Loading...
ඇත්තටම අපි කිරි බීමෙන් පලක් තියෙනවාද යන්නට විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

තාම කඩ ගානෙ ගිහින් කිරිපිටි හොයනවද? පිටිකිරි බීලා වැඩක් තියෙනවද? පිටි වෙනුවට දියර කිරි වලට මාරුවෙලාද? දියර කිරි බීලා වැඩක් තියෙනවද? කිරි වලට ඇබ්බැහි වෙලාද? ප්‍රශ්න ඔක්කොටම උත්තර අද ලිපියෙ තියෙනවා.

පිටිකිරි

පිටිකිරි ගැන කතා කරන්න නම් මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ. මොකද ඒ ගැන කතා කරන වෙලාවත් අපරාදෙ. පිටිකිරි කියල විකුණන්නෙ නිකන්ම නිකං රොඩ්ඩක්. පරීක්ෂණාත්මකව සනාථ වුණත් නොවුනත් මෙලමයින්, පාම් තෙල්, ඌරු තෙල් සහ කෘතිම ලැක්ටෝස් තියෙන බවත් කිරි නැති බවත් බොහොම ප්‍රසිද්ධ මතයක්. එහෙම බැලුවම පිටිකිරි බොන එකයි සුදු පාට ඩයි එකක් වතුරෙ දිය කරගෙන බොන එකයි අතරෙ වෙනසක් නෑ.

මාගරින් කියල හිතාගෙන අරගන්න Fat Spread එකත් ඔය වගේම තමයි. ඊළඟ පාර ගන්නකොට බලන්නකො පෙට්ටියෙ කොහෙවත් "ෆැට් ස්ප්‍රෙඩ්" කියල මිසක් "මාගරින්" කියල ඕකෙ ගහල තියෙනවද කියලා. ඒවා මාගරින් නෙමෙයි. ඔය 2ම ශරීරයට අහිතකර වුණොත් මිසක් කිසිසේත්ම හිතකර දේවල් නම් නෙමෙයි.

දියර කිරි (Fresh Milk)

කිරිපිටි කියන්නෙ බොරුවක් කියල කිව්වනෙ. එතකොට දියර කිරි? මේක තමයි අද අපේ මාතෘකාව. මෙතනින් එහාට හැමදේම කියන්නෙ දියර කිරි ගැන.

කොළ පාට තණබිම් වල පින්තූර තියෙන්නෙ පැකට් එකේ විතරයි

දියර කිරි නැතිනම් ඇත්ත කිරි වල තියෙනවා ප්‍රධාන පෝෂක කොටස් 5ක්.

  1. මේදය
  2. විටමින්
  3. ඛනිජ හා ප්‍රෝටීන්
  4. කැල්සියම්
  5. සීනි (ලැක්ටෝස්)

කිරි බීමෙන් අපි මූලිකව බලාපොරොත්තු වෙන්නෙ ඔන්න ඔය වර්ග ටික ශරීරයට අවශෝෂණය කරගැනීම. අපි යට ඉඳල උඩට එමු.

ලැක්ටෝස්

කිරි වල සීනි පවතින්නෙ ලැක්ටෝස් හැටියට. ඇත්තටම කිරි වල තියෙන සීනි වර්ගයේ නම තමයි ලැක්ටෝස් කියන්නෙ. අපි කිරි බිව්වම මේ කිරි ටික යනවා ආමාශය හරහා අපේ කුඩා අන්ත්‍රයට (කුඩා බඩවැල). ඔන්න ඔය කුඩා අන්ත්‍රය නිෂ්පාදනය කරනවා එන්සයිමයක්. ඒකෙ නම ලැක්ටේස්. කිරි වල තිබුණෙ ලැක්ටෝස්, මේ එන්සයිමය ලැක්ටේස්. ටෝස් ටේස් පටලගන්න එපා.

කොහොමහරි කිරි ටික එනවනෙ කුඩා අන්ත්‍රයට. එතනදි අර ලැක්ටේස් එන්සයිමය සමත් වෙනවා කිරි වල තියෙන සංකීර්ණ ලැක්ටෝස් සීනි අණුව බිඳලා ලේ වලට උරාගන්න පහසු සරළ සීනි වර්ග නිෂ්පාදනය කරන්න. ඒ කියන්නෙ ග්ලූකෝස්, ගැලැක්ටෝස් වගේ සරළ අණු. ඔන්න දැන් කුඩා අන්ත්‍රයට පුළුවන් ලේසියෙන්ම කිරි වල තිබුණ ලැක්ටෝස් ටික ජීර්ණය කරගන්න..

