Loading...
සාගරයට ඉහළින් නැව් ගමන් කරවන පැනමා ඇලේ කතා​ව

15 වන ශතවර්ෂය වෙද්දි මිනිස්සු නෞකාවලින් ලෝකය වටා යනවා. හැබැයි අත්ලාන්තික් සාගරය සහ ශාන්තිකර සාගරය අතර ගමන් කිරීම ගොඩක් අමාරු ගමනක්. ⁣මොකද ඒකට දකුණු ඇමරිකානු මහද්වීපයට යටින් හෝර්න් තුඩුව වටා, නැත්නම් මැජලන් සමුද්‍ර සංදිය හරහා ගමන් කරන්න වෙනවා. ඉතින් මේ සාගර දෙක සම්බන්ධ කරලා කෙටි ගමන් මාර්ගයක් හදන්න ගොඩක් පාර්ශවයන්ට අවශ්‍ය වුනා.

මැජලන්ගේ ලෝක සවාරිය

ප්‍රංශය 1869 වසරේදී සූවස් ඇළා මාර්ගය ඉදි කරලා අවසන් කළා. ඉතින් ඔවුන් හිතුවා මේ වැඩෙත් ඒ වගේම ලේසියෙන් කරන්න පුළුවන් කියලා. ඇමරිකාවත් මේ වැඩේට උනන්දුවක් තිබුනා. ඔවුන් හිතුවේ නිකරගුවාව හරහා ඇළක් කපන්න. හැබැයි ප්‍රංශය හිතුවේ කොලොම්බියාවේ පැනමා ප්‍රදේශය හරහා මේ ඇළ කපන්න.

පැනමා ඇළ සහ නිකරගුවා ඇළ

ඉතින් 1876 දී ප්‍රංශයේ මූලිකත්වය යටතේ බහුජාතික සමාගමක් මේ සඳහා පිහිටෙව්වා. මේකට කීවේ La Société internationale du Canal interocéanique කියලා. වසර 2 කට පස්සේ මේ වැඩේ කරන්න කොලොම්බියානු රජයේ අවසරය ගන්න ඔවුන් සමත්වුනා. ඒ එකඟතාවය අනුව වසර 15 කින් ඇළ මාර්ගය ඉදි කරනවා. වසර 99 කින් ඇළේ අයිතියි කොලොම්බියාවට ලැබෙනවා.

සූවස් ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතියේ නායකත්වය දරපු Ferdinand de Lesseps ම තමයි මේ ව්‍යාපෘතියක් බාර ගත්තේ. 1881 ජනවාරි 1 වනදා පැනමා ඇළ කැපීම ආරම්භ වෙනවා. හැබැයි සූවස් ඇළ වගේ ලේසියෙන් මේක කරන්න බෑ කියලා ඉක්මණින්ම de Leseps ට තේරෙනවා. සූවස් ඇළ කියන්නේ පැතලි පොළවක් තිබුනු වැලිවලින් වැහුණු කාන්තාරයක් හරහා කපපු ඇළක්. පැනමා ඇල ඊට වඩා හාත්පසින්ම වෙනස්. අත්ලාන්තික් සාගරයයි ශාන්තකර සාගරයයි යා කරන්න නම් පැනමා ප්‍රදේශයේ තිබුනු වනාන්තර සහ කඳු වැටි හරහා ඇලක් කපන්න වෙනවා. කඳුත් පොඩි ඒවා නෙමෙයි, පහත්ම ස්ථානයත් මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 110 ක් උසයි. ඉතින් මේක කපද්දි නිතරම පස් කඩා වැටීම් සහ නාය යෑම්වලට මුහුණ දෙන්න වුනා.

ඉංජිනේරුමය ගැටළුවලට වඩා දරුණු ගැටළුව වුනේ කම්කරුවන් මරණයට පත් වෙන එක. මේක ඝර්මකලාපීය ප්‍රදේශයක්. ඉතින් වර්ෂාවත් එක්ක කහ උණ සහ මැලේරියාව ඉක්මණින් බෝ වෙනවා. ඒ වගේම ඝර්මකලාපීය වනාන්තරවල ජීවත් වෙන සර්පයෝ සහ තවත් මාරාන්තික සත්තුන්ගෙන් අඩුවක් වුනෙත් නෑ. ඉතින් 1881 ඉඳන් 1889 වෙද්දි මිය ගිය කම්කරුවන් ගණන 22,000 ක්.

ඉතින් මේ සේරම ප්‍රශ්න එක්ක මුහුදු මට්ටමේ ඇළක් කපන එක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක් කියලා ඔවුන්ට තේරුනා. ඒ වෙද්දිත් මේ ව්‍යාපෘතියට ⁣⁣ඩොලර් මිලියන 235 ක් පමණ වැය කරලා තිබුනේ. අන්තිමේ 1989 මැයි 15 වනදා ඇළ කපන එක නවත්නන්නේ සම්පූර්ණ දිගෙන් 2/5 ක් පමණ අවසන් කරලා. ව්‍යාපෘතිය නැවැත්වීමට හේතු වුනේ සමාගම බංකොලොත් වීම සහ මූල්‍ය වංචාවක් හෙළි වීම.

