මේක ඇත්තද බලන්න කලින් අකුණක් කියන්නෙ මොකක්ද කියල හොයාගන්න වෙනව.

අකුණක් උපදින්නෙ වලාකුලක මැද කොටසෙන්. මේහරියෙ උෂ්ණත්වය ගොඩක් අඩුයි. සෙල්සියස් බින්දුවට අඩු අගයක්. මේ හරියෙ නිරන්තරයෙන් තියනව ඉහලට ගමන් කරන වේගවත් සුලං ප්‍රවාහ. අඩු උශ්ණත්වය නිසා කුඩා ජල බිඳිති අයිස් වෙනව.

මීට අමතරව තව සිනිඳු හිම පියලි හැදෙනව. සුලං නිසා හිම පියලි උඩටත් ස්කන්ධය වැඩි ජලබිඳිති, අයිස් කැට පහලටත් යනව. අයිස්/ජල බිඳිති හා හිම පියලි ගැටීම නිසා මේවට ස්ථිති විද්‍යුත් ආරෝපණ ලැබෙනව. අයිස්/ජල බිඳිති සෘණ විදිහටයි හිම ධන විදිහටයි. බර ඒව පහලට එනව. බර අඩු හිම පියලි උඩට යනව සුලං නිසා.

මේ විදිහට වලාකුලක යට සෘණ විදිහටත් උඩ ධන විදිහටත් ආරෝපණ වෙනව. වලාකුලු කැමති නැ තමං ආරෝපණය වෙනවට. ඉතින් හැමතිස්සෙම තමංගෙ ආරෝපණ අඩු කරගන්න බලනව. මෙහෙම අඩුකරගන්න එකට තමා අකුණක් කියන්නෙ.

අකුණු වර්ග 3ක් ප්‍රධානව දකින්න පුළුවන්

  1. වලාකුල තුලම අකුණු.
  2. වලාකුලු වලාකුලු අතර අකුණු.
  3. වලාකුලු පොළොව අතර අකුණු.

මුල් දෙක ඉතින් හිතාගන්න පුළුවන්නෙ වලාකුලු වල වෙනස් ආරෝපණ අතර ආකර්ෂණ නිසා අකුණ ඇතිවෙන හැටි. පොලොව හා වලාකුලු අතර අකුණු මීට වෙනස්. මුලින්ම වෙන්නෙ වලාකුල ආසන්නයේ වායුව අයණීකරණය වීම. (වායු අණු වලින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා/ලැබිල ඒවට ආරෝපණයක් ලැබීම) සාමාන්‍යයෙන් වායුගෝලය විද්‍යුත් සන්නායක වෙන්නෙ නෑ. හැබැයි අයණීකරණය වෙච්ච වායුගෝලය හොඳ සන්නායකයක්.

මේක හරියටම වෙන්නෙ කොහොමද කියල තාමදන්නෑ. නමුත් වලාකුලුවල ආරෝපණ හැදෙන්නෙ ඉලෙක්ට්‍රෝන එකතුවෙලා නිසා ඊට ආසන්න වායු අණු වල ඉලෙක්ට්‍රෝන වලට බලපෑමක් කරනව වෙන්න පුළුවන්.

කොහොම නමුත් ස්වල්පයක් අයණීකරණය වෙච්ච ගමන් වටේ තියන සේරම ආරෝපණ අර පොඩි කොටසට රිංගන්න බලනව. ඒකෙන් වෙන්නෙ ඒකොටසේ වායුව අධික උශ්ණත්වයකට ලක්වීම. මෙහෙම අධිකව රත් වෙච්චි වායුවට ප්ලාස්මාවක් කියනව. මේ ප්ලාස්මාවෙන් කෘෂ්ණ වස්තු විකිරණය නිසා දීප්තිමත් ආලෝකයක් විහිදෙනව. කොච්චර රත් වෙනවද කිව්වොත් සූර්යාගේ මතුපිට වගේ කීප ගුණයක් රත් වෙනව. ආසන්න වශයෙන් 30,000°C වගේ!.

එන්නෙ එන්නම එන ආරෝපණ නිසා මේ ප්ලාස්මාව බටයක් වගේ ඉදිරියට දිගුවෙනව. හැබැයි කෙලින් නෙවේ. ගහක මුලක්වගේ බෙදෙමින් ඉදිරියට ඇදෙනව. මේ බටේ මහපට ඇඟිල්ලක් තරම් පොඩී. ප්ලාස්මාව ඉතින් අර කලින් කිව්ව කෘෂ්ණ වස්තු විකිරණය නිසා අධික දීප්තිමත් ආලෝකයක් විහිදුවනව. මේ තමා අකුණ.

