Loading...
ලෝකයේ ලොකුම ටෝපිඩෝව ගැන දැන ගනිමු

මුහුද මතුපිටදී තුවක්කු හා මිසයිල වලින් ඕනම නැවකට සටන් කරන්න පුළුවන්. ඒත් මුහුද යටදි ඒ කිසිවකින් වැඩක් වෙන්නේ නෑ. ඉතින් ටෝපිඩෝ භාවිතා කරන්නෙ ඒ නිසයි. මුහුද යටදී භාවිතා වෙන ප්‍රධානතම ආයුධය තමයි Torpedo. මේ ලිපියෙන් කියන්න යන්නේ දැනට ලෝකයේ තියෙන ලොකුම හා බලවත්ම ටෝපිඩෝව ගැන. මුලින්ම අපි විශේෂ සබ්මැරීන් එකකින් කතාව පටන් ගමු.

බෙල්ග්‍රෝඩ් සබ්මැරීනය (Belgorod)

රුසියාවේ පලමු පස්වන පරම්පරාවේ සබ්මැරීනය වන්නේ මේ Belgorod. Belgorod සබ්මැරීනයේ නිශ්පාදන කලයුතු ආරම්භ වූයේ 1992 වසරේදී. ඒ Oscar II පන්තියේ කෲස් මිසයිල සබ්මැරීනයක් ලෙසින්.

නමුත් සෝවියට් දේශයේ බිඳ වැටීම හේතුවෙන් ඇති වූ ආර්ථික අවපාතයන් හමුවේ 1998 වසරේදී අර්ධ වශයෙන් නිම කර තිබු Belgorod හි ඉදිකිරීම් අත්හිටුවීමට තීරණය වෙනවා. ඉන්පසු 2000 අගෝස්තුවේදී Belgorod හි සහෝදර සබ්මැරීනයක් වූ Kursk විනාශ වීම හේතුවෙන් ඒ අඩුව පිරවීමට නැවත වතාවක් Belgorod හි ඉදිකිරීම් ආරම්භ කරනවා. නමුත් ඒ වනවිට කෲස් මිසයිල සබ්මැරීන් වල අවශ්‍යතාවය Yasen class සබ්මැරීන් මගින් සපුරා ගැනීමට හැකිවීම නිසා මෙහි ඉදිකිරීම් කටයුතු දිනෙන් දින කල් යනවා. අවසානයේ 2012 දී තීරණය වන්නේ විශේෂිත සබ්මැරීන් ව්‍යාපෘතියක් ලෙස Belgorod හි කටයුතු ඉදිරියට කරගෙන යාමට.

Belgorod සබ්මැරීනය 

Belgorod නිර්මාණය කලේ විශේෂිත අරමුණු 2 ක් ඉටුකර ගැනීමටයි. පලමු අරමුණ කුඩා සබ්මැරීනයක මව් නෞකාව ලෙස කටයුතු කිරීම වන අතර අනෙක පොසයිඩන් (Poseidon) රැගෙන යන පලමු වේදිකාව ලෙස ක්‍රියාත්මක වීම සඳහා යි. මෙයින් වඩාත් වැදගත් වන්නේ දෙවනියට සදහන් කල poseidon රැගෙන යාම.

මොකක්ද මේ පොසයිඩන් (Poseidon)

Poseidan කියන්නේ ලොව ඇති විශාලතම ටෝපිඩෝවයි. දිගින් මීටර් 20 ක් හා විශ්කම්භය මීටර් 1.8 වන Poseidon ටෝපිඩෝවේ උපරිම ස්කන්ධය මෙට්‍රික් ටොන් 100 ක් පමණ අගයක් ගන්නවා. (සාමාන්‍යයෙන් භාවිතා වන Torpedo එකක දිග 5-7 m අතර වෙනවා.)

සාමාන්‍ය ටෝපිඩෝවක හැකියාව ඉක්මවා යමින් 1 km (3250 ft) ගැඹුරු මුහුදේත් Phosidon ක්‍රියාත්මක වනවා. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන නිසා අසීමිත මෙහෙයුම් පරාසයක් Poseidon වෙත ඇතැයිද පැවසෙනවා.

