Loading...
චීනයේ නාවුක හමුදාවට එක්වීමට නියමිත නවතම ගුවන්යානා ප්‍රවාහකය, CN Type 003

චීන මහජන විමුක්ති නාවික හමුදාව වර්තමානයේ ලොව විශාලතම නාවික හමුදාවට හිමිකම් කියනු ලබනවා. 2022 වසරේදීත් එහි නාවික බලමුළුව විශාල කිරීම පිණිස නවීන නාවික යාත්‍රා හා සබ්මැරීන් කිහිපයක් සේවයට එක්වීමට නියමිතව තිබේ.

එලෙස සේවයට එක්වීම සදහා දියත් කිරීමට සැලසුම්ව ඇති ප්‍රධානතම නිර්මාණයක් වන්නේ ඔවුන්ගේ තෙවන හා නවීනතම ගුවන්යානා වාහකය වන CSN Type 003 නම් නෞකාවයි. දැනට බටහිර විශ්ලේෂකයන් විසින් සොයාගත් Type 003 හි බොහෝ තොරතුරු ලබාගෙන ඇත්තේ ඔවුන්ගේ චන්ද්‍රිකා ඡායාරූප මත පදනම්ව වෙන අතර Type 003 මේ මොහොත වන විටත් ෂැංහයි හි ජියැංග්නන් නාවික තටාංගනය තුළ සීග්‍රයෙන් එකලස් කරමින් පවතිනවා.

ඉදිකෙරෙමින් පවතින CN Type 003 ලෙස හැඳින්වෙන නවීන චීන නෞකාව

විශ්ලේෂකයින්ට අනුව මේ වන විට නෞකාවට එක් කිරීමට ඉතිරිව ඇත්තේ ආයුධ පද්ධතිය සහ රේඩාර් පද්ධතිය ඇතුලු කොටස් කිහිපයක් පමණක් වන අතර එය මේ වසරේ පෙබරවාරි අවසානය හෝ මාර්තු වනවිට දියත් කරනු ඇති බවත් බලාපොරොත්තු විය හැකි බව දක්වන්න පුලුවන්.

මෙම නෞකාව පිළිබද අනාවරණය කරන උපදේශක කණ්ඩායමේ ජ්‍යෙෂ්​ඨ සාමාජිකයෙකු වන Matthew Funaiole පවසන්නේ Type 003 චීනයේ නාවික තාක්ෂණයේ ඉදිරි පිම්මක් ලෙස හැදින්විය හැකි බවයි.

CN Type 003 හි විශේෂතා

චන්ද්‍රිකා ඡායාරූප විශ්ෂලේෂණයෙන් පෙනෙන අන්දමට නව නෞකාවේ සම්පූර්ණ බර ටොන් 98,000ත් 100,000ත් අතර අගයක් ගනු ඇති අතර දිගින් මීටර් 320 ක් හා පළලින් මීටර් 78 ක් වශයෙන් එහි අගයන් ගණනය කර තිබේ. මෙම නෞකාව චීනය සතු තුන්වන ගුවන්යානා වාහක නෞකාව වනු ඇති අතර දේශීයව නිෂ්පාදනය කළ දෙවන නෞකාව වනු ඇත.

කෙසේ වෙතත් චීනය සතු අනෙක් ගුවන්යානා වාහක නෞකාවන් දෙකට සාපේක්ෂව CN Type 003 ඉතා දියුණු තාක්ෂණයකින් යුක්ත වන බවත් එය මේ වනවිට ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් Aircraft Carriers විසින් ගුවන්යානා ගුවන්ගත කිරීමට භාවිතා කරන Catobar පද්ධතියක් භාවිතා කරන බවත් පැවසේ. (චන්ද්‍රිකා ඡායාරූපයන්ට අනුව)

එමගින් CN Type 003 හට චීනය සතු අනෙක් ගුවන්යානා ප්‍රවාහන නෞකා දෙකට සාපේක්ෂව ඉතා වේගවත්ව සහ පහසුවෙන් ගුවන්යානා ගුවන්ගත කිරීමට අවස්ථාව හිමිවෙනු ඇති අතර එහිදී ගුවන්යානාවලට පෙරට වඩා වැඩි ආයුධ ප්‍රමාණයක් සහ වැඩි ඉන්ධන ප්‍රමාණයක් රැගෙන යාමට අවස්ථාව හිමිවෙනු ඇත.

මීට අමතරව, CN Type 001 Liaoning සහ CN Type 002 Shandong යන ගුවන්යානා ප්‍රවාහක දෙකම නිපදවා ඇත්තේ යල් පැන ගිය සෝවියට් තාක්ෂණය මත පදනම්වයි. එම වාහකයන් දෙක Sky-jump / Stobar දියත් කිරීමේ පද්ධතිය භාවිතා කළ අතර, එහිදී ගුවන් යානා කුඩා බෑවුමකින් යුතුව ගුවන් ගත කරනු ලබයි. නමුත් Type 003 නිපදවන්නේ ඇමරිකානු Gerald R Ford ආකෘතියටය. එහිදී ඒ සඳහා වඩා දියුණු Catobar පද්ධතිය භාවිතා කරනු ඇති.

