Loading...
Qualcomm ද? MediaTek ද? මේ මොනාද?

අද අපි කතා කරන්න යන්නෙ බොහොම වැදගත් දෙයක් ගැන. ඔයාගෙ Android SmartPhone එකේ තියෙන්නෙ Qualcomm chipset එකක්ද? MediaTek එකක්ද? නැත්නම් වෙනම එකක් ද? අපි අද බලමු මේ මොනාද සහ ලෝකෙ ප්‍රධාන Android Chipset වර්ග දෙක ගැන.


System on a Chip

හැම SmartPhone එකක මොළය වෙන්නෙ System on a Chip නොහොත් SoC එකයි. මේකට System on a Chip කියන්නෙ පොඩි චිපයක් අස්සෙ පරිගණක පද්ධතියකට අවශ්‍ය වෙන බොහෝ දේ අන්තර්ගත කරලා තියෙන නිසා. පරිගණකයක මොළය අපි Processor එක කියලා කිව්වත් SmartPhone එකක එහෙම කියන්න බෑ. එහෙම කිව්වොත් ඒක වැරදියි.

A Qualcomm SoC

මේ SoC එකක් ඇතුළෙ තියෙනවා CPU - Central Processing Unit එකක්, GPU එකක් නොහොත්  Graphics Processing Unit එකක්. RAM නොහොත් Random Access Memory එකක්. ROM - Read Only Memory එකක් සහ Modem එකක් වගේ දේවල්. හොඳයි, එහෙනම් දැන් අපි දන්නවා මේ Qualcomm, MediaTek කියන්නෙ SoC කියන ඒවා නිපදවන සමාගම් දෙකක් කියන එක. අපි දැන් මේ සමාගම් ගැන බලමු.

Qualcomm සහ MediaTek සමාගම් වල වගතුග

Qualcomm කියන්නෙ ඇමරිකන් සමාඟමක්. Semiconductors නොහොත් අර්ධසන්නායක පාදක වන නිෂ්පාදන සහ සන්නිවේදන උපාංග තමයි මෙයාලා නිපදවන්නෙ.

මේ සමාඟමෙන් තමයි Snapdragon chipset නිපදවන්නෙ. ලෝකප්‍රකට SoC එකක් තමයි මේ Snapdragon කියන්නෙ. විශේෂයෙන්, යුරෝපයේ සහ ඇමරිකාවේ මේ Qualcomm නිෂ්පාදන බොහොම ජනප්‍රියයි. මෙයාලගෙ Chipsets යොදාගෙන Samsung, LG, Sony, Blackberry, OnePlus, Xiaomi, Asus ආදී බොහෝ සමාගම් SmartPhones නිපදවනවා.

MediaTek කියන්නෙ තායිවාන් සමාගමක්. MediaTek සමාගමේ නිෂ්පාදන ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ආසියානු සහ අප්‍රිකානු කලාප වල.

මෙතනදි කතා කරන්න ඕන විශේෂම දේ තමයි, අපි මේ කතා කරන Qualcomm වත් MediaTek වත් එයාලා විසින්ම Silicon wafers හදන්නෑ. ඒ කියන්නෙ එයාලා ඇත්තටම මේවා නිෂ්පාදනය කරන්නෑ. එයාලා කරන්නේ පරීක්ෂණ කරලා, chipset design කරන එක, නොහොත් සැලසුම් හදන එක. මෙයාලා design කරන chipsets නිෂ්පාදනය වෙන්නෙ බොහෝවිට චීනෙ කර්මාන්තශාලා වලදි. සමහරවිට Qualcomm සහ MediaTek සමාගම් දෙකේම chipset කොටස් එකම කර්මාන්තශාලාවක් ඇතුළෙ නිපදවෙන්නත් බැරි නෑ.

මෙන්න මේ හේතු නිසා, අපිට වඩා හොඳ සමාඟම මේකයි කියලා කෙලින්ම කියන්න අමාරුයි. නමුත් අපිට පුළුවන් සමහර නිර්ණායක ගැන විමසා බලන්න. එහෙනම් අපි Qualcomm සහ MediaTek අතර සන්සන්දනය අරඹමු.