එමෙන්ම මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 185 (100 knots) ලෙස සඳහන් වනව වගේම එම වේගය ඉක්මවා යාමට හැකි කිසිදු නෞකාවක් හෝ සබ්මැරීනයක් ලොව ඇත්තේ නෑ. කෘත්‍රිම බුද්ධියකින් හා චන්ද්‍රිකා මගපෙන්වීමේ පද්ධතියකින් Poseidon ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් එය ඩ්‍රෝනයක් ලෙසද හැඳින්වෙනවා.

Poseidon Torpedo ව 

තාපන්‍යෂ්ටික යුද ශීර්ෂයකින් Poseidon සන්නද්ධ වන අතර මෙගා ටොන් 100 ක ප්‍රබලත්වයක් ඇති පිපිරීමක් එයින් සිදුකළ හැකියි. පිපිරීමේ බලපෑමෙන් කිලෝමීටර (1700 x 300 ) ක ප්‍රදේශයක් විකිරණශීලී බලපෑමට ලක්විය හැකියැයි උපකල්පනය කරනවා. එමෙන්ම පිපිරීම මගින් මීටර් 500 ක් උස විකිරණශීලී සුනාමි රැල්ලක් ඇතිවේ යැයි පැවැසෙනවා. ඒත් මේ රැල්ල ගැන කතාව විවාදිතයි. සම්පූර්ණ මට්ටමේ පරීක්ෂණ කරන්න බැරි නිසා මේක නිල දත්තයක් කියල කොහොමවත් කියන්න බෑ. 500 m උස සුනාමියක් කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

කොහොම වුණත් ඇතැම් වාර්තා වලට අනුව මෙතරම් හානියක් Poseidon වෙත සිදු කළ නොහැකියි. එහි වේගය, පිපුරුම් ධාරිතාව හා ඇතිවන රැල්ල පවතින දත්ත වලට වඩා බොහෝසෙයින් අඩු බව එම වාර්තා පෙන්වා දෙනවා. මැතකදී නිකුත් වූ වීඩියෝවකට අනුව ටෝපිඩෝවේ බඳ ටයිටේනියම් වලින් නිපදවා ඇති බව දකින්න පුළුවන්. ටෝපිඩෝවේ ශබ්දය අඩු කිරීම සඳහා Water jet එකකින් ක්‍රියාත්මක වීමටයි මෙය නිර්මාණය කර ඇත්තේ.

ටෝපිඩෝව යම් තැනක සිට මුදා හැරිය පසු ඉලක්කගත ප්‍රදේශයට ළඟා වීමට පෙර එය ඉතා අඩු වේගයකින් ක්‍රියාත්මක වෙනවා. 2-3 km වැනි දුරකදී සතුරාට එය හඳුනාගැනීමේ සම්භාවිතාව වැඩි වන අතර එතැන් සිට අධිවේගයකින් ක්‍රියාත්මක වන ලෙසටයි Poseidon සකසා ඇත්තේ.
එයට සතුරු ඉලක්කය දෙසට සති ගණනාවක් පුරා වුවද ගමන් කළ හැකියි. Newyork / Los Angeles වැනි වෙරළබඩ නගරයක් සම්පූර්ණයෙන් විනාශ කිරිමේ හැකියාව Poseidon සතුයි.

New York වෙත Poseidon වලින් කල හැකි හානිය 

Poseidon පිළිබඳ මුල් වරට අනාවරණය වූයේ 2015 වසරේදී. ඒ ජනපති Vladimir putin සිදුකළ කතාවක් අතරතුරදී ඒ පිළිබඳව හෙළිදරව් වීම සමගින්. Status 6 ලෙසින් එය හදුන්වා දී තිබුණු අතර එය නිල වශයෙන් Poseidon ලෙසින් නම් කරන ලද්දේ 2018 මාර්තු මාසයේදී. පෙන්ටගනයට අනුව 2016 වසරේදී ආක්ටික් සාගරයේ ස්ථානයක Poseidon අත්හදා බැලීම් කර තිබෙනවා.

