Loading...
ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අළුතෙන්ම හදුන්වා දෙන මොළේ තියෙ​න නවතම පන්දුව, Smart Ball

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ මේ වෙනකොට තාක්ෂණය කියන එක උපරිමයෙන් භාවිතා කරන ක්‍රීඩාවක් බව ඔබ හොදින් දන්නවා ඇති. ඉතිං මේ දවස් වල විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන නිසා ඒකේ උණුසුමින් ඉන්න අපේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට අපි විසින් මේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා භාවිතා කරන නවතම තාක්ෂණය​න් පිළිබඳව තොරතුරු රැගත් ලිපි කිහිපයක් ල්බා දෙන්න කල්පනා කරා. එහි ප්‍රථම පියවර විදිහට අපි විසින් ඔයාලට මුලින්ම අරගෙන ආවේ Hawk-eye කියන තාක්ෂණය පිලිබඳව තොරතුරුයි. ​මේ ලිපියෙන් අපි ඔබට රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට අළුතෙන්ම එකතු වන තාක්ෂණය වන Smart ball එක පිළිබඳවයි.

මොකක්ද මේ Smart Ball කියන්නේ?

Smart ball කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා ලෙදර් පන්දු​ව සඳහා electronic chip එකක් ඇතුලත් කරමින් නිපදවන ලද පන්දුවකි. එම චිප් එක යොදමින් නිපදවීම සඳහා යොදාගෙන ඇත්​තේ කුකබුරා වර්ගයට අයත් වන පන්​දු වන අතර මෙම Smart Ball එක නිපදවීම සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියානු සමාගම් වන Sportcor නම් සමාගම විසිනි. මෙම සමාගමහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටි පන්දු යවන්නෙකු වන මයිකල් කැස්ප්‍රොවික්ස් විසිනි.

Sportcor ආයතනය විසින් නිපදවා ඇති මේ පන්දුවේ ඇති චිප් එක ත්ළ ඇති මයික්‍රොචිප් එක පන්දුව මධ්‍යට වන්නට පිහිටා ඇති අතර එහි ඇති සංවේදක (sensors) හරහා පන්දුව පන්දු යොමුකරන්නාගේ අතින් ගිලිහෙන අවස්ථාවේ සිට එය අවසාන නැවතුම කරා (කඩුළු රකින්නාගේ දෑත, පන්දු රකින්නන්ගේ දෑත, හෝ හතරෙ හෝ හයේ සීමාව පසු කරන තුරුම) යන තුරු​ම වන තොරතුරු ලබා දීම සිදු කරනවා. එම දත්ත අතර පන්දුවේ වේගය, පන්දුව භ්‍රමණය වන වාර ගණන, පන්දුව යොමු කරන්නාගේ අතෙන් පන්දුව ගිලිහෙන වේගය, පන්දුව පිත්තේ වදින වේගය සහ පිත්තේ වැදීමෙන් පසුව පන්දුව ගමන් ගන්නා වේගය වැනි විශාල දත්ත ප්‍රමාණයක් ලබා දෙනු ලබනවා.

Smart Ball එක තුල ඇති ඉලෙක්ට්‍රෝනික පරිපථය

එමෙන්ම පන්දුව යොමු කරන්නාගේ අතෙන් පන්දුව ගිලිහෙනවාත් සමඟම පන්දුවේ වේගය මනිනවාක් මෙන්ම, එසේ ගිලිහුනු පන්දුව පිටියට පතිත වන විට එහි වේගය සහ පිටියේ වැදීමෙන් පසුව පිතිකරු වෙත පන්දුව යොමු වන වේගය වැනි දත්තයන් පවා ලබා දීම සිදු කරනවා. මෙම පන්දුවෙන ලබාදෙන දත්තයන් ඒ සඳහාම නිර්මාණය කර ඇති මෘදුකාංගයක් හරහා නැරබිය හැකි අතර එම මෘදුකාංගය ජංගම දුරකතන සහ පරිගණක සඳහා සහය දක්වනු ලබනවා. මීට අමතරව පන්දුව මඟින් ඇති කරන බලයද මැන ගැනීමට හැකියාව තිබෙනවා.