කොහොම නමුත් 1894 දී Compagnie Nouvelle du Canal de Panama කියලා අළුත් සමාගමක් පිහිටවලා ආපහු වැඩ පටන් ගන්නවා. නමුත් මේ ව්‍යාපෘතියට ඒ තරම් අවධානයක් ලැබුනේ නෑ. මොකද ඇමරිකාව නිකරගුවාව හරහා මේ වගේම ඇළක් කපන්න සූදානම් වෙලා හිටියේ. ඉතින් ඒක කැපුවොත් ⁣පැනමා ඇළෙන් වැඩක් නැති වෙනවා. ඒ වගේම මුහුදු මට්ට⁣ේ ඇළ මාර්ගයක් කපන එක කරන්න බෑ කියලා මේ වෙද්දි ප්‍රංශ ඉංජිනේරුවන්ට තේරිලා තිබුනේ. ඒ නිසා මුහුදු මට්ටමට වඩා ඉහළින් පවතින ගේට්ටුවලින් දෙකෙළවර වහපු ඇළ මාර්ගයක් හදන්න තීරණය කරනවා.

කොහොම නමුත් මේ වෙද්දි පැනමා ඇලේ කොටසත් කපලා අවසන් හින්දා ඇමරිකාන නිකරගුවාව හරහා අළුත්ම ඇළක් කපන්නේ නැතුව ඩොලර් මිලියන 40 කට අදාළ ප්‍රදේශයේ ප්‍රංශයේ අයිතිය තමන්ට ගන්න පුළුවන්ද  බැලුවා. ප්‍රංශ සමාගම කැමති වුනත් කොලොම්බියානු රජයෙන් මේකට වැඩි සහයෝගයක් ලැබුනේ නෑ. අන්තිමට ඇමරිකානු ජනාධිපති ටෙඩී රෝසවෙල්ට් වෙන විදිහකට මේක කරන්න තීරණය කළා. ඒ වෙද්දිත් පැනමා ප්‍රදේශයේ මිනිස්සු කොලොම්බියාවෙන් නිදහස ගන්න සටන් කරමින් තිබුනේ. ඉතින් පැනමා ඇළ ඉදි කිරීමේ අයිතිව තමන්ට දෙනවා නම් නිදහස දිනා ගැනීමේ සටනට උදව් කරන්නම් කියලා ඇමරිකාව පැනමා වැසියන්ට කියනවා. අවසානයේ වෙන්නේ 1903 දී පැනමාව නිදහස් රාජ්‍යයක් වෙනවා. ඒත් එක්කම් ඇමරිකාවට පැනමා ඇළ කැපීමේ අයිතිය ලැබෙනවා.

ඇමරිකානු ඉංජිනේරුවන් මුළින්ම තේරුම් ගත්ත දෙයක් තමයි මේ වෙනකල් ඝර්ම කලාපීය ප්‍රදේශයක වැඩ කරන කම්කරුවන්ට අවශ්‍ය වන මූලික අවශ්‍යතා ටිකවත් හරියට ⁣ලැබිලා නෑ කියලා. විශේෂයෙන්ම සෞඛ්‍ය පහසුකම් ඉතාම වැදගත් දෙයක් කියලා ඔවුන් තේරුම් ගත්තා. ඒ වගේම කම්කරුවන්ට විනෝද වෙන්න සහ ක්‍රීඩා කරන්නත් පහසුකම් ඉදි කළා. මේ සේරම එක්ක මරණයට පත් වෙන සහ ව්‍යාපෘතිය අද ඇරලා යන කම්කරුවන් ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටුනා. 1906 දී රෝසවෙල්ට් පැනමා ඇලේ ඉදි කිරීම් බලන්න පැනමාවට එනවා. ඒක⁣ ඓතිහාසික සිදුවීමක් වුනේ ඇමරිකානු ජනාධිපති කෙනෙක් ඇමරිකාවෙන් පිටතට ගිය පළමු අවස්ථාව මේක නිසා.

ඇමරිකාව පැනමා ඇළ ඉදි කරපු ආකාරය ප්‍රංශයට වඩා⁣ වෙනස්. මුහුදු මට්ටමේ ඇළ මාර්ගය⁣ කො⁣හොමත්  අත ඇරලානේ තිබුනේ. වෙරළවල් දෙක යා කරලා සම්පූර්ණ ඇළක් කපන්නේ නැතුව Chagres ගඟ හරස් කරලා වේල්ලක් බැන්දා. මේකෙන් අති විශාල ජලාශයක් නිර්මාණය වුනා. ඉතින් ඇළේ කොටසක් තමයි මේ Gatun විල. මේක ඒ කාලය වෙද්දි මිනිසුන් ඉදි කරපු විශාලතම ජලාශය වුනා.

