Loading...
ලොව පලමු සාර්ථකම Hybrid රථය (Toyota Prius NHW10)

1997දී ප්‍රථම වරට අලෙවිය ආරම්භ කරන ලද Toyota Prius රථය මහා පරිමාණයෙන් නිපදවන ලද පලමු දෙමුහුන් වාහනය බවට පත්විය. පසුව එය 2000 දී ලොව පුරා හඳුන්වා දෙන ලදී. ප්‍රියස් රටවල් 90 කට අධික සංඛ්‍යාවක විකුණනු ලබන අතර ජපානය සහ එක්සත් ජනපදය එහි විශාලතම වෙළඳපොල වේ. ලෝකය පුරා ප්‍රියස් රථ අලෙවිය 2008 මැයි මාසයේදී වාහන මිලියනයක සන්ධිස්ථානයක්, 2010 සැප්තැම්බර් මාසයේදී මිලියන 2 ක්, සහ 2013 ජුනි මාසයේදී මිලියන 3 සීමාව පසු කළේය.

2011 අප්රේල් මස මුල වන විට එක්සත් ජනපදයේ මිලියනයක විකුණුම් අත්පත් කර ගත් අතර, ජපානය 2011 අගෝස්තු මාසයේදී මිලියනයක සීමාව කරා ළඟා විය. 2017 ජනවාරි වන විට, ප්‍රියස් ලොව මිලියන 4 කට ආසන්න අලෙවියක් සහිත ලොව වැඩිම අලෙවියක් සහිත දෙමුහුන් මෝටර් රථය විය.

ප්‍රියස් යනු ලතින් වචනයක් වන අතර එහි අර්ථය “පළමු”, “මුල්”, “උසස්” හෝ “පෙර යාමට” යන්නයි. ("first", "original", "superior" or "to go before").

1995 දී Toyota ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී සිය ප්‍රථම Hybrid මෝටර් රථයක් එළිදැක්වූ අතර ඉන් වසරකට පසුව එය පරීක්‍ෂා කරන ලදී. ඉන් පසු පළමු ප්‍රියස් මාදිලිය (NHW10) 1997 දෙසැම්බර් 10 වන දින අලෙවිය ආරම්භ කරන ලදී. පළමු පරම්පරාවේ ප්‍රියස් ලබා ගත හැකි වූයේ ජපානයේ පමණි. එය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට පුද්ගලිකව ආනයනය කර ඇති අතර ශ්‍රී ලංකාවටද රථ 32ක් ආනයනය කර ඇත. කණගාටුවට කරුන නම් දැනට එයින් ධාවන තත්වයේ පවතින්නේ 10කටත් අඩු සංඛ්‍යාවක් වීමය.

පළමු පරම්පරාවේ ප්‍රියස් අලෙවිය ආරම්භ කරන විට ලොව ප්‍රථම මහා පරිමාණයෙන් නිපදවන ලද පෙට්‍රල්-විදුලි දෙමුහුන් මෝටර් රථය බවට පත්විය. 1997 දී එය හඳුන්වා දීමේදී එය Car of the year Japan සම්මානය දිනා ගත් අතර 1998 දී එය Automotive Researchers' and Journalists' Conference Car of the year සම්මානය දිනා ගත්තේය.

මෙය අයිචි හි Toyota සමාගමට අයත් ටකෝකා කම්හලේ 1997 දෙසැම්බර් මාසයේදී නිෂ්පාදනය ආරම්භ වූ අතර, වාහන 37,425 ක් සමුච්චිත නිෂ්පාදනයෙන් පසු 2000 පෙබරවාරි මාසයේදී අවසන් විය.

1998 වර්ශයේදී ලංකාවට ආනයනය ආරම්භ කරන ලද මෙම රථය අවසන් වරට ආනයනය කර ඇත්තේ 2001 වසරේදියි. එම කාල වකවානුව තුල තාක්ෂණය අලුත් වීම නිසාත් අමතර කොටස් වල මිල අධික බව නිසාත් ප්‍රචලිත නොවු මෙම වාහනය වාහන 32කට පමණක් සීමා විය.

අප එදිනෙදා දකින Prius මාදිලියට වඩා වෙනස් වූ මෙය දොර 4කින් සමන්විත සෙඩාන් වර්ගයේ රථයක් ලෙස වෙළඳපොලට හඳුන්වා දුන් අතර මෙය ඉඳිරිපස රෝද වලින් ධාවනය වන (Front wheel drive) රථයක් විය. මෙය දිග 4275mm ලෙසත් පලල 1695mm ක් ලෙසත් 1491mm උසකිනුත් ප්‍රමාණය දැක්වේ. තවද රෝද අතර පරතරය 2550mm ලෙස දැක්වේ. මෙම රථය සියලුම අංගෝපාංග සමඟව 1254kg බරකින් යුක්ත වේ.

Toyota සමාගමේ 1NZ-FXE DOHC I4 වර්ගයේ ලීටර 1.5 ක පෙට්‍රල් එන්ජිමකින් හා 30KW බැටරියකින් සමන්විත වූ මෙය 114hp හා 350nm බලයක් ලබා ගැනීමට සමත් විය. ගියර් දෙකකින් සමන්විත මෙම මාදිලියට පමණක් සීමා වූ විශේෂිත Planetary Gearbox එකකින් රෝද වලට බලය සැපයිනි. අඟල් 15ක රිම් එකකින් සමන්විත රෝද වලට 165×65×15 ටයර නිශ්පාදකයා නිර්දේශ කරනු ලබයි.

වෙනත් කිසිම Prius රථයක් දැක ගත නොහැකි පිටත වාතයෙන් බැටරිය සිසිල් කරන ක්‍රමවේදයක් අඩංගු වීම නිසා මෙහි බැටරියේ ආයු කාලය වැඩිය.(අනෙකුත් මාදිලි වල බැටරිය සිසිල් කරන්නේ ඇතුලත වාතයෙන්මය). දැනට මෙම මාදිලියේ වෙළඳපොළ මිල ලක්ෂ 20-25ත් අතර වේ.