Loading...
"ලෝකේ හොඳම දේශපාලඥයො ඉන්නෙ ශ්‍රී ලංකාවේ" මෙන්න ඒක ඔප්පු කරන හේතු 7ක්

මේ මොහොතේ අපේ රටේ වැඩිපුරම බැනුම් අහන්නෙ කවුද කියලා කිවුවොත් උඩිම්ම ඉන්නෙ දේශපාලකයො. දේශයක් පාලනය කරන්න ඉන්න උත්තමයො මේ විදියට බැනුම් අහනකොට Android වැඩකාරයෝ අපේ කණ්ඩායමට ඒක ඒක දරාගන්න අමාරුයි. ඒ නිසායි දුකෙන් වුනත් මේ දේවල් පැහැදිලි කරන්න මේ සටහන ලියන්නෙ. ඒ නිසා මේක කියවලාවත් ඒ උත්තමයන් අපි වෙනුවෙන් මේ දේවල් කළේ ඇයි කියන එක ඔය පක්ෂග්‍රාහී මොළවලින් හිතන්න.

හිතලා අපිත් එක්ක එකතු වෙලා ඔවුන්ට දිරි දීලා තවතවත් පාර්ලිමේන්තු යවලා ඔවුන්ට සැප දෙන්න. පස්සෙ කාලෙක අපිටත් ලැබෙයි. ඒක බිජ්ජං දානංච දසදහස් බිජ්ජං ලබ්බති කියලා කතාවකුත් තියෙනවනෙ. එක් බිජුවක් දන් දුන් විට බිජු දසදහසක් ලැබේ. ඒ ධර්ම කරුණු සිහියට අරගෙන මෙත් සිතින් මේ සටහන කියවලා ප්‍රඥාව අවබෝධ කරගෙන යථාර්ථය තේරුම් ගන්න.

1. පාර්ලිමේන්තුවෙ නිදියන්නෙ නිදිමත නිසා නෙමේ

රට හදන තැන කියලයි මේකට අර නිවුස් ටෙලි ගහන බුවාලා කියන්නෙ. දැන් ඔය පාර්ලිමේන්තුවෙදි මේ අය නිදාගන්නවය කියල ඔයාල දොස් කියනවනෙ. ඒ උනත් ඒ නිදා ගැනීම කරන්නෙ අපි වෙනුවෙන්මයි කියල ඔයාල හිතන්නෙ නැහැනෙ. ඇත්තටම රටකට වැදගත් ඉමැජිනේෂන්. ඒ විදියටයි රටක් හදන්න පුළුවන්. ඇත්තටම කිවුවොත් ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මන්ත්‍රීවරියො එහෙම නිදියන්නෙ අපේ අනාගතේ වෙනුවෙන් හීන දකින්නයි.  අනික රටේ අනාගතය ගැන හීන දකින්න පාර්ලිමේන්තුව තරම් වෙන සුදුසු තැනක් තියෙනවද ආයිබොවන්ඩ.

විපක්ෂෙ මහත්තුරුත් කොල පුච්චලා, බඩට යටින් මිරිකලා, වාසූ වාසූ කියලා කෑ ගහ ගහ කරන්නෙ ආණ්ඩුවෙ ගමනට බාල්දි පෙරළන එක කියලද හිතන් ඉන්නෙ? නෑ මහත්තයො. විපක්ශෙ එහෙම කරලා කරන්නෙ ආණ්ඩුවෙ අයගෙ නින්ද තවත් ඉහල තලේකට ගේන්න උදවු කරන එකයි. එතකොට ඕනෑම සද්දයක් බද්දයක්, විනාසයක් අස්සේ උනත් සැපට නිදාගැනීමේ හැකියාව ආණ්ඩු පක්ශෙ මහත්තුරුන්ට හම්බුවෙනවා. අලුත් අලුත් හීන දකිනවා, ඉමැජිනේෂන් වැඩි වෙනවා, රටේ අනාගත සුභ සිද්ධියට සැලසුම් සැකසෙනවා. අනාගතේ සුභයි මිත්‍රවරුණි.

2. රට සවාරි යන්නෙත් අපිට වාසියක් කරන්න

හැමෝම බනින්නෙ රට සවාරි යනවා මිනිස්සුන්ගෙ සල්ලි කනවා කියලයි. හැබැයි රට සවාරි යන එකේ වාසි ගොඩක් තියෙනවා. පිට රට එවුන් හිතන්න ගන්නව යකෝ ලංකාවෙ එවුන් පවුල් පිටින් අ‍පේ රටට මෙච්චර එනව ඇයි අපිත් උන්ගෙ රටට නොයන්නෙ කියල. එහෙම හිතලා ඒ අයත් මෙහෙ එන්න පෙළඹෙනවා. සංචාරක ව්‍යාපාරෙ ඉහල යනවා.

