නිකොලා ටෙස්ලා මවට ලියූ අවසන් ලිපිය

· 1 min read
නිකොලා ටෙස්ලා මවට ලියූ අවසන් ලිපිය

නිකොලා ටෙස්ලා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙක්, විදුලි ඉංජිනේරුවරයෙක්, යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් සහ අනාගතවාදියෙක්. උපතින් සර්බියානු ජාතිකයෙක් වුවත් පසු කලකදී ඇමරිකාවට සංක්‍රමණය වෙන්න ටෙස්ලා ට පුළුවන් වෙනවා. ප්‍රත්‍යාවර්ථ විදුලි ධාරාව ආශ්‍රිත සොයාගැනීම් ගණනාවකට හිමිකම් කියන ටෙස්ලා ඉමහත් ජනප්‍රියතාවයට පත්වන්නේ "රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය" සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක සොයාගැනීම් නිසායි.

සොයාගැනීම් සම්බන්ධ කාරණා ගණනාවකටම තෝමස් අල්වා එඩිසන් සමඟ නම ඈදෙන ටෙස්ලා තම ජීවිතයේ අවසාන කාලය ගෙවන්නේ අන්ත දිළින්දෙක් ලෙසයි. ඒ ඔහුගේ සියළුම ධනස්කන්ධය ඔහුගේ නව නිපැයුම් සඳහා වියදම් කිරීම නිසයි. තම විද්‍යාගාරය ගින්නෙන් විනාශ වීමේ දුකත් සමග තනිව අප්‍රකට ජීවිතයක් ගත කළ ටෙස්ලා මියයන්නේ නිව්යෝර්ක් නගරයේ හෝටල් කාමරයක් තුලයි.

තම මියගිය මව ජීවතුන් අතර සිටින බව තම මනසේ මවාගත් මහළු ටෙස්ලා මවට ලියූ අවසන් ලිපියේ සිංහල පරිවර්තනයයි මේ…

නොවැම්බර් 18:

අම්මේ, ඔයා ගැන හිතන්න පටන් ගත්ත ගමන්ම මට දුකක් මුසු මහා මූසල හැගීමක් එනවා. මම දන්නේ නැහැ ඒක එහෙම වෙන්නේ ඇයි කියලා, එත් මම දන්නවා ඔයා ඉන්නේ එච්චර සුවෙන් නෙමෙයි කියලා. මට මේ මොහොතේ ඔයා ළඟට වෙලා ඉන්න, ඔයාට වතුර එකක් ගෙනත් දෙන්න තියෙනවා නම් කියලා හිතෙනවා. මම මෙච්චර අවුරුදු ගාණක් මහන්සි වෙලා මනුෂ්‍යයාගේ සුභසිද්ධියට කරපු සේවය වෙනුවෙන් මට ඔවුන්ගෙන් ලැබුණේ අපහාස කිරීම් සහ බැණ වැදීම් පමණයි. අද උදේ ඉර පායන්නත් කලින් මම ඇහැරුනේ මට මේ ටිකේම හීනෙන් ඇහිච්ච කටහඬක් මගේ කාමරෙන් ඇහුනු නිසයි. මට ඇහුනේ මහා දුක් ගායනාවක් සිදු කරන කටහඬක්. මට මෙච්චර කල් හීනෙන් ඇහුනු මේ කටහඬ කාමරේ හැම තැනින්ම මට ඇහෙන්න පටන් ගත්තත් ඒ කටහඬ එන්නේ කොහෙන්ද කියලා මට හිතාගන්න බැරි වුනා. ඒක එන්නේ පිටතින්ද, (මගේ) ඇතුළින්ද කියන එක මට තාමත් හොයාගන්න බැරි වුනා. මගේ ඔලුව විකාර වෙලා වගේ කියලා මට බයයි. මම මේ ගැන කොහොමත් දොස්තරට නම් කොහොමත් කියන්නේ නැහැ. මට ඒ මනුස්සයව වැඩිය විශ්වාසත් නැහැ කොහොමත්. මොකද මට ආරංචි වුනා එයා මීට සති දෙකකට උඩදී එඩිසන් ව හම්බෙන්න ගිහින් තියෙන බව.