Qualcomm Snapdragon vs MediaTek

  • MediaTek වලට වඩා Qualcomm මිළෙන් වැඩියි. Qualcomm SoC යොදාගෙන නිපදවන SmartPhones ඒ නිසා "සාමාන්‍යෙන්" මිළ වැඩියි. (දැන් කියන්න එපා අහවල් එක මිළ අඩුයිනෙ අහවල් එකට වඩා, ඒක වැරදියිනෙ කියලා. මම කියන්නෙ සාමාන්‍යයෙන් ඒක එහෙමයි. සමහර තැන් වලදි ඕක වෙනස් වෙනවා. හොඳම උදාහරණය Xiaomi.) හැබැයි මිළෙන් මුකුත් අපිට නිගමනය කරන්න බෑ. මිළ වැඩි වුණා කියලා හොඳයි කියන්නත් බෑ, මිළ අඩු වුණා කියලා නරකයි කියන්නත් බෑ. සමහර සමාඟම් සල්ලි වැඩියෙන් ගන්නෙ Brand එකටනෙ.
  • දැනට කරලා තියෙන පරීක්ෂණ වල හැටියට, MediaTek වලට වඩා Qualcomm SoC භාවිතා වෙන SmartPhones වල battery optimization එක ඉහළයි. ඒ කියන්නෙ, බැටරිය වැඩි කලක් භාවිතා කළ හැකියි. මේකත් සමහර chipset වලදි වෙනස් වෙන්න පුළුවන්.
  • Qualcomm ලගෙ Snapdragon නිෂ්පාදන දිගු කලක් වෙළඳපලේ විකිණෙනවා. එයාලා අලුතින් chipset එකක් නිකුත් කළාම ඒක පරණ වුණත් SmartPhone නිපදවන සමාඟම් විසින් මිළදීගන්න අවස්ථා වැඩියි. නමුත් MediaTek chipset වලට තියෙන්නෙ Snapdragon වලට වඩා අඩු shelf-life එකක්, ඒ කියන්නෙ ඒවා වෙළඳපලේ විකිණෙන කාලය අඩුයි. MediaTek වලින් ඉක්මනින් පරණ chipset වලට දක්වන සහය අඩු කරනවා.
  • MediaTek සමාඟම එයාලගෙ SoC source code එක මහජනයාට නිදහස් කරන්නෙ බොහොම කලාතුරකින්. නමුත් Qualcomm සමාඟම එයාලගෙ Snapdragon SoC එකේ source code එක මහජනයාට නිදහස් කරනවා. මේ හේතුව නිසා developers ලට පහසුවෙන් පුළුවන් Custom ROMs හදන්න සහ විවිධ developments කරන්න. මේ හේතුව නිසා Qualcomm විසින් නිපදවන chipsets සහිත දුරකථන වලට MediaTek වලට වඩා වැඩි Custom ROMs ප්‍රමාණයක් දැකබලාගන්න පුළුවන්.
  • Qualcomm සමාඟමට තියෙනවා එයාලගෙම, එයාලගෙ Snapdragon chipset වෙනුවෙන් නිපදවන GPU වර්ගයක්. ඒවා හදන්නෙත් Qualcomm සමාඟම විසින්මයි. Qualcomm Adreno කියන්නෙ මෙන්න මේ GPU එකට. Qualcomm සමාඟමට තියෙන ලොකුම වාසියක් තමයි මේ Adreno Graphics තාක්ෂණය. Qualcomm සමාඟම විසින් AMD සමාඟමේ කොටස් අත්පත් කරගැනීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ Adreno graphics තාක්ෂණය Qualcomm ලට ලැබෙන්නෙ.

වෙනත් ජනප්‍රිය SmartPhone Chipsets

  1. HiSilicon-Kirin (Huawei)
  2. Exynos (Samsung)
  3. A-series (Apple)
  4. Tegra (NVidia)
HiSilicon-Kirin
Exynos 7

මේවා ගැන අපි අද සාකච්ඡා කරන්න යන්නෙ නෑ. මේවා ගැන ඔයාලා දන්න දේවල් Comments section එකේ, අපේ subreddit එකේ අපිටත් කියන්න. වෙනම ලිපියක් අවශ්‍ය නම්, ඒකත් අපිට දැණුම් දෙන්න.

නිගමනය

මෙතන අපි සලකා බලපු නිර්ණායක වලට අනුව සමස්ථයක් වශයෙන් Qualcomm Snapdragon ඉදිරියෙන් ඉන්න බව පේන්න තිබුණත්, MediaTek සමාඟමේ අලුත් chipset Qualcomm පරදා ඉදිරියට යන්න සමත් වෙලා තියෙනවා. MediaTek Helio chipsets හොඳ උදාහරණයක්. MediaTek සමාඟමේ chipsets වල තිබුණ අඩුලුහුඬුකම් බොහොමයකට ඔවුන් දැන් පිළියම් යොදමින් ඉන්නවා. නව තාක්ෂණ සොයාගනිමින්, ඒවා යොදාගනිමින් Qualcomm සහ MediaTek අතර තරඟයක් ඇති කිරීමට ඔවුන් සමත් වෙලා තියෙනවා.

මේ තරඟයෙන් වාසිය සැලසෙන්නේ පාරිභෝගික අපිටමයි. මේ සමාඟම් දෙකේ තරඟකාරීත්වය නිසා සමාගම් දෙකෙන්ම වඩා හොඳ chipsets හඳුන්වා දෙමින් ඔවුන්ගේ සමාඟම ඉහළට ගැනීමට උත්සාහ දරනවා. අතුරුඵලයක් විදියට අපිටත් නව තාක්ෂණ සහිත, වඩා හොඳ chipsets සහිත දුරකථන භාවිතා කරන්න ලැබෙනවා.

නමුත්, ඔයා SmartPhone එකක් ගන්නේ custom rom එකක් install කරලා tinkering වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන් නම්, ඔයාට වඩා ගැලපෙන්නෙ Qualcomm Snapdragon තමයි. ඔයාට අනිවාර්යයෙන් MediaTek වලට වඩා හොඳ developer සහායක් Qualcomm වලින් ලබාගන්න පුළුවන්.


එහෙනම්, අදට මෙපමණයි. මේ දේවල් ගැන ඔයා දන්න කරුණුත් අපි එක්ක බෙදාගන්න, සාකච්ඡා කරන්න. එහෙනම් දැනට සමුගනිමු. ඔබට ජය!