Loading...
ඉන්දියාව කලබල කරමි​න් ​ශ්‍රී ලංකාවට එන චීන ඔත්තු බැලීමේ නෞකා​ව ගැන ඔබ දැන සිටියාද?

අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට Yuan wang 5 නම් චීන නැවක් පැමිණිමට නියමිත බව මේ වෙන විට අප සැම දන්නවා. ලංකාවෙන් සැපයුම් ලබා ගැනීමෙන් අනතුරුව එය නැගෙනහිර ඉන්දීය සාගරයේ අභ්‍යාවකාශ නිරීක්ෂණ මෙහෙයුම් වල නිරත වන බවයි පැවසෙන්නේ. නමුත් ඉන්දියාව නම් කියන්නෙ Yuan wang පැමිණෙන්නේ දකුණු ඉන්දියාවේ සිය කේන්ද්‍රස්ථාන පිලිබදව ඔත්තු බලන්න කියල. කොහොම වුණත් මේ නැව සම්බන්ධයෙන් නම් දැන් ලංකාව ඉන්නෙ ගිරයට අහුවුන දෙහිගෙඩිය වගේ.

උද්ගත වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ නිසා අපි අද පොඩ්ඩක් බලමු මේ Tracking ships කියන්නේ මොනවද කියල. මේ වගේ ලොකු රේඩාර් පුරවගත්ත නැව් හැඳින්වෙන්නේ Tracking ships / Satalite Tracking ships යන නම් වලින්.

Tracking ships කියන්නේ මොනවද ?

Tracking ship භාවිතා වෙන්නෙ සතුරාගේ ඔත්තු බලන්න. මේ නිසා මේ නැව් පොදුවේ Spy ships ලෙසද හැඳින්වෙනවා. මේවා බොහොමයක් කෙලින්ම අදාළ රටේ නාවික හමුදාව යටතේයි ක්‍රියාත්මක වෙන්නේ. Spy ships ආදිය reconnaissance vessel, technical research ships වගේ නම් වලින්ද හදුන්වනු ලබනවා. ඔත්තු බලන නිසාම යුධ නැවකට වඩා සිවිල් නැව් ආකාරයෙන් තමයි tracking ships හදන්නේ. බොහෝවිට පර්යේෂණ නැව්වල (research vassels) ආකෘතිය මේ සදහා භාවිතා වෙනවා.

වෙරළබඩ බලාගාර, කඳවුරු ආදිය පිළිබඳව බුද්ධි තොරතුරු බැලීම, එම ප්‍රදේශයේ නාවික හා ගුවන් ගමනාගමනය නිරීක්ෂණය, සතුරු දුරකථන සංවාද, රේඩියෝ සංඥා හා රේඩාර් තරංග ආදියට බාධා කිරීම, එම සංඥා විකේතනය කිරීම හා පටිගත කිරීම spy ship වල ප්‍රධාන කාර්යය වෙනවා. ඉලක්කවලට ආසන්නව ක්‍රියාත්මක වන නිසා චන්ද්‍රිකාවලට වඩා ප්‍රයෝජන spy ship වලින් ලැබෙනවා.

Tracking/Spy ships ක්‍රියාත්මක වෙන්නෙ දේශසීමා වලින් එපිට ජාත්‍යන්තර මුහුදු සීමාවලදී. මොකද එතකොට කාටවත් නැවට බාධා කරන්න අමාරු නිසා. ජාත්‍යන්තර මුහුදේ ඉඳන් නැවේ අධිතාක්ෂණික උපකරණ මගින් මුහුදු සීමාවට එපිටින් තියෙන අදාළ සංඥා Track කරනු ලබනවා. බොහෝවිට මෙහිදී නැවේ පද්ධති ක්‍රියාත්මක වන්නේ නිශ්ක්‍රීය නැත්නම් passive ආකාරයෙන්. Radio receivers, passive sonar මේ වෙනුවෙන් භාවිත වෙනවා. ලබාගන්නා තොරතුරු ඉන්පසු වැඩිදුර විමර්ශනය සඳහා නවීන සන්නිවේදන පද්ධති ඔස්සේ තමන්ගේ රටට යවනු ලබනවා. මේ විදිහට ඔත්තු බැලීම හැඳින්වෙන්නේ Signal intelligence (SIGINT) ලෙසින්. ඔත්තු බැලීමේදී නැව සම්පූර්ණයෙන් Radio Silence ( රේඩියෝ නිශ්ශබ්දතාවය) මට්ටමේ ක්‍රියාත්මක වෙන්නෙ

