Loading...
Call of Duty: Warzone Mobile නිකුත් ක​ර වසර දෙකකට​ත් අඩු කාලයකින් නවතා දැමීමට කටයුතු කර​යි

ලොව පුරා ගේමිං ලෝලීන්ගේ ආදරය දිනාගත් Call of Duty: Warzone Mobile ගේම් එක, එහි ගෝලීය දියත් කිරීමෙන් වසර දෙකකට​ත් අඩු කාලයකින්, එනම් 2024 මාර්තු 21 වැනිදා දියත් වුණු මෙම ගේම් එක, 2025 මැයි 18 වැනිදා සිට Google Play Store සහ Apple App Store වලින් ඉවත් කිරීමට Activision සමාගම තීරණය කර තිබෙනවා. මෙම තීරණයත් සමඟ, ගේම් එකට නව seasonal content හෝ gameplay patches ලබාදීම නවත්වන බවත්, social features ඉවත් කරන බවත් Activision පවසනවා.

ඇයි මෙහෙම වුණේ?

Activision විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා, Warzone Mobile “ජංගම ගේමිං ලෝලීන්ගේ (mobile-first players) අපේක්ෂාවන් සපුරාලීමට අපොහොසත් වුණු” බවත්, PC සහ කොන්සෝල් ගේමිං ලෝලීන්ගේ ආදරය දිනාගත් ආකාරයට ජංගම වෙළඳපොළේ තැනක් ගොඩනගා ගැනීමට නොහැකි වුණු බවත්.

ගේම් එක ලෝන්ච් වුණු මුල්ම දවස්වලදීම ඩොලර් මිලියන 1.4ක ආදායමක් උපයාගත්තත්, එය බලාපොරොත්තු වූ තරම් ජනප්‍රියත්වයක් හෝ ආදායමක් ගෙන ඒමට අපොහොසත් වුණා. විශේෂයෙන්ම, ඇන්ඩ්‍රොයිඩ් භාවිතකරුවන්ට ගේම් එකේ තිබුණු දරුණු තාක්ෂණික ගැටලු—අධික බැටරි වැයවීම, දුරකතන රත්වීම, සහ සමහර අවස්ථාවල දුරකතන හානිවීම (bricked phones) නිසා ගේම් එකට බොහෝ විවේචන එල්ල වුණා. මේ ගැටලු නිසා බොහෝ ගේමිං ලෝලීන් ආරම්භයේදීම ගේම් එක අතහැර දමා, එයට නැවත එන්නේ නැති තත්ත්වයක් ඇති වුණා.

ගේම් එකේ අත්දැකීම සහ විශේෂාංග

Warzone Mobile ගේම් එක ආරම්භයේදී බොහෝ බලාපොරොත්තු ඇති කළා. එය PC සහ කොන්සෝල් Warzone ගේම් එකේ ජනප්‍රිය Verdansk මැප් එක ඇතුළු, Modern Warfare (2019) හි ලක්ෂණ ජංගම උපාංගවලට ගෙන ආවා. ගේම් එකේ විශේෂම විශේෂාංගය වුණේ cross-progression, එනම් PC, කොන්සෝල්, සහ ජංගම උපාංග හරහා එකම ගිණුමකින් ඔබේ ගේමිං progress (ආයුධ, skins, battle pass) බෙදාගැනීමේ හැකියාව. මීට අමතරව, Battle Royale (120 දෙනෙකුගේ ලොබි), Resurgence (48 දෙනෙකුගේ ලොබි), සහ Plunder (84 දෙනෙකුගේ ලොබි) වැනි ගේම් මෝඩ්වලින් යුත් මෙම ගේම් එක, Shipment, Shoot House වැනි ක්ලැසික් Call of Duty මැප්වල multiplayer මෝඩ් එකතු කරමින් ගේමිං ලෝලීන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළා.

ඒත්, ගේම් එකේ optimization ගැටලු, විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් උපාංගවල 60 FPS ලබාගැනීමට නොහැකිවීම, ග්‍රැෆික් සැකසුම් (graphic settings) සීමාවීම, සහ ඉහළ ping (100ms ඉක්මවීම) නිසා ගේමිං අත්දැකීම බොහෝ දුරට අඩාල වුණා. iOS උපාංගවල තත්ත්වය තරමක් හොඳ වුණත්, ඇන්ඩ්‍රොයිඩ් භාවිතකරුවන්ගෙන් බහුතරයක් මෙම ගැටලු නිසා ගේම් එක අත්හැරියා.

දැන් මොකද වෙන්නේ?

2025 මැයි 19 වැනිදාට පෙර ගේම් එක බාගත කර ඇති භාවිතකරුවන්ට, තවමත් ගේම් එකට පිවිසීමට, cross-progression භාවිත කිරීමට, සහ තිබෙන සර්වර් හරහා ඔන්ලයින් ගේම්ප්ලේ (matchmaking) භුක්ති විඳීමට හැකියාව තිබෙනවා. ඒත්, නව content හෝ යාවත්කාලීන ලැබෙන්නේ නැහැ. ගේම් එකේ ඉතිරි COD Points භාවිත කරන්නත් පුළුවන්, නමුත් තවදුරටත් COD Points හෝ Black Cell මිලදී ගැනීමට (real currency) නොහැකි වෙනවා. Activision පවසනවා, සර්වර් තවමත් “අනාගතයේදීත්” ඔන්ලයින් තිබෙන බව, ඒත් ඒ කොපමණ කාලයක්ද යන්න ගැන නිශ්චිත තොරතුරක් නැහැ.

මීට අමතරව, Warzone Mobile භාවිතකරුවන්ට Call of Duty: Mobile ගේම් එක වෙත යොමු කිරීමට Activision උත්සාහ කරනවා. 2025 මැයි 15 සිට ඕගස්ට් 15 දක්වා, Warzone Mobile හි Activision ගිණුම භාවිත කරමින් Call of Duty: Mobile එකට ලොග් වන භාවිතකරුවන්ට, Warzone Mobile හි ඉතිරි COD Points දෙගුණයක ප්‍රමාණයක් සහ තවත් rewards ලබාදෙන බව Activision පවසනවා. මේ rewards ඔබේ ගේම් එකේ inbox එකට ස්වයංක්‍රීයව එවෙනවා.

ගේමිං ලෝලීන්ගේ අදහස්

Warzone Mobile හි ආරම්භක hype එක ඉහළ මට්ටමක තිබුණත්; විශේෂයෙ​න් 50 මිලියන ඉක්මවූ pre-registrations සමඟ ගේම් එකේ තාක්ෂණික ගැටලු නිසා බොහෝ ගේමිං ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණා. එයට හේතු වුණු තාක්ෂණික ගැටලු සහ optimization ගැටලු, Activision බලාපොරොත්තු වූ ආකාරයේ ජංගම ගේමිං ප්‍රජාවක් ගොඩනගා ගැනීමට බාධාවක් වුණා. Call of Duty: Mobile, එහි 2024 නොවැම්බර් වන විට බිලියනක බාගත කිරීම් සමඟ, ජංගම වෙළඳපොළේ තවමත් ඉහළින්ම සිටිනවා.

Source: support.activision.com