Loading...
සමාජ මාධ්‍ය තුල සිරකරුවෙකු වීමේ අර්බුදයට විසඳුමක්; Fediverse! - Part 02

මීට කලින් ලිපියේ අපි සාකච්ඡා කළා දැනට මුළු ලෝකයම මුහුණ දී ඇති සමාජ මාධ්‍ය හෙවත් සෝෂල් මීඩියා අර්බුදය සහ එහි භයානක කම.

මේ අර්බුදයට විසඳුම් Social Dilemma වාර්තාමය චිත්‍රපටයේ වත් කතා වෙන්නේ නැහැ. හේතුව, සමාජ මාධ්‍ය ඇබ්බැහිය ඒ තරම් වැඩි නිසා.

සරල උදාහරණයක් විදියට, පහුගිය කාලෙ හැමෝම කතා වුණ WhatsApp අර්බුදය ගන්න පුළුවන්. හැම තැනම කතා වුණ විදියට, WhatsApp කියන්නෙ භාවිතාවට නුසුදුසු භයානක සේවාවක්. ඒත් ඒකෙන් මිනිස්සු අයින් කරන්න බැරි තරමට ඒකට ඇබ්බැහි වෙලා ඉවරයි. ඊට වඩා ආරක්ෂාව අතින් බොහෝ ඉදිරියෙන් ඉන්න Signal, පහසුකම් අතින් ගව් ගණනාවක් ඉදිරියෙන් ඉන්න Telegram වගේ ඇප් වලට මිනිස්සු මාරු වෙන්න වත් කැමති නෑ. අන්න ඒ නිසා තමයි සිදුවෙන විනාශය දැක දැකම අපිට ඇස් පියන් ඉන්න වෙලා තියෙන්නෙ.

ඒත් මම විශ්වාස කරනවා 'Android වැඩකාරයෝ' පාඨක පිරිස අනික් අයට වඩා විශේෂ, වෙනස් සහ බුද්ධිමත් පිරිසක් කියන එක. අන්න ඒ විශ්වාසය මත මම මේ අර්බුද වලට තියෙන බොහොම සාර්ථක විසඳුමක් ඉදිරිපත් කරන්නයි අද සූදානම් වෙන්නෙ. මම හිතනවා මේ විසඳුමට බොහෝ දෙනා කැමති වෙයි කියලා.

කලින් ලිපියේ අපි සාකච්ඡා කළා, අපේ දත්ත ප්‍රධාන සමාඟම් කීපයක ගොඩ ගැසීම වැළැක්වීම සිදු කළ යුතු බව. මේකට විසඳුමක් විදියට ඔබේ දත්ත ඔබ ළඟ තියාගන්න පුළුවන් විදියේ විසඳුමක් ඉදිරිපත් වෙනවා FOSS community එකකින්. ඒකෙ නම තමයි Fediverse. මේකෙ තාක්ෂණික පසුබිම ගැන මම විස්තර කරන්නෙ නැහැ අවශ්‍ය කෙනෙක්ට ඕන තරම් මේ ගැන විස්තර හොයාගන්න පුළුවන් අන්තර්ජාලය හරහා. මම කියලා දෙන්නම් මේකෙ concept එක මොන වගේද, වෙන්නෙ මොකක්ද කියන දේ.

Fediverse කියන්නෙ මොකක්ද?

බොහොම සරලව Fediverse කියන්නෙ Federation සහ Universe කියන වචන දෙක එකතු වෙලා හැදෙන වචනයක්. මේකෙ ක්‍රියාකාරිත්වය මෙහෙමයි. අපිට පුළුවන් අපේ දත්ත අපි කැමති තැනක ගබඩා කරගන්න. ඊට පස්සෙ අපිට පුළුවන් අපේ දත්ත ගබඩා කරලා තියෙන සර්වර් එක අනික් අයගෙ ඒ වගේ සර්වර් එක්ක සම්බන්ධ කරන්න. එතකොට එතන හැදෙනවා සමාජ මාධ්‍ය ජාලයක්. වෙනස තමයි අපේ හැම දෙයක්ම පාලනය කරන්නෙ අපි. මේක අපි තවත් සරලව මෙහෙම පැහැදිලි කර ගනිමු.