Signal intelligence යටතේ ELINT නම් උප කාර්යභාරය ද spy ships ඉටු කරනවා. ELINT නැත්නම් Electronic signals intelligence වලදී වැඩිපුර අවධානය යොමු කරන්නේ සන්නිවේදනමය නොවන බුද්ධි තොරතුරු රැස් කිරීම පිළිබඳව. ELINT වලදී ඔත්තු බලන්නේ සතුරාගේ රේඩාර් පද්ධති, ගුවන් ආරක්ෂණ පද්ධති හා ගුවන්යානා වැනි යුද්ධෝපකරණ පිළිබඳව. මෙතැනදී නැවේ පද්ධති සක්‍රීය (Active) ලෙස ක්‍රියාත්මක වෙනවා. නමුත් Active ක්‍රියාත්මක වීමක් කියන්නෙ තමන් කරන දේ ප්‍රසිද්ධ කිරීමක් වැනියි.

Spy ship වල සමස්ථ කාර්යභාරය,

  • සෑම සංඛ්‍යාතයකම සන්නිවේදන නාලිකාවල සම්ප්‍රේෂණයට බාධා කිරීම.
  • සංවෘත සන්නිවේදන නාලිකා නැවත සම්ප්‍රේෂණය කිරීම.
  • Telemetry පිළිබඳව ඔත්තු බැලීම.
  • විදෙස් සම්ප්‍රේෂණ ප්‍රභවයන්ට අයත් ලක්ෂණ හදුනා ගැනීම.
  • විද්‍යුත් චුම්භක විකිරණ ප්‍රභවයන් හඳුනා ගැනීම.
  • භෞතික ක්ෂේත්‍ර මැනීම.
  • නැව් සහ සබ්මැරීන වල ධ්වනි හා විද්‍යුත් චුම්භක සංඥා ඇසුරෙන් ප්‍රතිමූර්ති සැකසීම.
  • සමුද්‍රීය සන්නිවේදනය පාලනය කිරීම.
  • සතුරෙකුගේ නැව් වල චලනය නිරීක්ෂණය.
  • කාලතුවක්කු ප්‍රහාර සහ මිසයිල දියත් කිරීම් නිරීක්ෂණය කිරීම.
  • න්‍යෂ්ටික පර්යේෂණ හා බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් ආදිය පිළිබඳව ඔත්තු බැලීම.

Satalite tracking Ships ආදිය Spy ships වර්ග අතුරින් වඩා විශේෂිතයි. Satalite ship මගින් සාමාන්‍ය spy ship එකක කාර්යය වගේම අභ්‍යවකාශ නිරීක්ෂණය, චන්ද්‍රිකා පිළිබඳ ඔත්තු බැලීම, චන්ද්‍රිකා පාළනය, මිසයිල track කිරීම, තම රටෙන් දියත් කරන මිසයිලවලට සහාය දීම ආදියද සිදු වෙනවා. මේ විදියට ඔත්තු බැලීම සඳහා අවශ්‍ය කරන අධි තාක්ෂණික සංවේදක හා සන්නිවේදන පද්ධති spy ships සතුයි. X band, C band වැනි වර්ගවල ප්‍රබල රේඩාර් පද්ධති වලින්ද මේවා සමන්විතයි. Tracking ship වලට අදාල බොහෝ තොරතුරු අදාල රටවල් විසින් පවත්වාගෙන යන්නේ ඉතාම රහසිගතව.

ඉතිහාසය

Tracking ship එකක් පිළිබඳව මුලින්ම වාර්තා වෙන්නෙ ඇමරිකාව දෙසින්. එවක ඇමරිකානු නාවික හමුදාවේ USS Gold star නම් සැපයුම් ප්‍රවාහන නෞකාව 1933 වසරේ සිට ජපන් නාවික යාත්‍රාවල සන්නිවේදන සංඛ්‍යාත සෙවීම සඳහා යොදවා තිබුණා. පර්ල් වරාය ප්‍රහාරය වන තෙක්ම එම නෞකාව බුද්ධි තොරතුරු සෙවීම සඳහා භාවිත වී තිබෙනවා.