ඕක තමයි ක්‍රමය. හැබැයි පොඩි කොස්සක් තියෙනවා.

කුඩා අන්ත්‍රය තුල ලැක්ටේස් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය අපි වයසින් වැඩෙනකොට අඩාල වෙනවා. පුංචි කාලෙ විතරයි මේ ලැක්ටේස් එන්සයිමය හරියට නිෂ්පාදනය වෙන්නෙ. ඒ කියන්නෙ වැඩිහිටියෙකු තුල ලැක්ටේස් නිෂ්පාදනය වෙන්නෙ බොහොම අඩු ප්‍රමාණයක්. තේරුම තමයි වැඩිහිටියෙකුට කිරි වල තියෙන සීනි ටික ජීර්ණය කරගන්න අමාරුයි. එතකොට මොකද වෙන්නෙ?

ලැක්ටේස් නැති නිසා දැන් කුඩා අන්ත්‍රයෙදි කිරි ටික ජීර්ණය වෙන්නෙ නෑනෙ. ඔන්න ඉතින් ඒ කිරි ටික යනවා මහා අන්ත්‍රයට (මහා බඩවැල). මහා අන්ත්‍රය කියන්නෙ බැක්ටීරියා ගුහාවක්. ඔතනදි ඔයා බීපු කිරි ටික මේ අහිතකර බැක්ටීරියා එක්ක එකතු වෙලා නරක් වෙලා යෝගට් චීස් අයිස්ක්‍රීම් මුදවපු කිරි ෆලූඩා පුඩිං වගේ ඔක්කොම ජාති හැදෙනවා. පහුවදා උදේට වැඩේ බලාගන්න පුළුවන්. ඔය තත්වයට කියනවා Lactose Intolerance කියලා.

මුළු ලෝකයම සැලකුවම මේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්වය වැඩිහිටියන්ගෙන් 65%කට පමණ තිබෙනවා.

හැබැයි අපි වගේ ආසියාතික රට වලට මේ ප්‍රතිශතය 90%ක් පමණ දක්වා ඉහළයි. ඒ කියන්නෙ අපේ රටේ වැඩිහිටියන්ට කිරි වල ලැක්ටෝස් ජීර්ණය කරගන්න බෑ කියන එක. කිරි ලැක්ටෝස් සැලකිය යුතු ප්‍රතිශතයක් ජීර්ණය කරගැනීමේ හැකියාව තියෙන්නෙ උතුරු යුරෝපයේ සහ උතුරු ඇමරිකාවෙ මිනිසුන්ට විතරයි. අපි කිරි බිව්වට තේරුමක් නෑ. උඩින් බොනවා යටින් යනවා. එච්චරයි.

කැල්සියම්

Tv එක දැම්මොත් යන්නෙම ඔස්ටියෝපොරෝසිස් වලින් බේරෙන්න නම් කැල්සියම් වලින් පරිපූර්ණ අහවල් කිරි ජාතිය බොන්න කියල යන වෙළඳ දැන්වීම්නෙ. එතකොට කිරි බිව්වම ඔස්ටියෝපොරෝසිස් වලින් බේරෙනවද? නෑ.. වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ලෝකෙ වැඩිම කිරි පරිභෝජනයක් සහිත රටවල තමයි වැඩිම ඔස්ටියෝපොරෝසිස් රෝගින් ඉන්නෙත්.

විටමින් හා අනෙක් පෝෂක කොටස්

අපිට වෙළඳපොළෙන් දියර කිරි ගන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා.

  1. දොවපු ගමන් නියම fresh milk
  2. පැස්චරීකරණය කරන ලද කිරි
  3. UHT කිරි

හැබැයි ඔය පළවෙනි එක ගන්න පුළුවන් හරිම සුළු පිරිසකට විතරයි (උතුරුවා නිවාගෙන මිසක් බොන එක සෞඛ්‍යාරක්ෂිතත් නෑ). ඉතුරු හැමෝටම වෙළඳපොළෙන් ගන්න පුළුවන් එක්කො පැස්චරීකරණය කරන ලද කිරි, එක්කො UHT කිරි. මොනවද මේවා?

පැස්චරීකරණය

මේක හොයාගත්තෙ ලුවී පාස්චර් 1880දි. මේකෙදි කරන්නෙ කිරි සෙල්සියස් 100ට අඩු (74°C පමණ) උෂ්ණත්වයකට තත්පර 15ක් පමණ තුල රත් කර සිසිල් කිරීම. මේකෙදි අහිතකර දේවල් බොහොමයක් විනාශ වෙනවා. ඒ වගේම පෝෂක කොටස් ගොඩකුත්.

