවම වේ. එනම් පරිශීලකයන් හට දුරස්ථව වුව ද තම eSIM හා iSIM පාලනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් ඒ සම්බන්ධ වූ ආරක්ෂාව පිළිබඳව ඇති අවදානම තරමක් දුරට අඩුවනු ඇත.

සාරාංශය.

ඉහත සඳහන් පරිදි නව තාක්ෂණයේ දියුණුවත් සමග අප වෙත ලැබී තිබෙන අවස්ථාවන් අතරිම මෙම නවතම eSIM සහ iSIM භාවිතය ඉදිරියේදී අප රට පුරා වුව ද ප්‍රචලිත වීමට ඉඩකඩ ඇත. එමෙන්ම මෙලෙස ලැබෙන පහසුකම් හේතුවෙන් අප රට තුළ වූ සේවා සපයන්නන් සියල්ලන්ම පාහේ මෙම පහසුකම් සඳහා හැඩගැසෙනු ඇති බවට අප හට බලාපොරොත්තුවක් තබාගත හැකි වේ.

කෙසේ නමුත් වඩාත් ආරක්ෂාකාරීව මෙන්ම නව අත්දැකීම් සමුදායක් රැස්කර ගැනීමට මෙම eSIM සහ iSIM භාවිතය මනා අවස්ථාවක් බවට පත් කර ගැනීමට පරිශීලකයන් හට ඉඩප්‍රස්ථාව ඇත. මේ ඔබගේ අදහස් සඳහා පහත Comment කරන්න අමතක කරන්න එපා.

Sources: www.simoniot.com www.androidpolice.com