Poseidon යනු ටෝපිඩෝවක් නොව ටෝපිඩෝ කාණ්ඩයක් යැයිද පැවසෙනවා. වෙරළබඩ නගර විනාශ කිරීම සදහා එක් Poseidon වර්ගයකුත්, ගුවන්යානා ප්‍රවාහන නෞකා කණ්ඩායම් ( Carrier Strike groups) විනාශ කිරීම සඳහා තවත් Poseidon වර්ගයකුත් නිපදවේයැයි සඳහන් වෙනවා.

රුසියානු හමුදාව Poseidon ටෝපිඩෝ 30 ක් නිපදවීමට සැලසුම් කර තිබෙනවා. මේවා ප්‍රවාහනයට විශේෂිත සබ්මැරීන් 5 ක්ද නිපදවමින් පවතිනවා. Belgorod එසේ නිපදවූ පලමු සබ්මැරීනයයි. Poseidon ටෝපිඩෝ 6 ක් Belgorod වෙත රැගෙන යා හැකියි. Khabarovsk පන්තිය Poseidon ගෙනයන අනෙකුත් සබ්මැරීන් යාත්‍රායි. මෙම පන්තියේ යාත්‍රා එකකවත් ඉදිකිරීම් තවමත් අවසන් වී නැහැ.

දෙවැනි අරමුණ - Losharik

Belgorod නිර්මාණය කල අනෙක් අරමුණ වන්නේ මව් නෞකාවක් ලෙස ක්‍රියාත්මක වීම. Belgorod ආධාරක වන්නේ ලොෂාරික් නම් කුඩා සබ්මැරීනයටයි. Losharik මීටර් 60 ක් පමණ දිගින් යුතු වන අතර එයට මීටර් 2500 ක් ගැඹුරට කිමිදිය හැකියි. එය ගැඹුරු මුහුදේ විශේෂ මෙහෙයුම් කටයුතු සදහා යොදා ගැනීමට අදහස් කෙරෙනවා.

Losharik සබ්මැරීනය Belgorod හි යට කොටසේ රඳවා තබාගෙන යාමට හැකිවන ලෙසයි නිර්මාණය කර තිබෙන්නේ. 2019 වසරේදී මෙහි ඇතිවූ ගින්නක් හේතුවෙන් නාවිකයන් 14 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. හානිය හේතුවෙන් මෙතෙක් එය අලුත්වැඩියා කරමින් පැවතින්නේ.

Belgorod සබ්මැරීනය . එහි යටින් Losharik දැකිය හැකිය. උඩින් Belgorod හි චන්ද්‍රිකා ඡායාරූපයක් දැක්වේ. 

Losharik සමග Poseidon සන්නද්ධ කර Belgorod සේවයට එක් වනවිට 2027 වසර වේ යැයි අපේක්ෂා කෙරෙනවා. Belgorod දිගින් මීටර් 185 ක් පමණ වන අතර න්‍යෂ්ටික බලයෙන් බලගැන්වෙනවා. knots 32 ක වේගයකින් හා 110 ක කාර්ය මණ්ඩලයකින් සමන්විත Belgorod හට මාස 3 ක් සැපයුම් රහිතව මුහුදට වි සිටීමේ හැකියාව තියෙනවා. එය පසුගිය සතිය තෙක් අත්හදා බැලීම් කටයුතු වල නිරතවෙමිනුයි සිටිිියේ. ඒ වගේම පසුගිිය ජුලි 8 වෙනි​දා Belgorod නිල වශයෙන් සක්‍රීය කරනු ලැබුුුවා.

ඉදිරියේදී බෙල්ග්‍රෝඩ් බැලස්ටික් මිසයිල සබ්මැරීනයක් තරමටම වැදගත් කාර්යයක් ඉටු කරනු ඇති. ඇතැම් මූලාශ්‍ර වල Belgorod වෙත SSDN ලෙස නව Hull අංකයක් ලබා දී තිබෙනවා. Belgorod වෙතින් Poseidon ප්‍රහාර දියත් කරනු ඇත්තේ යුද්ධයකදී අවසන් අදියරේදී. ඒ ලෝක විනාශකාරී සිදුවීමක් ඇති කරමින්.

Poseidon අත්හදා බැලීම් කිරීමට පෙර