Samsung සමාගමේ මීළඟ දැවැන්තම නිෂ්පාදනය වන Galaxy S26 දුරකථන පෙළ එළිදැක්වීම සඳහා දැන් දින නියම වී තිබේ. වසරකට වැඩි කාලයක් පුරා තාක්ෂණික ලොව මහත් කුතුහලයකින් බලා සිටි මෙම නවතම දුරකථන මාලාව පිළිබඳ තොරතුරු රැසක් මේ වන විටත් අන්තර්ජාලයට කාන්දු වී හමාරය. අලුත්ම වාර්තා පවසන පරිදි, Samsung සමාගමේ මීළඟ Galaxy Unpacked Event එක පෙබරවාරි මස අගදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
පසුගිය කාලය පුරා විවිධ මූලාශ්‍ර ඔස්සේ පළ වූ අනුමාන කිරීම් සහ Samsung සමාගම විසින්ම සංවිධානය කරන ලද තරඟාවලියක් මගින් ඉඟි කළ පරිදි, 2026 වසරේ ප්‍රථම Galaxy Unpacked උත්සවය එළඹෙන පෙබරවාරි මස 25 වන බදාදා දින ඇමරිකාවේ Califonia ප්‍රාන්තයේ San Francisco නුවරදී පැවැත්වීමට නියමිතය.
කෘතිම බුද්ධිය සමඟ එන නවතම විප්ලවය
මෙවර උත්සවය සඳහා Samsung සමාගම ලබා දී ඇති තේමාව වන්නේ "Galaxy AI: Personal and Adaptive Intelligence" යන්නයි. ඔවුන්ට අනුව, නව Galaxy S26 මාලාව හරහා AI තාක්ෂණය හුදෙක් පහසුකමක් පමණක් නොව, පුද්ගලයාගෙන් පුද්ගලයාට හැඩගැසෙන (Personal and Adaptive) අතිශය සමීප අත්දැකීමක් බවට පත් වනු ඇත.
විශේෂයෙන්ම One UI 8.5 මෙහිදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරේ. මෙහිදී Image Editing, Real-time translation සහ පරිශීලකයාගේ දෛනික අවශ්‍යතා කලින් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමේ හැකියාව වැනි උසස් AI අංග රැසක් ඇතුළත් වනු ඇත.
Galaxy S26 මාලාවේ මාදිලි සහ විශේෂාංග
මෙවරත් දුරකථන මාදිලි තුනක් බලාපොරොත්තු විය හැකිය,
- Galaxy S26 (Standard)
- Galaxy S26 Plus
- Galaxy S26 Ultra
පෙර අනුමාන පළ වුවද, 'S26 Pro' හෝ 'S26 Edge' නමින් මාදිලි හඳුන්වා දීමට Samsung සමාගම මෙතෙක් තීරණය කර නොමැති බව පෙනෙන්නට තිබේ.
Galaxy S26 Ultra
නවතම වාර්තා අනුව S26 Ultra මාදිලිය සඳහා Snapdragon 8 Elite Gen 5 Chipset එක භාවිත කෙරෙනු ඇත. මෙය ඉතා වේගවත් ක්‍රියාකාරීත්වයක් මෙන්ම AI සැකසුම් සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇත. මෙහි Display එක අඟල් 6.9 ක දැවැන්ත Dynamic AMOLED තිරයකින් සමන්විත වන අතර, එය 3,000 nits දක්වා ඉහළ දීප්තියක් ලබා දෙනු ඇතැයි පැවසේ.
Camera System එක සම්බන්ධයෙන් සැලකීමේදී, 200MP Main Camera එකක් සමඟින් 50MP Periscope සහ 50MP Ultra-wide lense ඇතුළත් වන අති නවීන Quad-camera පද්ධතියක් මෙහි බලාපොරොත්තු විය හැකිය. එසේම, මෙතෙක් පැවති 45W Fast charging පහසුකම 60W දක්වා ඉහළ නංවා ඇති බවද සඳහන් වේ.
දුරකථනවලට අමතරව ලැබෙන තවත් දෑ
Galaxy Unpacked උත්සවයේදී හුදෙක් දුරකථන පමණක් නොව, තවත් උපාංග රැසක් එළිදැක්වීමට නියමිතය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ Galaxy Buds 4 සහ Galaxy Buds 4 Pro යන ද්විත්වයයි.
අලුත් Design එකකින් සහ වැඩිදියුණු කළ ශබ්ද තත්ත්වයකින් යුතුව මේවා වෙළඳපොළට පැමිණෙනු ඇත. විශේෂයෙන්ම 'Head Gestures' වැනි නවතම පහසුකම් හරහා හිස සෙලවීම මගින් ඇමතුම් ලබා ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට මේවායේදී හැකි වනු ඇත. මීට අමතරව, Buds 4 Pro මාදිලිය සඳහා වඩාත් දියුණු Noise Cancellationද ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ.
සජීවීව නරඹන්නේ කෙසේද?
මෙම Event එක පෙබරවාරි 25 වන දින Samsung.com සහ ඔවුන්ගේ නිල YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙබරවාරි 26 වන දින රාත්‍රී 11:30 ට පමණ මෙය නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත.
Galaxy S26 Series එක සහ අනෙකුත් විස්තාර පිළිබඳ වැඩිදුර තොරතුරු සහ මිල ගණන් දැනගැනීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් අපට බලා සිටීමට සිදු වේ.
Source: androidauthority.com








