Loading...
Social Media වල අපි නොදන්න තහනම - ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව සමාජ මාධ්‍යන් වල පල කල නොහැකි දෑ

අපි හැමෝම එදිනෙදා ජිවිතයේ වැඩි වශයෙන්ම කාලය යොමු කරන සමාජ මාධ්‍යවල හිතෙන හිතෙන සෙල්ලම් කරන්නට හැකියාවක් අපිට තියෙනවද, සමාජ මාධ්‍ය හමුවේ අපි පල කරන දේ අතර ලංකාවේ නීතියෙන් තහනම් දේ මොනවද යන්න අපි විමසා බලමු.

01. බුද්ධිමය දේපළ පනතට පටහැණි වන්නා වූ පළකිරීම්

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 6 වන වගන්තිය යටතේ ආරක්‍ෂිත කෘති ලෙස සැලකෙන කෘතියක කතුවරයාගෙන් හෝ නිර්මාණ ශිල්පියාගෙන් ලබාගත් නිසි අවසරයකින් තොරව එම කෘතියක් හෝ ඉන් සැලකිය යුතු කොටසක් පළකිරීම ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීමකි.

02. අසභ්‍ය ප්‍රකාශන

අසභ්‍ය ප්‍රකාශන පළකිරීම් සම්බන්ධව පනත් දෙකක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. ඒ සම්බන්ධව පවතින පනත වන්නේ දණ්ඩ නීති සංග්‍රහයයි. දණ්ඩ නීති සංග්‍රහයේ 285 වන වගන්තියට අනුව අසභ්‍ය පොතක්, පත්‍රිකාවක්, පත්‍රයන් ඇඳීමක්, චිත්‍රයක්, ඡායාරූපයක්, නිරූපණයන් හෝ රූපයක්, මහජන ප්‍රදර්ශනයට තැබීම වරදකි.

එසේම 1927 අංක 4 දරන අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතට අනුවද අසභ්‍ය චිත්‍ර, ඡායාරූප, වීඩියෝපට බෙදාහැරීම හා මහජන ප්‍රදර්ශනය වරදකි. ඒ අනුව ඉහත කී නීතිමය ප්‍රතිපාදනයන්ට යටත් වන පළකිරීම් තම සමාජ ජාලා මගින් බෙදාහැරීමෙන් වැළකිය යුතුය.

03. අධිකරණයට අපහාසයක් වන පළකිරීම්

අධිකරණයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  105 /3' ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව අභියාචනාධිකරණයට හෝ පහල අධිකරණවලට අදාළව අධිකරණය ඉදිරියේ හෝ අන් ස්ථානයකදී සිදුකරනු ලබන අපහාස කිරීමක් සම්බන්ධව නඩු විභාග කිරීමේ බලය ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව නඩු විභාග කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

අධිකරණයට අපහාස කිරීම යන්න නිශ්චිතව අර්ථගන්වන ලිබිත නීතියක් නොමැති අතර, එය නඩු විභාගයකදී අවස්ථානුකූලව තීරණය කරනු ලබයි.

04. ආගමකට අපහාස වන හෝ වාර්ගික වෛරය පතුරුවන  ප්‍රකාශන

ආගමකට අපහාසයක් සිදුකරන ආකාරයේ හෝ ආගමික හෝ වාර්ගික වෛරය පතුරුවා හරින ආකාරයේ ප්‍රකාශනයන් නීතිවිරෝධී  බව සඳහන් වන පනත් හතරක්  ශ්‍රී ලංකා නීති පද්ධතියේ දක්වා ඇත.

  1. 2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය පනතේ 3 වන වගන්තියට අනුව  යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට  එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුකිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම වරදක් වේ. ඒ අනුව එවැනි පෙළඹවීමක් සිදුකරන සමාජ ජාල පළකිරීම් නොකළ යුතුය.
  2. එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 291/ආ' වගන්තියට අනුව යම් ලිඛිතව වාචිකව හෝ නිරූපණයක් මගින් ආගමකට හෝ ආගමික විශ්වාසයකට නින්දා කිරීම වරදකි. එබැවින් සමාජ ජාලා තුළ එවැනි පළකිරීම් නොකළ යුතුය.
  3. එසේම 1958 අංක 41 දරන ආගමික අපහාසකාරී ප්‍රකාශන පනතේ 2 වන වගන්තියට අනුව ආගමික අපහාසකාරී ප්‍රකාශනයක් පළකිරීම හෝ ප්‍රදර්ශනය කිරීම වරදකි.
  4. එමෙන්ම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 2/අ*/ඌ* වගන්තියට අනුව විවිධ ජනකොටස් අතර ජාතිවාදී හැඟීම් ඇතිකිරීම වරදකි. එබැවින් එවැනි ජාතිවාදී හැඟීම් අවුළුවන ප්‍රකාශන සමාජ ජාලා ඔස්සේ පළ නොකළ යුතුය.