අපි උදාහරණයක් ගනිමු, Facebook, Twitter වගේ සේවාවක Verify වෙන්න හරි අමාරුයි කියලා ඔයාලා දන්නවනෙ. අපේ නම ගාවින් නිල් හරියක් දාගන්න පුදුම කට්ටක් කන්න ඕන.

ඒත් Fediverse එක ඇතුළෙ Verify වෙන්න නම් කරන්න ඕන ඉමෝජි එකක් අපේ නම ගාවින් දාගන්නවා වගේ අර හරි සලකුණ දාගන්න විතරයි. මොකද, මේකෙදි සමාජ මාධ්‍ය අයිතිකාරයා ඔයාමයි.

My verified badge in Mastodon

Twitter එකේ අයිතිකාරයාට එයාගෙ නම ඉස්සරහින් හරියක් දාගන්න එක හරි සරල දෙයක් වගේ, මාක් සකර්බර්ග් ට එයාට ඕන විදියට එයාගෙ ප්‍රොෆයිල් එක හදාගන්න පුළුවන් වගේ මේ ප්ලැට්ෆෝම් එකේ අයිතිකාරයා ඔයා! වැඩේ මරු නේද? ඇත්තටම ඔව්. මේකට අපි කියනවා Self Hosted කියලා.

Fediverse එක ඇතුළෙ තියෙනවා අද අපි පාවිච්චි කරන Twitter/Facebook, Instagram, YouTube වගේ ප්ලැට්ෆෝම් වෙනුවට මම අර කලින් කිව්ව ආකාරයේ Self Hosted විකල්ප.

  • Twitter/Facebook වෙනුවට,  Mastodon, Diaspora, Pleroma, Friendica වගේ ඒවාත්
  • Instagram වෙනුවට PixelFed කියන එකත්
  • YouTube වෙනුවට PeerTube කියන solution එකත් පෙන්වා දෙන්න පුළුවන්.

මීට අමතරව ජනප්‍රියත්වයට පත් නොවුණ තවත් බොහෝ සේවාවන් Fediverse ජාලය තුළ තියෙනවා. නමුත් මේ ටික ජනප්‍රියයි වගේම ලෝකෙ දැනට ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය වගේම ලස්සනට, හොඳ quality එකකින් තියෙනවා. Facebook, Twitter වගේ එක් සමාඟමක් යටතේ තියෙන සමාජ මාධ්‍ය වලට Centralized (මධ්‍යගත) ලෙසත් අපි අද මේ කතා කරන, එක් සමාඟමක් යටතේ නැති අපි හැමෝටම අයත් Platform වලට Decentralized (විමධ්‍යගත) ලෙසත් හඳුන්වනවා.

Let's Join the Fediverse!

අපි ඊළඟට බලමු කොහොමද මේ සේවාවන් වලට අපිත් එකතු වෙන්නේ කියලා. දෙවෙනි ක්‍රමය නම් අතිශය සරලයි. මුලින්ම මම කියන්නම් අමාරු වුණත් වඩා හොඳ සහ විශ්වාසවන්ත වුණත් යම් ICT දැණුමක් අවශ්‍ය වෙන ආකාරය ගැන. අමාරු නම් නැහැ ඒත් යම් දැණුමක් සහ උනන්දුවක් මේකට අවශ්‍ය වෙනවා.

මුලින්ම කරන්න ඕන VPS එකක් හෝ කිසියම් ආකාරයේ Server එකක් ලබා ගැනීම. ඉන් පසුව, අදාළ සේවාවට අවශ්‍ය කරන මෘදුකාංග ඒ සර්වර් එකට ස්ථාපනය කර ගැනීම. ඊට පස්සෙ පුළුවන් ඔයාට මේ සේවාවන්ට සම්බන්ධ වෙන්න. මෙන්න මේ ඔයාගෙ සර්වර් එකේ තමයි ඔයාගෙ හැම විස්තරයක්ම ගබඩා වෙන්නෙ. මොනම සංවේදී දත්තයක් වත් මේ සර්වර් එකෙන් පිටට ඔයාගෙ අනුදැනුම නැතිව යන්නෙ නැහැ. 100%ක්ම ආරක්ෂිත ක්‍රමය මේකයි.

