Loading...
ලොව පළමු 3D මුද්‍රිත රොකට්ටුව "Terran 1" අද අභ්‍යාවකාශයට

ලෝක ඉතිහාසයේ 3D මුද්‍රණය කිරීම මඟින් නිෂ්පාදනය කළ පළමු රොකට්ටුව වන, Relativity Space සමාගමේ Terran 1 රොකට්ටුව අද (08) රාත්‍රියේ කක්ෂගත කිරිමට නියමිත වනව. සමාගමේ පළමු රොකට් දියත් කිරීම වන මේ සඳහා ප.ව. 11.30 (IST) ට විවෘත වන දියත් කවුළුව පැය 3 ක් පුරාවට පැවතුන අතර කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ හමුදා මූලස්ථානයේ Launch Complex 16 පුවරුවෙන් දියත් කරන මේ රොකට්ටුව කිලෝමීටර් 200 ක් ඉහළ වෘත්තාකාර කක්ෂයකට ඇතුළු විමට නියමිත වෙනවා.

Image Source - parabolicarc

50 දශකයේ සිටම අද වනතුරුත් සියළුම කක්ෂීය රොකට් නිෂ්පාදනය කරන්නේ සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රමවලිනි. එනම් Lathe, Milling, Press, Welding වැනි උපකරණ යොදා ගෙනයි. 20 වන සියවසේදී Additive Manufacturing හෙවත් 3D Printing ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන නිෂ්පාදන ක්‍රමවේදය ඉංජිනේරුවන් භාවිතා කිරීම ආරම්භ කරයි. මේ වන විට ⁣රොකට් නිෂ්පාදන ක්ෂේත්‍රයටත් 3D Printing භාවිතය ඇරඹි තිබෙන අතර රොකට්වල විවධාකාර කොටස් සඳහා මෙය භාවිතා කරන ලදී. Rocket Lab සමාගම පළමු වරට සම්පූර්ණ රොකට් එන්ජිමක්ම 3D Printing මඟින් නිෂ්පාදනය ආරම්භ කරයි. ඒ ඔවුන්ගේ Electron රොකට්ටුවේ Rutherford එන්ජින්ය සමගිනුයි. නමුත් රොකට්ටුවක බඳේ ප්‍රධානම සහ විශාලතම කොටස වන ටැංකි නිෂ්පාදනය සාම්ප්‍රදායික ක්‍රමවලටම සිදු කර තිබෙනවා.

Relativity Space සමාගමේ 3D ප්‍රින්ටරයක්. (Image Source - Relativity Space)

Relativity Space සමාගම ආරම්භ කරන්⁣නේ 2015 ව⁣සරේදීයි. විශ්ව විද්‍යාල මිතුරන් වූ Tim Ellis සහ Jordan Noone විසින් මෙම සමාගම ආරම්භ කරන්නේ රොකට් නිෂ්පාදනය කරන තාක්ෂණය උඩු යටිකුරු කිරීමේ අරමුණින්ය. ඔවුන්ට අවශ්‍ය වූයේ සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රමයන් හැකිතාක් දුරට ඉවත් කර 3D Printing මඟින්ම රොකට්ටුවේ ටැංකි සහ අනෙකුත් කොටස් නිෂ්පාදනයටයි. Ellis මෙම සමාගම ආරම්භ කිරීම⁣ට පෙර Blue Origin සමාගමේ රොකට් එන්ජින් සම්බන්ධ ඉංජිනේරුවෙක් ලෙස සේවය කර තිබුණි. Blue Origin සමාගමේ සහ SpaceX සමාගමේ රොකට් එන්ජින් සම්බන්ධ ඉංජිනේරුවෙක් වූ Noone ටත් රොකට් යනු අළුත් දෙයක් නොවේ.

Terran 1 රොකට්ටුව

Mark Cuban වැනි බිලියනපතියන්ගේ ආයෝජන සමඟින් Relativity සමාගම ඩොලර් බිලියන 1.3 ක් පමණ පෞද්ගලික මුදල් ලබා ගැනීමට සමත් වූ අතර 2021 වන විට සමාගමේ වත්කම ⁣ඩොලර් බිලියන 4.2 ක් ලෙස තක්සේරු කරන ලදී.