05. අපරාධ පිළිබඳ ඇතැම් පළකිරීම්

දණ්ඩ නීති සංග්‍රයේ 365/ඇ' වගන්තිය දක්වන්නේ ලිංගික අපරාධයක වින්දිතයකුගේ අනන්‍යතාව හෙළිදරව් වන ​ආකාරයේ පළකිරීමක් නොකළ යුතු බවයි.

එසේම  2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතේ 20 වන වගන්තියට අනුව එම පනත යටතේ පහල අධිකරණ වල පවතින නඩුවක පාර්ශ්වකරුවන්ගේ අනන්‍යතාවන් හෙළිදරව් වන ආකාරයේ පළකිරීම් නොකළ යුතු බවයි.

මේ නිසා අපරාධ සම්බන්ධව හෝ අධිකරණ කටයුතු සම්බන්ධව සමාජ ජාලා තුළ අදහස් පළකිරීම් සිදුකරන විට මෙම නීති තත්ත්වයන් පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.

06. ජාතික ආරක්‍ෂාවට හානිකර වන්නා වූ ප්‍රකාශ

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ වන නියෝගයක් මගින් තහනම් කර ඇති ප්‍රකාශනයක් පළකිරීම වරදකි.

1955 අංක 31 දරන රාජ්‍ය රහස් පනතේ 6 /1' වගන්තියට අනුව කිසියම් නිල රහස් ලේඛනයක් සතුරෙකුට ප්‍රයෝජනවත් විය හැකි වාර්තාවක් ප්‍රකාශයට පත්කිරීම හෝ සන්නිවේදනය කිරීම වරදකි.

එසේම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වන වගන්තියට අනුව පරිගණකයක් භාවිත කරමින් ජාතික ආරක්‍ෂාවට, ජාතික ආර්ථිකයට හෝ මහජන ආරක්‍ෂාවට හානි සිදුකිරීම හෝ ආසන්නතම හානියක් සිදුකිරීමට සැලැස්වීම වරදකි. එමනිසා සමාජ ජලා මගින් ඉහත කරුණුවලට හානියක් වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම වරදකි. රට තුළ හදිසි අවස්ථාව බලාත්මකව පවතින අවස්ථාවකදී මහජන ආරක්‍ෂක පනත යටතේ පනවා ඇති හදිසි නීති රෙගුලාසි මගින් තහනම් කර ඇති යම් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ පළකිරීම තහනම් වේ.

07. සිවිල් අපහාසයකට තුඩුදෙන පළකිරීම්

යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අපහාසයක් සිදුවන ආකාරයේ පළකිරීම් සමාජ ජාලා තුළ සිදුකළහොත් සිවිල් අපහාස නඩුවකට මුහුණදීමට සිදුවේ. අපහාසාත්මක ප්‍රකාශයක් යන්නෙන් අදහස් වන්නේ සෘජුවම අදාළ පුද්ගලයා කෙරෙහි අදාළ වීම සහ අපහාසාත්මක කරුණු ඇතුළත් වීම යන්නයි. සිවිල් අපහාසයට පවතින හොඳම විත්තිවාචකයන් වන්නේ අදාළ පුද්ගලයාගේ අනුමැතිය ලබා තිබීම හෝ පොදු යහපත සඳහා ප්‍රසිද්ධ කිරීම යන්නයි. එබැවින් යම් සත්‍ය කරුණක් මහජන යහපත සඳහා පළකිරීමක් මගින් යම් පුද්ගලයකුගේ කීර්තිනාමයට හානියක් වුවද එමගින් අපහාසය පිළිබඳ නඩු නිමිත්තක් හටගන්නේ නැති බව වැඩි දුරටත් සදහන් වේ.

08. පාර්ලිමේන්තුවට අපහාසයක් වන පළකිරීම්

1931 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ පළමුවන උපලේඛනයට අනුව පාර්ලිමේන්තු විවාදයක් සම්බන්ධයෙන් වැරදි කරුණු වාර්තා කිරීම, පාර්ලිමේන්තුව විසින් පළකිරීම තහනම් කරන ලද වාර්තාවක් පළකිරීම, හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට උපදෙස් දී ඇති කොටස් ප්‍රසිද්ධ කිරීම, පාර්ලිමෙන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයන් පළකිරීම මන්ත්‍රීවරයකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් පළකිරීම වරදක් වේ. එබැවින් මෙම නීතිමය සීමාවන් මගින් පාර්ලිමේන්තුවට අපහාසයක් වන ප්‍රකාශයන් සමාජ ජාලා තුළ පළකිරීම වරදකි.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුල සැරිසරන ඔබ ඉහත නීතිමය වපසරිය පිලිබදවත් ඔබේ අවධානය යොමු කර ඔබේ යහපත් සාමාජයේ යහපත උදෙසා කටයුතු කිරීමට නිරන්තරව වග බලා ගන්න. තවද නීතිය ඉදිරියේ මෙවන් කියමනක් ඇත ඒ නම්,

“නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ”

අපේ අයිතිවාසිකම් රැක ගන්නටත්, දිනාගන්නටත්, අපි පවත්නා නීතිය දැන සිටීම අතිශයින්ම වැදගත්.