අන්න ඒකයි අපේ උන්දලා එහෙ ගිය වෙලාවෙ ඉඳන් ද්වීපාර්ශවික සබඳතා තර කරනව වගේ කුණුහරුප නොකර සාමාන්‍ය මනුස්සයා එක්ක පාරට බැහැල ආතල් ගන්නෙ. ඒ වගේම මේ වගේ ආතල් බලාගෙන ආවම රට ඇතුළෙ ඒ ආතල් ගොඩදාන්නත් මේ දේශපාලකයින්ට හැකියාව ලැබෙනවා. ඔවුන්ගේ මනස රිලැක්ස් වෙනවා. හැම තිස්සෙම තින්ක් අවුට් සයිඩ් ද බොක්ස් කරන්නනං මේ දූපතෙන් එළියට යන්න ඕන. මේක ඇතුළෙ ඔය වර්ජන ඝෝෂාවයි අ‍‍ඳෝනායි එක්ක රටක සුබසිද්ධිය ගැන හිතන්න බැහැ මහත්තයො.

3. පවුල් පෝෂණය කිරීමෙනුත් සේවයක් කරන්නෙ

අනිත් අතට හැම එකාම දේශපාලකයන්ට බනින වැරැද්දක් තමයි පවුල පෝෂණය කිරීම. ඇත්තටම රටක් ගොඩ ගන්න හිතන්න නං නිරවුල් මනසක් ඕන. එහෙම නැතුව ඔවුව කරන්න බෑ. නිරවුල් මනසක් තියෙන්න නං ගෙදර ගෑණි සද්ද නැතුව ඉන්න ඕන කියන එක ඕන දාර්ශනිකයෙක් පිළිගන්න දෙයක්. පවුලගෙ කටවහන්න පුළුවන් වෙන්නෙ හොඳට අතට සල්ලි දීලා, එයත් එක්ක ඉන්න මිනිස්සු දීලා, උන්ට ශක්තිය එන්න ව්‍යාඝ්‍රා දීලා, පවුල ඒ වැඩ ඉවර වෙලා ආයෙ එනවද බලන්න ගාඩ් එක දාලා විතරයි මහත්තයො. ඊටපස්සෙ දේශපාලකයෙකුට පුළුවන් ෂේප් එකේ ලෙමන්පෆක් හප හප රට හදන විදිය, ආණ්ඩුවක් ඉදිරියට ගෙනියන විදිය, විපක්ෂයක් විදියට ක්‍රියාකරන විදිය ගැන හිතන්න. කාටද වාසි? ජනතාවටම නේද?

4. නාම පුවරු ගහන්නෙ අපේ අනාගත පරපුර වෙනුවෙනුයි

අඩි පහේ බෝක්කුවක් ගැහුව. බෝක්කුවට ගියේ පන්දහයි. බෝඩ් එකටයි උත්සවේටයි ගියා දොළොස්දාහක්” කියලයි හැම තැනම බනින්නෙ. දැන් අපි ඔය එක එක රජ කාලෙ එවුව බල බල අපේ දෙදාස් පන්සීයෙ මෙවුව එක උඩ දදා ඉන්නෙ කොහොමද, ඒ ඒ කරපු දේවල් රෙකෝඩ් වෙලා තිබුනු නිසායි. පස්වලට වැහිලා තිබ්බ නටඹුන් පාදගන්න නැත්තං පුළුවන් වෙනවද?

තව අවුරුදු සිය දහස් ගාණකින් උදාවෙන අනාගතේ දවසක “අසවල් මැතිතුමාගේ අදහසක් අනුව, අසවල් මැතිතුමාගේ සිතෙහි පහළවූ, අසවල් මැතිතුමාගේ අණින් ක්‍රියාත්මක කර, අසවල් මැතිතුමාගේ අධීක්ෂණය යටතේ අසවල් මැතිතුමා විසින් මුදල් වියදම් කොට, අසවල් මැතිතුමා අතින් කරවූ මෙම කක්කුස්සිවල අසවල් මැතිතුමා අතින් විවෘත කර, අසවල් මැතිතුමා අතින් සෝදා ජනතා අයිතියට පත් කළ වගයි”  කියල ගහපු බෝඩ් එක මතු උනාම කාටද යකෝ ආඩම්බර. නැද්ද හා?