J-31 fighter jet, Source: Republic World

වාර්තා වන අන්දමට Type 003 ප්‍රධාන වශයෙන් J -31 වර්ගයේ ගුවන්යානා රැගෙන යාමට නියමිතය. එය USS Gerald Ford හි F- 35 යානය මෙන් ආදේශනයකි. J 31 ඇමරිකාවේ F-35 මෙන් පස්වන පරම්පරාවේ යානාවක් බව මැතකදී හෙළි වී ඇතැයි Karl Schuster (CSIS නියෝජිත) පවසයි. රැගෙන යන අනෙකුත් ගුවන්යානා කෙබදු වේදැයි නිශ්චිත නොමැති මුත් ඒවා CN Type 004 හි ගෙනයන ගුවන්යානාවලට සමාන වනු ඇති බව උපකල්පනය කළ හැකියි.

CN Type 003 සක්‍රීය කිරීම

මුලදී ඇමරිකාව නිගමනය කරණු ලැබුවේ Type 003, 2023 වනවිට සක්‍රීය කරණු ඇති බවටයි. නමුත් දැන් එම දිනය 2024 තෙක් කල් ගොස් ඇත. චීනය Type 002 Shandong දියත් කරණු ලැබුවේ 2017 දී වන අතර එය සක්‍රීය කරණු ලැබුවේ ඉන් වසර 2 කට පසු 2019 දී ය. ඇමරිකාව විසින් එම න්‍යායම Type 003 වෙත යොදා ගනු ලබනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා.

එසේම මැතකදී සොයාගනු ලැබුවේ Type 003 හි Catobar systems සදහා මෙතෙක් කලක් භාවිතා කල වාෂ්ප බලය වෙනුවට විද්යුත් චුම්භක තාක්ෂණය යොදාගැනීමට නියමිත බවයි. ඇමරිකාවේ පවා එවැන්නක් ක්‍රියාත්මක වන්නේ USS Gerald R Ford‌‌ හි පමණි. ඔවුන්ට පවා මේ වනවිට එම පද්ධතියේ ගැටළු මතුවී ඇත. ගුවන්යානා වාහක පිළිබඳ අත්දැකීම් අඩු චීනයට පවා එම ගැටලුව අනිවාර්යයෙන් පැන නගිනු ඇත. සම්පූර්ණයෙන්ම අලුත් ගුවන්යානා වාහකය එහි ගැටලු අඩුපාඩු නිවැරැදි කරගෙන J- 31 සමග පුහුණුවීම් අවසන් කර ගැටළු විසඳාගෙන සක්‍රීය සේවයට පැමිණෙද්දී 2026 හෝ වනු ඇතැයි karl Schuster (CSIS නිලධාරී) අනුමාන කර තිබෙනවා.

CN Type 003 හා ඇමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකා

‌‌"චීනයට ලෝක මට්ටමේ නාවික හමුදාවක් ඇති කර ගැනීමට අවශ්‍යයි. ඔවුන්ට ලෝක මට්ටමේ නාවික හමුදාවක් ඇති බව ලෝකයට සංඥා කිරීමට අවශ්‍යයි, ඔවුන්ට අවශ්‍යයි කලාපය වටා හෝ ලොව පුරා ජාතීන්ට ඔවුන් එක්සත් ජනපදය හා සමාන බව ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්න. " - Matthew Funaiole (ජ්‍යේෂ්ඨ සාමාජික CSIS)‌

දැනට ඇමරිකාව සතුව සක්‍රීය ගුවන්යානා ප්‍රවාහක 11 ක් (Nimits පන්තියේ නැව් 10 ක් හා Gerald Ford පන්තියේ එක් නෞකාවක් ) පවතින අතර චීනය සතුව ඇත්තේ 2 ක් (Liaoning හා Shandong) පමණි. ඇමරිකාව වෙනුවෙන් ඉදිරියේදී තවත් Gerald R Ford වර්ගයේ නෞකා කිහිපයක්ම ඉදිවෙමින් පවතිනවා. චීනය වෙනුවෙන් CN Type 003 ඉදිවන අතර CN Type 004 ඉදිවන්නේ යැයිද සදහන් වේ. ඒ අනුව බැලූ විට චීන ගුවන්යානා වාහක බලය ඇමරිකාවට වඩා බොහෝ සෙයින් පිටුපසින් පවතී.

CN Type 003 හා USS Gerald R Ford අතර ඇති සමානත්වය 

චීනය සිය පලමු Aircraft carrier යාත්‍රාව වන CN Type 001 Liaoning දියත් කරන ලද්දේ 2012 දිය. දෙවැන්න වූ CNS Shandong  ක්‍රියාත්මක වන්නේ 2019 සිටයි. ඒ ලෙස බලන කල චීනයට Aircraft carrier වර්ගයේ නෞකා සම්බන්ධයෙන් ඇත්තේ වසර 10 ක‍ අත්දැකීම් පමණි. නමුත් ඇමරිකාව සතුව ඒ පිළිබදව වසර 100 කට ආසන්න කාලයක අත්දැකීම් ඇත.