Smart Ball එක නිපදවන්නෙ කොහොමද?

Smart Ball එකක් නිපදවී​ම සිදුවන්නේ සාමාන්‍ය කුකබූරා ලෙදර් පන්දුවක් නිපදවන ආකාරයටමයි. එහි ඇති එකම වෙනස වන්නේ පන්දුව තුල චිප් එකක් රැගත් ඉලෙක්ට්‍රෝනික් පරිපථයක් ඇතුලත් වීමයි. මෙම පරිපථය පන්දුවේ මැදට වන්නට පිහිටුවා ඇති අතර එය පන්දුවේ ඇති quilt එක හෙවත් රෙදි වලින් නිර්මාණය කර ඇති ආරක්ෂක ස්ථරයට පහලින් සවි කර ඇත. ඉන් පසුව එයට උඩින් සුපුරුදු පරිදිම රබර් වලින් නිෂ්පාදිත ස්ථරයද පිහිටුවා ඇත. ඉතිරිය සාමාන්‍ය ලෙදර් පන්දුවක ඇති කොටස් වේ.

Smart Ball එකේ හරස්කඩක් සහ පරිපථය පිහිටුවා ඇති ආකාරය

Smart Ball එක මුහුණ දෙන අභියෝගය​න්

මේ වන විට පරීක්ෂණ මට්ටමේ ඇති Smart Ball එකට අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මෙම කාරණාව මෙම පන්දුවට ඇති විශාලතම අභියෝගය වනවා. එමෙන්ම ඊලඟට ඇති හොඳම අභියෝගය වන්නේ මෙම පන්දුව තුල යොදා ඇති ඉලෙක්ට්‍රෝනික් පරිපථය සඳහා යොදාගන්නා බැටරියේ ආයු කාලය පැය 8කට සීමා වී තිබෙනවා. මේ හේතුව නිසා මෙම පන්දුව දිනය පුරාම ක්‍රීඩා කරන තරඟ සඳහා යොදා ගැනීමේදී ගැටළු පැන නැග තිබෙනවා.

මේ අභියෝගයන්ට මුහුණ දී සාර්ථකව ඒවාට විසදුම් සොයාගත්තද මම පන්දු නිෂ්පාදකයන්ට මීලඟට මුහුණ පෑමට සිදුවන මග හැරිය නොහැකිම අභියෝගය වන්නේ පන්දුවේ කල් පැවැත්ම. එක දිගටම පන්දුවට පහර දීමේදී පන්දුව තුල ඇති ඉලෙක්ට්‍රෝනික් පරිපථයට හානි සිදුවුවහොත් එය ඉනිම පුරාවට භාවිතා කිරීමේ හැකියාව අහිමිවනවා.

අනිත් ප්‍රධානතම කාරණාව වන්නේ මෙම පන්දුව සඳහා වන පරිපථය සංවර්ධනය සඳහා වැය කිරීමට සිදුවන පිරිවැය ඉහළ අගයක් ගැනීමයි. එම පිරිවැය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් Smart Ball එකක පිරිවැය ඉහළ අගයක් ගනු ලබනවා.

මේ වන විට Smart Ball නම් වන පන්දුව බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල පැවතුනු කැරිබියන් ප්‍රීමියර් ලීඝිදී භාවිතා කිරීම සිදුකල අතර, එය ක්‍රිකට් ඉතිහාසයේ Smart Ball එකක් භාවිතා කල ප්‍රථම අවස්ථාව වනවා. ​මීලඟට Smart Ball එක ඕස්ට්‍රේලියාවේදි පැවැත්වෙන Big Bash තරඟාවලිය සඳහා යොදා ගැනීම පිළිබඳව මේ දිනවල සලකා බලමින් සිටිනවා. කෙසේ වෙතත් මෙම පන්දුව මෙවර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය 2021 සඳහා භාවිතා කිරීමට අනුමැතිය හිමිවී නැහැ. එමෙන්ම තවමත් වෙනත් කිසිදු අන්තර්ජාතික ක්‍රික​ට් තරඟාවලියකට Smart Ball භාවිතා කිරීම​ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අවසර ලබා දී නැහැ.