Loading...
වායු දූෂණයේ වැඩිවීමත් සමග කතාබහට ලක්​වූ Air Quality Index (AQI) හෙව​ත් වායු තත්ත්ව දර්ශක ගැන සියළු ​දෑ

කාර්මික විප්ලවයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ සිදුවූ කාර්මීකරණය සහ ඒ හා සම්බන්ධ නොයෙකුත් දියුණුවීම් සමග අපගේ පෘථිවිය මත පවතින ස්වාභාවික මූලාශ්‍ර විශාල ප්‍රමාණයකට දැඩි හානියක් සිදුවිය. එමෙන්ම පාඨක ඔබට මෙන්ම මා හටත් මුහුණ දීමට සිදුවූ 2020 වසරේ පැවති කොවිඩ් 19 වෛරස සමයේ ගෝලීය වශයෙන් උද්ගත වූ රැකියා කප්පාදුව සහ කාර්මික නිශ්පාදනයන්ගේ බිඳ වැටීම ජෛව ලෝකය සඳහ විශාල ලාභදායී වූ බව ලොව පුරා සිටි පරිසරවේදීන් විසින් ප්‍රකාශ කරන ලදී.  

එලෙස කාලයෙන් කාලයට ලොව ජෛව පද්ධතිය තුළ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන විපර්යාස අතරින් මේ දිනවල අප රට තුළ ජීවත් වන සියල්ලන් හටම අත්විඳීමට සිදුව ඇති ඛේදවාචකයක් වන්නේ වායු දූෂණයයි.

කොළඹ නගරයේ පසුගියදා පැවති තත්ත්වය. (Source: www.sundayobserver.com)

පසුගිය දිනවල දී මෙන්ම මේ දිනවලත් ප්‍රධාන ප්‍රදේශ කිහිපයක ඉහළ අහසේ මීදුම් සහිත බවක් දිස්වීමට තිබුණි. බොහෝ දෙනා එසේ සිතූවත් එය මීදුම් හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් නොවන බවත් එය දකුණුදිග ඉන්දියාවේ සිදුව ඇති වායු දූෂණය හේතුවෙන් සහ මේ වන විට බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින සුළං තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලංකාවේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ඇතිබවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග මහජනතාව වෙත දවා සිටියහ.

මෙම තත්ත්වය ජනතාව කෙරෙහි තදින්ම බලපානු ලබන බැවින් රජය විසින් නිවේදනය කරනු ලැබූවේ ජනතාව මේ දිනවල දී සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි. නිදන්ගත රෝගී තත්ත්ව ඇති අය, ගර්භණී මවුවරුන්, වැඩිහිටි පුද්ගලයින් මෙන්ම කුඩා දරුවන් ද වැඩි වශයෙන් පිටත පරිසරයට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙස දන්වා සිටින ලදී.

මේ සමගම අප හට අසන්නට දකින්නට ලැබුණු හුරුපුරුදු ඡායාරූපයක් පහත දිස්වේ.

Captured from IQAIR.com

මෙයින් සඳහන් වන්නේ අප ජීවත් වන රට තුළ හෝ ලෝකයේ වෙනත් රටවල් වල වායුගෝලයේ ඇති ගුණාත්මකභාවයයි. එලෙස වායුගෝලයේ ඇති ගුණාත්මකභාවය නැතහොත් වායු තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ලොව පිළිගත් යෙදවුම් කිහිපයක් භාවිතා කරනු ලබයි. එමගින් ලබගන්නා Air Quality Index නැතහොත් AQI අගය මත වායුගෝලීය තත්ත්වය පිළිබඳව අදහසක් ලබාගත හැකිවේ. එයින් ඔබ සියල්ලන්ටම භාවිතා කර යම් අදහසක් මේ පිළිබඳව ලබාගත හැකිවන යෙදවුම් කිහිපයක් පිළිබඳව මෙම ලිපිය ඔස්සේ ගෙනහැර දක්වයි.

AQI පිළිබඳව සරලව

Air Quality Index නොහොත් වායු තත්ත්ව දර්ශක ලෙස හදුන්වන්නේ, දිනපතා වායුවේ ගුණාත්මකභාවය මනිනු ලබන දර්ශකයකි. මෙමගින් කෙටි කාලයක් තුළ යම් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය සඳහා වායු දූෂණය බලපානු ලබන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කරයි.