"එය කෙසේවත් සමාන කල නොහැකියි."‌‌ - Matthew Funaiole (CSIS)

තවද Type 003 බල ගැන්වෙන්නේ සාම්ප්‍රදායික වාෂ්ප බලයෙනි. ඇමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකා සියල්ල න්‍යෂ්ටික බලයෙන් යුක්ත වේ. කෙසේ නමුත් එහි එතරම් ගැටලුවක් පැන නොනගින්නේ චීන නෞකා ඇමරිකානු නැව් මෙන් ලොව පුරා යාත්‍රා නොකර සිය කලාපයේ පමණක් මෙහෙයුම් කටයුතු කරන බැවිනි.

එක්සත් ජනපද නාවික හමුදාව පවසන පරිදි Carrier Strike groups ( ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් පෙරටු කොට ගත්ස යුධ නෞකා කණ්ඩායමක්) සඳහා නිවැරදිව Destroyers හා Cruisers වර්ගවල යාත්‍රා මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් චීනයට අත්දැකීම් අඩුය.

‌‌"ඕනෑම කාලගුණික තත්වයක් යටතේ, රාත්‍රිය සහ දිවා කාලයේදී ඉහළ ක්‍රියාකාරී වේගයක් පවත්වා ගත හැකි වාහක ඇත්තේ ඉතා සුළු ජාතීන් ප්‍රමාණයකට පමණක් වන අතර එවැනි වාහක ඇත්තේද කිහිපයක් පමණි"‌‌ - Patalano (CSIS)

එහි හැකියාව කුමක් වුවත් CN type 003 නෞකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්ලේෂක Robert Farley විශ්වාස කරන්නේ එය නිම වූ විට,

"එක්සත් ජනපදයෙන් පිටත මෙතෙක් ඉදිකර ඇති විශාලතම සහ දියුණුම ගුවන් යානා ප්‍රවාහන නෞකාව"  වනු ඇති බවයි.

CN Type 004

මහජන චීනයේ සිව්වැනි ගුවන්යානා ප්‍රවාහන නෞකාව ලෙස හැඳින්වන්නේ CN  Type 004  ලෙස නම්කර ඇති නෞකාවයි. දැනට මෙය ඉදිකරමින් පවතින බව සදහන් වුවවත් CSIS විශ්ලේෂකයන් පවසන්නේ මේ වෙන විට එවැන්නක් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි.

CN Type 004 හි අනුරුවක් 

CN Type 003 හි ඉදිකිරීම් ආරම්භ වූ පසු 2017 වසරේදී ම ජියැංනන්වල අලුතින් ග්‍රැන්ටි දොඹකර කිහිපයක් ස්ථාපනය කරන ලදී. එහිදී විශ්වාස කෙරුණේ Type 004 ද එහි ඉදිකරනු ඇති බවට යි. නමුත් CSIS පිරිස් පෙන්වා දෙන්නේ දැන් දැන් Jiangnan අංගනය මිලිටරි නිශ්පාදනවලට වඩා වාණිජ නැව් නිපදවීමට කෙරෙහි පෙළඹී ඇති බවටයි.

මෙතෙක් නිශ්චිත තොරතුරක් නැතත් ඉදිරියේදී Type 004 නිපදවූ විට එය අනිත් නැව් 3 ටම වඩා කාර්යක්ෂම වනු ඇත. මෙයද CN Type 003 මෙන් ඇමරිකානු Gerald Ford පන්තියේ නැවක හැඩය ගනී. ටොන් 110 000 ක විස්ථාපනයකින් යුක්ත වන අතර එහි දිග පළල පිළිබඳ මෙතෙක් සදහනක් නොමැත.

Type 004 විසි​න් ගුවන්යානා 70 ත් 100 ත් අතර ප්‍රමාණයක් රැගෙන යනු ඇත.

‌‌ J - 15, J - 20‌‌, J - 31‌‌, Xian kJ  600‌‌, airborne early warning and‌‌control aircraft‌‌, anti-submarine warfare aircraft,‌‌  stealth attack drones එහි ගුවන්යානා වලට උදාහරණ වශයෙන් දැක්විය හැකිය.  (ඇතැම් විට CN Type 003 ද මේ ප්‍රමාණයෙන් ම ඉහත වර්ගවල ගුවන්යානා මිශ්‍රයක් රැගෙන යනු ඇත)

මෙහිද නවීන Catobar පද්ධතියක් ක්‍රියාත්මක වීමට නියමිතය. එසේම මෙහි ලේසර් ආයුධ හා Rail-Gun වැනි දියුණු ආයුධ පැවැතිය හැකි බව කියවේ. තවද මෙහි විශේෂත්වය වන්නේ එය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වීමයි. 2030 වසර වනවිට CN Type 004 නිමවූ පසු ඇමරිකාව හා ප්‍රංශය හැර න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන්යානා වාහක සහිත එකම රට බවට චීනය පත් වනු ඇත.