සමාගමේ පළමු රොකට්ටුව හඳුන්වන්නේ Terran 1 නමිනි. මෙය මෙට්‍රික් ටොන් 10 ක ස්කන්ධයක් ඇති අතර මීටර් 35.2 ක් උස, මීටර් 2.3 ක විෂ්කම්භයක් ඇති අදියර 2 ක ද්‍රව ඉන්ධන රොකට්ටුවකි. පළමු අදියර ක්‍රියා කරන්නේ නිව්ටන් 100,000 ක තෙරපුම් බලයක් උත්පාදනය කරන Aeon 1 රොකට් එන්ජින් 9 කින් වන අතර දෙවන අදියර තනි AeonVac එන්ජිමකින් බල ගැන්වේ. මෙම රොකට් එන්ජින් ක්‍රියා කරන්නේ ද්‍රව මීතේන් සහ ද්‍රව ඔක්සිජන්වලිනි. මෙම රොකට්ටුව මඟින් මෙට්‍රික් ටොන් 1 ක් පමණ පහළ පෘථිවි කක්ෂයකට ගෙන යෑමට හැකියාව ඇත.

රොකට්ටුවේ පළමු අදියර Aeon 1 රොකට් එන්ජින් පරීක්ෂාවක් (Image Source - Orlandosentinel

Terran 1 රොකට්ටුවේ ස්කන්ධයෙන් 85% පමණ 3D Print කිරීමෙන් නිෂ්පාදනය කර ඇත. ඒ නිසා මෙය සම්පූර්ණයෙන්ම පාහේ 3D Print කිරීමෙන් සෑදූ පළමු කක්ෂීය රොකට්ටුව වේ. එමෙන්ම තවමත් ද්‍රව මීතේන්වලින් ක්‍රියා කරන රොකට්ටුවක් කක්ෂයට ළඟා වී නොමැත. ඊටත් වඩා මේ වනතුරු පෞද්ගලික මුදල්වලින් සංවර්ධනය කළ ද්‍රව ඉන්ධනවලින් ක්‍රියා කරන කක්ෂීය රොකට්ටුවක් පළමු උත්සාහයෙන්ම කක්ෂයට ළඟා වී නොමැත. ඉතින් Terran 1 රොකට්ටුව අද සාර්ථකව කක්ෂයට ළඟා වුවහොත් එය ඉතිහාසයේ පළමු ස්ථාන කිහිපයක්ම හිමි කර ගනී.

Terran 1 රොකට්ටුව (Image Source - Spaceflightnow)

Relativity Space සමාගම මෙම දියත් කිරීම නම් කර ඇත්තේ Good Luck, Have Fun ලෙසයි. ඒ මෙම දියත් කිරීම සම්පූර්ණයෙන්ම පරීක්ෂණ මෙහෙයුමක් වන නිසාය. චන්ද්‍රිකාවක් හෝ කිසිදු ක්‍රියා කරන අභ්‍යවකාශ යානයක් මෙම රොකට්ටුවේ ගෙන යන්නේ නැත. සමාගමේ පළමු දියත් කිරීමේදී ගෙන යන්නේ සමාගම විසින් මුළින්ම 3D Print කළ කොටසක්ය.

Relativity Space සමාගම මේ වන විටත් ඔවුන්ගේ දෙවන රොකට්ටුව සංවර්ධනය කරමිනි සිටී. Terran R ලෙස හඳුන්වන මේ රොකට්ටුව සම්පූර්ණයෙන්ම නැවත භාවිතා කළ හැකි අදියර 2 ක රොකට්ටුවකි. ඔවුන් ඒ රොකට්ටුව සදහා භාවිත කිරිමට නියමිත Aeon R රොකට් එන්ජිම මේ වන විටත් පරීක්ෂා කරමින් සිටියි. SpaceX සමාගම මෙන් ඉතාමත් වේගයෙන් ක්‍රියා කරන සමාගමක් වන Relativity Space දැනටමත් ඩොලර් බිලියන 1.65 ක දියත් කිරීම් කොන්ත්‍රාත්තු Terran R රොකට්ටුව වෙනුවෙන් දිනා ගෙන ඇත.

Terran 1 සහ Terran R (Image Source - Reuters

ඒ සියල්ලටම පෙර Terran 1 රොකට්ටුව අද රාත්‍රියේ දියත් කරනු ඇත. ඉතින් Terran 1, Good Luck, Have Fun!

Sources: Relativityspace Space