නොවැම්බර් 19:

අම්මේ, මට නැවත නැවතත් ඔයාවමයි මතක් වෙන්නේ. කලින් වගේම ආයෙම අර මූසල හැඟීම මගේ ඔළුවට එනවා එතකොට. මම අද පේටන්ට් කාර්යාලයට ලියන්න ඕනේ මගේ පරීක්ෂණ ටික කරන වැඩේ සතියකට කල් දාන්න කියලා. මොකද මට යුගොස්ලෝවියාවේ මගේ ගෙදර යන්න තියෙනවා. මට ඔයාව බලන්න ඕනේ අම්මේ. මට හොඳටම විශ්වාසයි ඔය හොඳින් නෙමෙයි ඉන්නේ කියලා. මොකද මට ආයේ ආයෙත් අර වේදනාවෙන් කෑගහන කටහඬ ඇහෙනවා. මම හොඳ සිහියෙන් ඉන්නේ අම්මේ. මට මුකුත් ලෙඩක් නෑ.

නොවැම්බර් 20:

මම පේටන්ට් කාර්යාලයට ලිව්වේ නෑ අම්මේ. එයාලගේ කෙනෙක් ඇවිත් මගේ පේටන්ට් සහතික ටික දීලා ගියා. ඔහුත් එක්ක මම කතා කළා. මගේ වැඩ ටික කල් දාන්න විදියක් නැති බවයි එයා කිව්වේ. මොකද දැනටත් හරි අමාරුවෙන්ලු කොන්ග්‍රස්වරු විසිදෙනාව එක දවසකට ගෙන්න ගන්න කතා කරගත්තේ. ඉතින් මම ගියා නයගරා දියඇල්ල පහළ වැඩ කරන මගේ කට්ටිය හම්බෙන්න. මම එයාලට කිව්වා ටර්බයින ක්‍රියාත්මක කරලා මම කියනකන් සූදානමින් ඉන්න කියලා. මම තීරණය කළා මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මට දෙන්න පුළුවන් දේ දීලා නැවතත් යුරෝපයට එන්න, ඔයාව බලන්න එන්න. මම තේරුම ගත්ත දෙයක් තමයි මිනිස්සු පවතින්නේ රජයේ තීරණවලින් බවත්, තනි මිනිහෙක්ට ලෝකය වෙනස් කරන්න බැරි බවත්.

නොවැම්බර් 21:

අම්මේ, මම හෙට යුගෝස්ලාවියාවේ ගෙදර එන්න පිටත් වෙනවා. නෝරා මෙනවිය ගියා වරායට මට ලිස්බන් වලට යන්න ටිකට් එකක් අරන් එන්න. මම ලිස්බන් වලින් කෝච්චියක් ගන්නවා සිහිර් වලට, එතනින් කෙලින්ම ගෙදර. කොහොමත් අඩුම තරමින් මට සති දෙකක්වත් යයි ගෙදර එන්න.

මම අද කොන්ග්‍රසය එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා. ඔවුන්ගේ ක්‍රමය මගේ ක්‍රමය නොවුනත් ඔවුන් කැමති වුනා මගේ අදහස් වලට. මම එතන ඉඳන්ම කෝල් එකක් ගත්තා නයගරා දියඇල්ලේ ඉන්න මගේ අයට. ටර්බයින වැඩ කරන්න පටන් ගත්ත ගමන්ම මම හිතුවා වගේම කොන්ග්‍රස් කාර්යාලයේ බල්බවල දීප්තිය දහ ගුණයකින් විතර වැඩි වුනා. ඒත් එයාලගේ ප්‍රතිචාර එච්චර හොඳ නැතිබවක් තමයි මට හැඟුනේ. මම එවෙලේම කොංග්‍රසයෙන් එලියට ආවා.