මේක තනි පුද්ගලයෙක්ට කරන්න අමාරුයි කියලා ඔයාලට හිතෙනවා නම්, ඔයාලගෙ කැම්පස් එකේ අයට, එහෙමත් නැත්නම් වැඩ කරන තැන අයට එකතු වෙලා සර්වර් එකක් ලබාගෙන මේ සේවාවන් ස්ථාපනය කරගන්න. වැඩේ විශ්වාසවන්තයි වගේම ආරක්ෂිතයි.

අපි ඊළඟට බලමු දෙවෙනි විසඳුම, සරලව මේ සේවාවන් පරිහරණය කරන ආකාරය. අපි Facebook එකේ අකවුන්ට් එකක් හදාගන්නවා වගේම මේ සර්විස් එකකත් අකවුන්ට් එකක් හදාගන්න පුළුවන්. ඒ කොහොමද? ඒ මෙහෙමයි. මම කලින් කිව්වනෙ මේවා පාවිච්චි කරන්න නම් සර්වර් එකක් ගන්න ඕන කියලා. එහෙම කවුරුන් හරි ගත්ත සර්වර් එකක්, ඔයාටත් පාවිච්චි කරන්න ඉඩ දීලා පොදු සර්වර් එකක් බවට පත් කරන්න පුළුවන්. එහෙම පොදු සර්වර් බවට පත් කරපු ඒවා ටිකක් මම පහළින් දාන්නම්. අකවුන්ට් එකක් හදාගෙන ටිකක් පාවිච්චි කරලා බලන්න. වැඩේ හොඳයි කියලා හිතුණොත් ඔයාට පුළුවන් ඔයාගෙම සර්වර් එකකට යන්න. ඕන නම් දිගටම අර විදියෙ public server එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද මේ සර්වර් Facebook එකට නම් වඩා 1000%ක්ම ආරක්ෂිතයි. වෙළඳ දැන්වීම් නෑ, ඔයාව මොනිටර් කර කර පස්සෙන් එන්නෑ, ඔයාව ඇබ්බැහි කරවන AI මේවයෙ නෑ.

Fediverse Public Servers

Mastodon Interface
Pixelfed Interface

මෙන්න මේ අඩවියෙන් https://fediverse.party පුළුවන් දහස් ගණනක් වෙන සර්වර්ස් අතරින් ඔබ කැමති සර්වර් තෝරාගෙන ඒවායේ අකවුන්ට් හදාගන්න.

මේ මම කිව්ව දේවල් ටික ඔයාලට පුළුවන් අන්තර්ජාලය පීරලා හොයලා බලන්න. තාක්ෂණික කරුණු සහ ඔයාගෙම සර්වර් එකක් හදාගන්න කරන්න ඕන දේවල් වගේ බොහෝ දේවල් අන්තර්ජාලය තුළ සොයාගන්න පුළුවන්.

මේ concept එක බොහොම ලස්සන එකක්. ඒ වගේම මේ සේවාවල් වල නීති රෙගුලාසි නෑ. ඔයාගෙ සර්වර් එකක් හදාගෙන ඔයා ඒකෙ මොනා දැම්මත් කාටවත් මුකුත් කියන්න බෑ. රිපෝට් කරන්න බෑ, ඔයාව ඒ ප්ලැට්ෆෝම් එකෙන් එළවන්න බෑ. නමුත් කණගාටුවට කාරණාව තමයි මේ වගේ දේවල් වලට මිනිස්සු උනන්දු නෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමති නෑ. වෙනස් වෙන්නත් කැමති නෑ. මේ සේවාවන් පාවිච්චි කරන ඔක්කොම අය පිටරට මිනිස්සු. ලංකාවෙ අය මේ දේවල් අහලත් නෑ.

ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ ගැන හොයලා බලන්න, ඉගෙනගන්න කියලා. මට මේ දේවල් ලිව්වා කියලා කිසි ලාභ ප්‍රයෝජනයක් නැහැ. ඒත්, අන්තර්ජාලය තුළ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අයිතිය වෙනුවෙන්, කාගෙවත් රූකඩයක් නොවී සිටීමේ අයිතිය වෙනුවෙන්, කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් සහ වඩා හොඳ ආරක්ෂිත අනාගතයක් වෙනුවෙන් කරන සත්කාරයක් වශයෙන් මේ දේවල් ගැන ලියලා තියන්න මම තීරණය කළා. නැවත මුණගැසෙමු, ඔබට ජය!