හැබැයි මේකට පොලොවට ඇදෙන්න බෑ තනියෙන්. පොලොවෙන් සපෝර්ට් එකක් ඕන. පොලොවෙ ඉඳනුත් අයණීකරණය වෙච්ච වායු නලයක්/ධාරාවක් ඉහලට යන්න ඕන. පොලොව සෘණ ආරෝපිතයි නැත්තං ආරෝපණ රහිතයි කිව්වට වලාකුලු එක්ක බැලුවම පොළොව අධික ධන ආරෝපිතයි. මොකද වලාකුලු වලට වඩා අඩු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන්නෙ පොලොවෙ.

පොලොව ආසන්නයේත් සුලු වශයෙන් අයණීකරණය වෙච්ච වායු අණු තියෙන්න පුළුවන් මේනිසා. පොලෝගත කරපු සන්නායක වගේ දේවල් වලින් ස්ථිති විද්‍යුත් ආරෝපණ ගොඩනගල අයණීකරණය වෙච්ච වායු කොටස් හදාගන්න පුළුවන්. ඉහල ඉඳන් වලාකුලේ ආරෝපණය එනකොට ඊට ප්‍රතිචාර විදිහට පහල ඉඳන් ඊට විරුද්ධ ආරෝපණයක් ඒකට ආකර්ෂණ වෙනව. හැබැයි පොලොවෙන් උඩට යන එක අපිට පේන්නෑ මොකද ඒක අරක වගේ රත්වෙන්නැති නිසා.

හැබැයි කෙනෙක්ට හෙණගහන්න කලින් ඇඟේ මයිල් කෙලින් වෙන එක නම් ඕකෙන් පැහැදිලි කරන්න පුළුවන්. මේ දෙක සම්බන්ධ උණාම පොලොවට හෙණ ගහනව. උඩ කියපු සම්පූර්ණ ක්‍රියාවලියටම යන්නෙ තප්පරේටත් වඩා අඩු කාලයක්.

එතකොට ෆෝන් වලට හෙණ ගහන කතාව?

ෆෝන් වලින් පාවිච්චි කරන විද්‍යුත් චුම්බක තරං පරාසයට තියෙන්නෙ අතිශය සුලු අයණීකරණ හැකියාවක්. ඒනිසා ෆෝන් එකක් විසින් අරවගේ අයණීකරණය වෙච්ච වායු කොටසක් හදාගන්න බැහැ. ඒනිසා ෆොන් වලට අකුණු අදින්නෙ නැහැ.

නමුත් වක්‍ර ක්‍රමයක් තියනව ෆෝන් එකට වක්‍රව හෙණ ගහන. ඒතමා මීහරක් වගේ හෙණගහන වෙලාවට ෆෝන් එක චාජරේට ගහන් ඒක පාවිච්චි කරන එක. විදුලි පද්ධතිය දිගේ අකුණක් ඇවිල්ල ඒක ෆෝන් එකට වැදිල පාවිච්චි කරපු එකා මැරෙන එක ෆොන් එකට හෙණ ඇද ගැනීමේ එකවුන්ට් එකට දාන්න බෑ. ඒක දාන්න පුළුවන් අදාල මැරිච්ච එකාගෙ අඩු IQ එකවුන්ට් එකට.

එහෙමත් නැත්තං සෘජුව අකුණක් ගහන තැනකට වෙලා හිටියත් හෙණ ගහනව. ඒවගේ වෙලාවට උගේ අතේ ෆෝන් එක නෙවේ පාංගෙඩියක් එකක් තිබ්බත් හෙණ ගහනව. අකුණු ගැන දේවල් කීපයක් කිව්වොත් සෑම මොහොතකම පෘතුවියේ කොහෙට හරි අකුණු 40ක් වදිනව. හැම එකම පොලොවට නෙවේ. එතකොට දවසකට අකුණු මිලියන 40ක් විතර.

අකුණක වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් මිලියන 100ක් විතර. අකුණක පවර් එක ඇවරේජ් එකක් විදිහට ගත්තම කිලෝවොට් පැය 250ක් වගේ.

අකුණු පෘතුවියේ විතරක් නෙවෙයි වෙනත් ග්‍රහලෝක වලත් ඇතිවෙනව. විශේෂයෙන් බ්‍රහස්පති වගේ වායුමය දැවැන්තයන්ගෙ. පෘතුවියේ අකුණු පෘතුවියේ ජීවයට වැදගත්. නයිට්‍රජන් චක්‍රයට එහෙම.