අනාගත පරපුරේ ආඩම්බරය වෙනුවෙනුයි සල්ලි ටිකක් වැඩිපුර වියදම් කරල, කල් පවතින විදිහට මේ උත්තමයො සමරු ඵලක බෝඩ් ගහන්නෙ.

5. මැර බලයත් ජනතා සුභ සිද්ධිය උදෙසායි

ඔන්න තවත් බැනිල්ලක්. මැර බලය පාවිච්චි කරනවැයි කියලා ආණ්ඩුවකට බනින තරමක් දෙයියනේ. මෙහෙම කියන්න හොඳයිද මුංගෙ කටවල්වලට හෙනගහනවනෙ මහත්තයො. අපි කියන්නෙ මැර බලය කියන දේ රටකට තියෙන්න ඕන. හැබැයි ඒක වගකිව යුතු උතුමන් අතින් කෙරෙන්න ඕන. ඔය කඩේ පිළේ පාතාල ඩයල් අතට ඔය පාලනය ගිහිල්ල බෑ. එහෙම කාගෙ හෝ පාතාලයෙකුගෙ අතට බලය ගිහිල්ල නං ඒ බලයත් ඒ ප්‍රදේශය භාර මැති ඇමැත්තෙක් යටතට ගන්න ඕන. එහෙමයි රටකට වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙන්නෙ. කල්බ් ඇතුළෙ ඇමති පුත්තු ගහගත්තම, හිතෙන හිතෙන ගෑණිගෙ අතින් අදින්න ගියාම මිනිස්සු ක්ලබ් යන එක අඩු වෙනවා. කාටද හොඳ?

6. බදු වල වාසිය තේරෙන්නෙ ඉස්සරහටයි

බදු ගහනවැයි කියලා අර රවීන්ද්‍රන් උත්තමයට බනින තරමක් දෙයියෝ. මුං දන්නෙ නෑ ඒකෙන් තියෙන වාසි. අඩුවෙන් කෝල් ගන්න හුරු වෙනවා. එකෙන් වැඩ කරන වෙලාව වැඩි වෙනවා. කාර් ගන්න බැරි නිසා බස් එකේ ගිහිල්ල ෆිට්නස් හැදෙනවා. එළවලු ගන්න අමාරු නිසා වත්තෙ පිටියෙ හදාගන්නවා. අරක්කු ටිකක් බොන්න අමාරු නිසා පිරිසිදුවට ගෙදර පෙරාගන්නව. සිගරට් බොන්න බැරි නිසා කංසා පැළයක් ගෙදර හිටවාගෙන සුන්දරත්වය හිස මතට ගන්නවා. බතක් වෙනුවට තම්බපු කොස් ගෙඩියක් එක්ක මෑකරල් ටිකක් මිරිසට හි‍ඳෙන්න උයලා, සැරට කොච්චි දාපු පොල් සම්බලක් එක්ක කද්දි තොපිට තේරේවි ඒ බදුවල හො‍ඳේ.

7. අපිව රවට්ටන්නෙත් අපිට තියන ආදරේ නිසයි

දැන් ඉතිං රටක් උනාම දෙයියනේ පස්සට යනවැයි කියල මෙහෙමත් පස්සට යන්න බැහැනෙ. ඉතින් රටකට ඔය විදියට ඉස්සරහට යන්න බැහැ මිනිස්සු යමක් කමක් තේරෙන ජාතියක් වුනේ නැත්තං. මිනිසා හදන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒක අමාරු වැඩක්. ඒ වෙනුවෙන් මිනිස්සු කාලයක් තිස්සෙ ට්‍රේන් කිරිල්ල තමයි අපේ දේශපාලක මහත්තුරු මෙච්චරකල් කරේ. ඒ කියන්නෙ රැවටීම. මේ විදියට රැවටිලා රැවටිලා දවසක මේ මිනිස්සුන්ට තේරුං යනව අපි මේ මොන බම්බුවකටවත් රට දීලා හරියන්නෙ නෑ. අපි අපිම ගොඩයන්න ඕන කියලා. අන්න එදාට මිනිස්සු කොන්ද පණ ඇතුව රට වෙනුවෙන් තීරණ ගනීවි. ඒ නිසා තාමත් ඒ තැනට යනකං අපේ මිනිස්සුන්ට පාඩම උගන්නන දේශපාලක මහත්තුරුන්ට ජයවේවා! කියන්න මිත්‍රවරුනි.