Loading...
2024 වර්ෂයේ සිට iPhones සඳහා USB-C charging port අනිවාර්ය​යි - යුරෝපා සංගම​ය

අප විසින් භාවිතා කරන බොහෝ ජංගම දුරකථන මාදිලි සඳහා එදා මෙදා තුළ විවිධ ආකාරයේ Charging Port භාවිත වු බව ඔබගේ මතකයේ ඇති බව නොරහසකි. 2000 වර්ෂයේ Wen-ching Yang විසින් නිර්මාණය කළ පළමු දුරකථන Charger එකෙන් ආරම්භ වු මෙම පෙරළිය වර්තාමාන තාක්ෂණයේ දියුණුවත් සමගම Wireless Charging පහසුකම දක්වා වැඩි දියුණු වි ඇත. විවිධ සමාගම් හා පුද්ගලයන් විසින් විවිධ සන්නාම ඔස්සේ තාක්ෂණික ලෝකයට ගෙන එන මෙම පෙරළිකාර යෙදවුම් පරිශීලකයන් වන අප හට මහත් සේ වාසිදායක වේ.

ලොව ප්‍රභල මෙන්ම ප්‍රමුඛතම දුරකථන සමාගමක් වන Apple සමාගම ද සිය iPhone සඳහා භාවිතා කරන්නේ නවීන තාක්ෂණයෙන් යුත්, ඔවුන්ටම විශේෂිත  වු Charging Port එකක් වනවා. සිය සමාගමේ iPhone සඳහා Lightning Port භාවිතා කරන Apple සමාගම සඳහා යම් රතු එළියක් එල්ල කළ යුරෝපා සංගමය මේ වන විට සඳහන් කරනුයේ වසර 2024 වන විට යුරෝපය තුළ iPhone සඳහා USB Type C භාවිතා කරන ලෙසයි.

යුරෝපා සංගමය සඳහන් කරනු ලබන්නේ "එකම ආකාරයේ දුරකථන Charger වර්ගයක් භාවිතා කිරීමේ සංකල්පය අවසානයේ දී සැබෑවක් වූ බවයි." යුරෝපා සංගමය යනු යුරෝපා රටවල් 27 කින් සමන්විත වන ආර්ථිකමය හා දේශපාලනමය සංවිධානයක් වන අතර මෙම සංගමය මගින් මෙම තීරණය පිළිබඳව සිදුකළ ඡන්ද විමසීමක දී මෙම යෝජනාවට සම්මතව ඡන්ද 604 ක් ද විපක්ෂව ඡන්ද 13ක් ලැබී තිබුණි. එම නිසා යුරෝපා සංගමය විසින් මෙම යෝජනාව සම්මත කර නීතියක් සම්පාදනය කිරීම මගින් 2024 වන විට යුරෝපය තුළ එකම වර්ගයේ දුරකථන hargers භාවිතා කිරීමට අදහස් කරන අතර Apple සමාගම වෙත දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ මීලග iPhone මාදිලි පෙළ සඳහා USB Type C Port භාවිතා කරන ලෙසයි.

මෙය මදක් ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වුවත් යුරෝපා සංගමය විසින් යුරෝපය තුල මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම කෙරෙහි මීට බොහෝ කාලයකට පෙර ද අවධානය යොමු කර ඇත. 2021 වසරේ මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද යුරෝපා සංගමය විසින් පෙන්නුම් කරනු ලබන්නේ මෙලෙස විවිධ මාදිලි වල Charging Port සහිත දුරකථන භාවිතා කරන විට ඒවා සඳහා පවතින Charging Port සදහා ගැලපෙන ලෙස ඒ ඒ ආකාරයෙන් Chargers මිලදී ගැනීමට සිදුවන බවත් එලෙස දිගින් දිගටම විවිධ Chargers මිලදි ගෙන භාවිත කර ඉවත් කිරිම තුලින් පරිසරයට සිදුවන හානිය වැඩිවන බවත් ය. මෙම නීතිය සම්මත කිරීමෙන් අනතුරුව නව Smart දුරකථන මිලදී ගන්නා පරිශීලකයින් පවතින Charger භාවිතා කිරීමට පෙළඹෙන බවත් යුරෝපා සංගමය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් එවකට මෙම යෝජනාව සඳහා ප්‍රතිචාර දක්වමින් Apple සමාගම පවසා තිබුණේ එලෙස ගනු ලබන පියවර හේතුවෙන් නවෝත්පාදන සඳහා විශාල බලපෑමක් සිදුවන බවයි.

යුරෝපා සංගමයේ මෙම නීතියට අනුව කුඩා හා මධ්‍ය ප්‍රමාණයන්ගේ ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග වන, ජංගම දුරකථන, Tablets, E-readers, MMicrophones සහ Keyboard, GPS උපකරණ, Headphone වැනි උපකරණ, Digital camera, කුඩා ප්‍රමාණයේ Video Game පාලකයන්, Protable Speakers යන උපාංග මෙම නීතියට අනුව USB Type C සමගින් යුරෝපය තුළ වෙළෙඳපොළට නිකුත් විය යුතු වනවා.

විශේෂ කරුණ වන්නේ Apple සමාගම විසින් මෙලෙස සම්මත වූ නීතිය පිළිබඳව මේ වන විට ප්‍රකාශයක් සිදුකර නැතත් ඔවුන් මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම විසින් ඉදිරියට නිකුත් කරන iPhone සඳහා USB-C භාවිතා කරන බවයි. ඔවුන් සඳහන් කරන ආකාරයට 2023 වන විට වර්තමානයේ භාවිතා කරන Lightning port වලින් USB-C වෙත ගමන් කරන බවයි. මෙය එලෙස සිදුවනවා නම් යුරෝපා සංගමය විසින් ගෙන ඇති තීරණවලට සාර්ථකව මුහුණ දීමට Apple සමාගම හට හැකි වන බවට අප බලාපොරොත්තුවක් තබා ගත හැකි වේ.

Sources: Digital Trends 9to5mac Apple Insider