අනිත් අභියෝගය තමයි සාගර සහ ඊට ඉහළින් තියන ඇළ සම්බන්ධ කරන එක. ඒකට භාවිතා කරන්නේ Locks. මේ Lock එකක් කියන්නේ දොරවල් දෙකක් තියන තටාකයක්. දොරවල් දෙකට පිටින් ජල මට්ටම් වෙනස්. මුළින්ම නැවක් එන පැත්තේ ජල මට්ටමට සමාන වෙන්න Lock එකට ජලය පුරවනවා. ඊට පස්සේ ඒ පැත්තේ දොර ඇරලා නැව ඇතුලට ගන්නවා. නැව ඇතුලට ආවට පස්සේ ආපු පැත්තේ දොර වහලා අනිත් පැත්තේ ජල මට්ටමට ලොක් එක ඇතුලේ ජල මට්ටම සමාන කරනවා. ඊට පස්සේ ඒ පැත්තේ දොර ඇරලා නැව යනවා. මේක හරියට ජල සෝපානයක් ව⁣ගේ.

පැනමා ඇලේ මේ වගේ Locks 12 ක් තියනවා. හැබැයි මෙතන එකිනෙකට සමාන්තරව යන මාර්ග 2 ක් තියනවා. ඒ නිසා එක ඇළ මාර්ගයකට Locks තියෙන්නේ 6 යි. 3 ක් ශාන්තකර සාගරය පැත්තේ. 3 ක් අත්ලාන්තික් සාගරය පැත්තේ. පැනමා ඇලේ ජල මට්ටමට සාගර ජල මට්ටමට වඩා මීටර් 26 ක් ඉහළින් තියෙන්නේ. ඉතින් අදියර 3 කට තමයි නැව් උස්සන්නේ සහ පහත් කරන්නේ. ඒ කාලයේ කොන්ක්‍රීට් යොදා ගෙන කරපු සංකීර්ණතම ඉදි කිරීම වුනේ පැනමා ඇළේ Locks.

1913 ඔක්තෝබර් 10 වෙනිදා ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් එවපු ටෙලිග්‍රාෆ් සංඥාවකින් පැනමා ඇලේ මැද තිබුනු අන්තිම පස් කන්ද පුපුරවා දමනවා. ඒකත් එක්ක පැනමා ඇළට ජලය පිරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉංජිනේරු විශ්මයක් වෙන පැනමා ඇළ හැදුවේ. ඇමරිකාවට ඩොලර් මිලියන 375 ක් වියදම් වුනා ඇළ වෙනුවෙන්. ඉතින් දශක ගණනාවක් ඇමරිකාවෙන් පාලනය කරපු පැනමා ඇළ 1999 දී පැනමා රජයට භාර දෙනවා.

නෞකාවල විශාලත්වය වැඩි වෙද්දි සහ දවසකට ගමන් කරන නෞකා ප්‍රමාණය වැඩි වෙද්දි පවතින Locks සෙට් දෙකට අමතරව තවත් සෙට් එකක් අවශ්‍යයි කියලා පැනමාව තීරණය කරනවා. 2006 දී රටේ පවත්වන ජනමත විචාරණයකින් මේක අනුමත වෙනවා. ඉතින් 2016 දී මේ තුන්වන Locks සෙට් එක විවෘත කරනවා. මේකත් අනිත් Locks සෙට් වගේම දෙපැත්තේ Locks 3 බැගින් තියන තවත් ගමන් මාර්ගයක්.

පැනමා ඇළේ සම්පූර්ණ දිග කිලෝමීටර් 82 ක්. ඒකෙන් කිලෝමීටර් 24 ක්ම ගැටුන් ජලාශය හරහා යන්නේ. මේ මිරිදිය ජලාශය පැනමාවේ ප්‍රධාන පානීය ජල සැපයුමක් වගේම ජල විදුලි උත්පාදනයටත් යොදා ගන්නවා. 1914 දී වසරකට නැව් 1,000 ක් පමණ ගමන් කරපු පැනමා ඇලේ දැන් වසරකට නැව් 14,000 ක් පමණ යනවා. පැනමාවේ ජනගහනය ලංකාවෙන් 1/5 ක් පමණ වුනාට පැනමාවේ දළ දේශීය නිෂ්පාදිතය ලංකාවට වඩා පොඩ්ඩක් වැඩියි. ඒකෙන් 3% ක් විතර පැනමා ඇලේ යන නැව්වලින් ලැබෙන මුදල්.