අම්මේ, මම මේක කලේ ඔවුන් වෙනුවෙන් නෙමෙයි, මුළු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්. මම "මගේ" රැහැන් රහිත විදුලි නිෂ්පාදන ක්‍රමය දිහා බලලා සතුටු වෙන ගමන් මට හිතුනේ මේ දේවල්වල නිර්මාණකරු මම නෙමෙයි වගේ හැගීමක්. මට හිතුනේ "කවුරුහරි නයගරා දියඇල්ලේ ඉඳන් කොංග්‍රසයට විදුලිය ගෙනත් දුන්නා, මම කළේ ඒක එහෙම වුනා කියලා ලෝකයට කියපු එක විතරයි" කියන හැගීම මගේ ඔලුවේ වැඩ කරනවා. සතුට සහ ජයග්‍රාහී මානසිකත්වයක් වෙනුවට මට එවෙලේ තිබ්බේ හිස් බවක් විතරයි. මම තේරුම් ගත්තා මේ ජීවිතේ ලොකු දෙයක් මට මග හැරුනා කියලා.

නොවැම්බර් 22:

මේ ලියුම ඔයාට කවදාවත් ලැබෙන එකක් නෑ අම්මේ. මම දන්නේ නෑ ඇයි මම ඔයාට මේ ලියුම ලියන්නේ කියලවත්.

සමාදානයේ සැතපෙන්න අම්මේ. මට සමාවෙන්න, මම මාව ඔයාගෙන් ඈතට ගොඩක් දුරකට අරන් ආපු එක ගැන. මට ඔයාගේ මළගෙදරටවත් එන්න බැරි වුන එක ගැන මට සමාවෙන්න. මම මේ වෙලාවෙත් ඔයා මැරුණු බව තියෙන විදුලි පුවත කියන ගමන් ඉන්නේ. මට පුළුවන් වුනා රැහැන් රහිත විදුලියක් ගැන මම කියද්දී, මට හිනා වුන මිනිස්සුන්ටම මම හරියි කියලා ඔප්පු කරන්න. ඒත් මම දන්නවා තව අවුරුදු සියයකටවත් මේක පාවිච්චියට ගන්න පුළුවන් වෙන එකක් නැහැ කියලා. මොකද කවුරුහරි කෙනෙක් මගේ සියලුම දේවල් තිබ්බ මගේ විද්‍යාගාරය ගිනි තියලා විනාශ කරා. මම හිතන්නේ මේක කලේ එඩිසන් කියලා. කොහොමත් මම හොඳටම දන්නවා කවුරුහරු කෙනෙක් මගේ වැඩවලට ඉස්සරහට එන්න දෙන්නේ නැති වෙන්න හැමදේම හිර කරලා තියෙන්නේ කියන එක.

ලිස්බන් බලා පිටත් වෙන මගේ බෝට්ටුව තියෙන්නේ උදේ 11 ට. කාර් එක මම එනකන් බලන් ඉන්නවා.

මම ජීවිත කාලෙම විශ්වාස නොකරපු දෙයක් මම දැන් හොඳටම විශ්වාස කරනවා. ඒ තමයි ඔයා මගේ ළඟ ඉන්නවා කියන එක. මම මුළු ජීවිත කාලෙම කැප කලේ විද්‍යාව වෙනුවෙන්. මට ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක්වත් කැප කරන්න බැරි වුනා අම්මේ. උඩ ඉඳන් මම දිහා බලන් නේද ඔයා ඉන්නේ? මම වෙනුවෙන් යාඥා කරන්න අම්මේ. ඔයාගේ කියන දේ අහන්නේ නැති දුප්පත්  පුතා වෙනුවෙන් යාඥා කරන්න අම්මේ.

- නිකොලා ටෙස්ලා -

40 හැවිරිදි ටෙස්ලා
ටෙස්ලා අවසන් වතාවට ඡායාරූපයකට පෙනී සිටි අයුරු