දෙවනි ලෝක යුධ සමයේදී Spy ships පිළිබඳව වැඩි වාර්තා ලැබෙන්නේ නෑ. නමුත් Spy ship වල සීග්‍ර වර්ධනයක් සීතල යුද සමයේදී දක්නට පුළුවන්. එවක රුසියාව සතුව 60 ක් පමණ Spy ships තිබුණ අතර ඇමරිකාව සතුව 80 ක් පමණ තිබුණා. 60' දශකය ආරම්භය සමග ඇමරිකාව tracking ships යෙදවීම වැඩි කරනු ලැබුවා. ඒවාට පැවරුණු ප්‍රධානම රාජකාරිය වූයේ සෝවියට් සබ්මැරීන් හදුනාගැනීම සඳහා නිශ්චිත සංඛ්‍යාත රටාවක් ගොඩනැගීම. ඔවුන් නිපදවූ බොහොමයක් Tracking ships හැඳින්වූයේ Technical research ships යන නමින්. Research ship කිව්වත් ඒවායේ සැබෑ අරමුණ එවක ප්‍රසිද්ධ රහසක්.

USS Liberty ඇමරිකානු නාවික හමුදාව සතුව තිබූ මෙවැනි Technical research ship එකක්. 1967 ජුනි 8 වනදා එය යාත්‍රා කරමින් සිටියේ ඊජිප්තුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේයි. ඒ සය දින යුද්ධය ඇවිලී ගොස් තිබු කාලය. ඊශ්‍රායල නාවික හමුදාව විසින් එදින USS Liberty ගිල්වා දමනවා. එය ඊජිප්තු නැවක් ලෙස සිතා සිටි බවයි ඊශ්‍රායලය පවසා සිටියේ. නමුත් එය සිතාමතා කල දෙයක් ලෙසටත් සැළකෙනවා. ඇතැම් විට Liberty ඒ ආසන්නයේ ඔත්තු බලමින් සිටියා විය හැකියි.

එවක සෝවියට් දේශයේ Spy ships සියල්ලම පාහේ ප්‍රමාණයෙන් කුඩා ට්‍රෝලර් යාත්‍රා ආදිය පරිවර්තනය කිරීමෙන් නිපදවූ ඒවා වුණා. මේවා හැඳින්වූයේ AGI Trollers නමින්.  ‍ප්‍රමාණයෙන් කුඩා වීම හා ධීවර යාත්‍රා මෙන් පෙනීම නිසා වැඩි කාර්යක්ෂම බවක් AGI යාත්‍රා පෙන්නුම් කර තිබුණා. මෙවැනි ඔත්තු බැලීම් හේතුවෙන් ගැටුමක් ඇති වීම වළක්වා ගැනීමට 1972 දී රුසියාව හා ඇමරිකාව ගිවිසුමක් පවා අත්සන් කළා. රුසියානු Spy ships ප්‍රමාණයෙන් කුඩා වුවත් කැපී පෙනෙන අන්දමේ Satalite Tracking Ships නම් ඔවුන් සතුව තිබුණා. Yuri Gagarin, SSV-33 Ural එවැනි ප්‍රසිද්ධ සෝවියට් Satalite ship දෙකක්. වර්තමානයේත් ඇමරිකාව හා රුසියාව සතුව Tracking ships කිහිපයක්ම තිබෙනවා.

2001 වසරේ දෙසැම්බර් 22 දා ජපානයේ ක්යූෂූ කලාපයේ Amami Oshima දූපත් අසල ගමන් කරමින් සිටි සැකකටයුතු නැවක් ජපන් හමුදාව විසින් නිරීක්ෂණය කරනවා. සොයා බැලීමේදී එය උතුරු කොරියානු Spy ship එකක් බව සොයාගනු ලැබුවා. පසුව දැඩි සටනකින් අනතුරුව එය විනාශ කිරීමට ජපන් නාවික හමුදාව සමත් වෙනවා.  වර්තමානයේ ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්වීඩනය වැනි රටවල් සතුවත් Tracking ships පවතිනවා. ප්‍රංශය සතුව Dupuy de Lôme ලෙස නම්කල Satalite tracking ship එකක් සේවයේ යොදවා තිබෙනවා.

චීනය Tracking ships වගේම Satalite Tracking ships වලින්ද සමන්විතයි. වර්තමානයේ කතා වන Yuan wang කාණ්ඩය 80' දශකයේ සිට නිශ්පාදනය කල ඔවුන්ගේ ප්‍රධානතම Spy ship වර්ගය වනවා. යුවෑන් වැන්ග් කාණ්ඩයේ නැව් 9 ක් පමණ නිපදවා තිබෙනවා. එයින් ඉදිරියේදී ලංකාවට පැමිණෙන්නේ Yuan wang 5 නම් නෞකාව.