හැබැයි පැස්චරීකරණය කරන ලද කිරි ගබඩා කරන්න ඕන සිසිල් පරිසරයක. ඒ වගේම ගබඩා කරල තියාගන්න පුළුවන් කාලය දවස් 5ක් 6ක් විතර. ලංකාවෙ supermarkets වල හොයාගන්නත් ටිකක් අමාරුයි.

UHT Processing

UHT කියන්නෙ Ultra High Temperature processing එකට. මේකෙදි කිරි සෙල්සියස් අංශක 135ට විතර තත්පර 2ක් 4ක් පමණ තුල ක්ෂණිකව රත් කරනවා. ඊළඟට ක්ෂණිකව සිසිල් කරනවා. පෝෂක කොටස් යම් ප්‍රතිශතයක් විනාශ විය හැකියි.

මේ කිරි විවෘත නොකරන ලද ඇසුරුමක් තුල සාමාන්‍ය උෂ්ණත්වයේ (ශීතකරණයේ නොදමා) මාස 8ක් 9ක් දක්වා කල් තියාගන්න පුළුවන්. Supermarkets වල ශීත නොකරන ලද රාක්ක වල තොග ගානට මාස ගණන් තියෙන්නෙ මේවා තමයි.

3න් මොකක්ද තෝරගන්නෙ කියන එක ඔබ සතුයි.

මේදය

ඔක්කොම processing ටික කරාට පස්සෙ ඔය මේදය ටික විතරයි කිරි වල අන්තිමට ඉතුරු වෙන්නෙ. කිරිපිටි හෙවත් බොරු කිරි වල නම් ඕකත් නෑ.

පාරිසරික බලපෑම

ලෝකය පුරා කිරි ගොවිපොළ වලින් විමෝචනය වන හරිතාගාර වායු ප්‍රමාණය සියළුම ගුවන් යානා වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයටත් වඩා වැඩියි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමටත් මේ කිරි ගොවිපොළ වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ්, මෙතේන්, ඇමෝනියා වගේ දේවල් ලොකු ප්‍රතිශතයකින් සෘජුවම බලපානවා.

මේක විහිළුවක් නෙමෙයි. උෂ්ණත්වය වැඩි වෙලා ග්ලැසියර් යට සිරවෙලා තිබෙන අවුරුදු දහස් ගණන් පැරණි අති ප්‍රභල වෛරස් සහ බැක්ටීරියා මේ ග්ලැසියර් දියවීමත් එක්ක බාහිරට නිදහස් වුණොත් අන්න එදාට අපිට හිතෙයි කොරෝනා කියන්නෙ මොන්ටිසෝරි මට්ටමේ සෙල්ලම් ලෙඩක් කියලා. මේවා ඒ තරම් භයානකයි. විශේෂයෙන් permafrost එකේ. මේ ගැන වෙනම ලිපියක් පුළුවන් වුණොත් ලියන්නම්.

සත්ව හිංසනය

ඔබ කොච්චර නිර්මාංශ පුද්ගලයෙක් වුනත් වැඩක් නෑ කිරි ආහාර පරිභෝජනය කරනවා නම්. ලොකු සත්ව හිංසනයකුත් කරන ගමන් සොබාදහමත් විනාශ කරන ගමන් අපිට හරියට ජීර්ණය වෙන්නෙ වත් නැති දියරයක් පුරුද්දක් හැටියට දිනපතා බොන්න වැඩිහිටි ඔබට තවදුරටත් හේතුවක් තියෙනවද?

විකල්පය

පිටරට වලට නම් එළකිරි වලට හොඳම විකල්ප වෙන්නෙ සෝයා කිරි, ඕට්ස් කිරි, ආමන්ඩ් කිරි, හාල් කිරි වගේ දේවල්. හැබැයි අපිට ඊට වඩා බොහොම පොහොසත් ගුණදායක විකල්පයක් තියෙනවා. ඒ තමයි කොළ කැඳ.

කිරි වලට ඇබ්බැහි වෙලා ඉන්න අයයි කැඳ හදන්න කම්මැලිකමේ ඉන්න අයයි කැඳ ගැන වැරදි මත ඔළුවෙ තියාගෙන ඉන්න අයයි ටික දවසකට කිරි වලින් කැඳ වලට මාරුවෙලා බලන්න. ඔබටම වෙනස වැටහෙයි.