මෙලෙස නිගමනයන් වෙත එළඹීම සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගත් තත්ත්වයන් කිහිපයක් නම් කර ඇත. එනම්,

  1. Ground Level Ozone
  2. Particle Pollution (PM2.5/PM 10)
  3. Carbon Monoxide
  4. Sulfur dioxide
  5. Nitrogen dioxide

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් AQI අගය තීරණය කිරීම සිදුකරනු ලබන අතර මෙම අගය ගණනය කිරීම වඩා නිරවද්‍යව ඉතාමත් කෙටි කාලයක් තුළ සිදුකිරීමට නවීන තාක්ෂණය භාවිතා කිරීම සුලභව දක්නට ලැබෙන කරුණකි.

විවිධ රටවල් වල පවතින විවිධාකාර වූ පරාමිතීන් අනුගමනය කරමින් මෙම AQI අගය ගණනය කරනු ලබන නමුත් ඒවායින් ප්‍රකාශිත වන තොරතුරු එකම ආකාරයේ ඒවා වේ. එලෙස AQI අගය නිරූපණය කරනු ලබන යෙදවුම් කිහිපයක් පහත සඳහන් වේ. ඔබට ඒ වෙත පිවිසීම මගින් තවදුරටත් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සිදුකළ හැක.

IQAir Air Visual

Source: www.iqair.com

IQAir Air Visual යෙදවුම මගින් එය භාවිතා කරනු ලබන පරිශීලකයන් වෙත ඕනෑම දත්තයක් ඉතාමත් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිවේ. iOS සහ Android හරහා මෙන්ම IQAir.com වෙබ් අඩවිය හරහා ද මෙහි අන්තර්ගතයන් පිළිබඳව අධ්‍යනය කිරීමට හැකියාව ඇත. ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි විවිධ ස්ථානවල පවතින AQI අගයන් පෙන්නුම් කිරීම සිදුකරයි.

Air Matters

Source: www.air-quality.com

මෙම යෙදවුම ද පෙර සඳහන් කරනු ලැබූ IQAir ට වඩාත් සමාන වන යෙදවුමක් වේ. මෙහි වැදගත්කම වන්නේ මෙමගින් දත්ත පෙන්නුම කරන අතරම සෞඛ්‍ය තත්ත්වය එම මට්ටම යටතේ පවත්වාගත යුතු ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීම සිදුකරයි. එමෙන්ම මෙහි ද iOS සහ Android යෙදවුම් සහ air-matters.com වෙබ් අඩවිය ඔස්සේ ද පරිශීලකයන් හට භාවිතා කිරීම සඳහා ඉඩ සලසා ඇත. මෙහි iOS යෙදවුම භාවිතා කරන විට එය Siri සමග එක්ව ක්‍රියා කරවීම සඳහා නිර්මාණය කර ඇත.

BreezoMeter

Source: www.breezometer.com

මෙම යෙදවුම පෙර සඳහන් කළ යෙදවුම් වලට සාපේක්ෂව තරමක් සිත්ගන්නාසුළු Interface එකක් ඇති අතර වෙනත් යෙදවුම් මෙන් විවිධ ආකාරයේ දත්ත වගු භාවිතා නොකරයි. මෙහි User Interface හි ඇති සරලබව හා ආකර්ශණීයත්වය හේතුවෙන් පරිශීලකයන් වෙතින් මේ සඳහා වැඩි අවධානයක් ලබාගැනීමට අවස්ථාව උදාවී ඇත. මෙහි ද iOS සහ Android යෙදවුම් පවතින අතර breezometer.com හරහා ද මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට් හැකියාව ඇත.

ඉහත සඳහන් ආකාරයේ යෙදුම් භාවිතා කර පාඨක ඔබට වායු තත්ත්වයන් පිළිබඳව මනා අවබොධයක් ලබාගත හැකිවේ. එමෙන්ම මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත මූලාශ්‍ර වෙත පිවිසෙන්න.

මෙවැනිම කාලීන තාක්ෂණික පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ සමග එක්වී සිටින්න.

කවරයේ පින්තූරය තිළිණ කළුතොට​ගේ

Sources: www.breezometer.com air-quality.com www.iqair.com www.weather.gov