මොකක්ද මේ Yuan wang?

යුවාන් වෑන්ග් කියන්නෙ චීන නාවික හමුදාව භාවිතා කරන ප්‍රධානතම Satalite Tracking ship කාණ්ඩය. Yuan wang කියන එකේ තේරුම 'දිගු දසුන' යන්න වෙනවා. මෙවැනි නෞකාවක් පිළිබඳව මුල්වරට චීනයේ අවධානය යොමු වෙන්නේ 1965 වසරේදී. එවක චීන අගමැති ශෞ එන්ලායි ගේ මඟපෙන්වීම මත තමයි Yuan wang නිපදවන්නේ. වැඩසටහනේ පලමු අදියර යටතේ 1977 හා 1978 වසරවලදී Yuan wang 1 හා Yuan wang 2 යන නැව් දෙක නිපදවා දියත් කරනු ලැබුවා.

මෙම නැව් දෙකේ පළමු මෙහෙයුම 1980 මැයි මාසයේදී සිදු කරා. එතැන් පටන් දේශීයව නිපදවන ලද සන්නිවේදන චන්ද්‍රිකා දියත් කිරීම් නිරීක්ෂණය කිරීමට වගේම ජාත්‍යන්තර චන්ද්‍රිකා දියත් කිරීම් සඳහාත් yuan wang නැව් සහාය වීමට භාවිතා කරා. සාර්ථකත්වය මත වැඩසටහනේ ඊලඟ අදියර යටතේ Yuan wang 3,4,5,6,7,21 හා 22 යන නැව් ද ඉක්මනින් නිපදවීමට ඉන්පසු චීනය කටයුතු කරනු ලැබුවා.

විස්තර කරා වගේ Yuan wang කියන්නෙ චන්ද්‍රිකා පිළිබඳව කටයුතු කිරීමට නිපදවූ නෞකා වර්ගයක්. නිදසුන් ලෙස Shenzhou 7 සහ Long March 5B යන රොකට්ටු වැඩසටහන් සඳහා Yuan wang 5, 6, 7 යන නෞකා සහාය වෙනවා. එයට සහය දීමට නැව් කිහිපයක්ම ලෝකයේ තැන් කිහිපයකම ස්ථානගත කර තිබෙනවා.

  • Yuanwang 1 - කහ මුහුදේ
  • Yuanwang 2 - ප්‍රංශ පොලිනීසියාවට කිලෝමීටර් 1500ක් නිරිත දෙසින්.
  • Yuanwang 3 - නැම්බියානු වෙරළට ඔබ්බෙන්
  • Yuanwang 4 - බටහිර ඕස්ට්‍රේලියා වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ.

ඉතින් මේ විදිහට Yuan wang යාමට නියමිතව තිබෙන්නේ වයඹ දිග ඉන්දීය සාගරයට. ඒ වෙනුවෙන් සැපයුම් ලබා ගැනීමටයි මේ නැව හම්බන්තොටට එන්නේ.

ඒත් ඉන්දියාව yuan wang  සලකන්නේ Spy ship එකක් ලෙසට. ඉන්දියාව කියන විදිහට yuan wang නෞකාවට කිලෝමීටර් 750ක දුරක ඇති ස්ථාන වල ඔත්තු බැලීමේ හැකියාව තියෙනවා. ඒ අනුව හම්බන්තොට වරායේ සිට ඉන්දියාවේ මිලිටරිමය වැදගත්කමක් ඇති ස්ථාන සහ උපායමාර්ගිකව වැදගත් වරායන් 6ක ඔත්තු බැලීමේ හැකියාව චීනයට හිමියි. Economic Times වෙබ් අඩවියට අනුව,

  • කල්පාක්කම් න්‍යශ්ටික බලාගාරය.
  • කෝප්පන්කුලම් න්‍යශ්ටික බලාගාරය.
  • කෝචින් හී ඉන්දීය දකුණු නාවික විධානය.

වැනි සංවේදි ස්ථාන ගණනාවක තොරතුරු ලබා ගැනීමේ හැකියාව මෙම නෞකාව සතුයි. Yuan wang චීනයේ උපායමාර්ගික බලකාය යටතේ පාලනය වීම තවත් සැකයට කරුණක්ව තිබෙනවා. ඉදිරි සතිය තුළ yuan wang අර්බුදය සම්බන්ධයෙන් තවත් වැඩිදුර තොරතුරු දැන ගන්න ලැබේවි.