Loading...
අපි සමාජ මාධ්‍ය තුළ සිරකරුවන් වන්නෙමු(ද?) - Part 01

ටිකක් වෙනස් විදියේ ලිපියක් එක්ක අපේ සහෘද පාඨකයින් අමතන්නයි අද සූදානම් වෙන්නෙ. මේ විදියට ලේඛණ ශෛලිය වෙනස් කරලා නිදහසේ, මූලාශ්‍ර මත පදනම් නොවුණ, ප්‍රවෘත්තිමය වටිනාකමක් නැති, ඔබව දැණුවත් කිරීමේ අරමුණෙන්  මගේම ලිපියක් ලියන්නෙ සෑහෙන කාලෙකින්.

'Android වැඩකාරයෝ' එක්ක ඉස්සර ඉඳන්ම ඉන්න කෙනෙක් නම් මම මේ ආකාරයෙන් ඔබව ආමන්ත්‍රණය කරපු ලිපි කියවලා ඇති. ඒවා බොහොමයක් ඔබගෙ ආරක්ෂාව වෙනුවෙන්, සමාජයේ සුබසෙත වෙනුවෙන් ලියපු දේවල්. ඒවයින් අන්තර්ජාලයේ යථා ස්වරූපය තේරුම්ගත්ත පිරිසක් ඉන්න එක මට ලොකු සතුටක් මොකද මට අවශ්‍ය වෙන්නෙත් ඒ දේ තමයි. අද අපි තවත් අලුත් දේවල් ටිකක් ඉගෙනගනිමු. මේ ලිපිය කීප දෙනෙක් මගෙන් ඉල්ලපු දෙයක්. ඉතින්, අපි දැන් කතාවට යමු.

සමාජ මාධ්‍ය (Social Media)

සමාජ මාධ්‍ය, එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා කියන දේ අන්තර්ජාලය තුළ බිහි වීමත් එක්ක මිනිස්සු ඉන් පෙර නොවූ විදියට එකිනෙකා එක්ක බොහොම අධිකව තොරතුරු හුවමාරු කරගන්න පටන්ගත්තා. අන්තර්ජාලය පරිගණක වලට සීමා නොවී දුරකථන වලට පැමිණීමත් එක්ක අන්තර්ජාලය කියන්නෙ මනුස්සයෙක්ට කෑම, වතුර වගේ අත්‍යවශ්‍ය සහ එදිනෙදා ජීවිතයට බැඳුණ සාධකයක් බවට පත් වුණා.  ඒ සමඟම අපි අර කලින් කතා කරපු සමාජ මාධ්‍ය කියන දේ සීඝ්‍රයෙන් පැතිරුණා. අද ඔබ මේ ලිපිය කියවන්න ආවෙත් යම් සමාජ මාධ්‍යක් තුළ තිබුණ Link එකක් හරහා වෙන්න පුළුවන්. අපි දවසෙන් වැඩි හරියක් ගත කරන්නෙ සමාජ මාධ්‍ය එක්ක.

අපි මේ සමාජ මාධ්‍ය වල තිබුණ ආකර්ෂණීය බවට වශී වෙලා ඒවා පිටුපස තියෙන යථා ස්වරූපය අමතක කරලා කියලයි මට හිතෙන්නෙ. මේ කියන්නෙ මොකක්ද? මේ ලස්සන ෆේස්බුක් එකේ, වට්සැප් එකේ තියෙන අඳුර මොකක්ද? එහෙම එකක් තියෙන්න විදියක් නෑ කියලා ඔබ හිතනවා ඇති. ඇත්තටම පිටින් පේන්න නම් කිසිම වරදක් සමාජ මාධ්‍ය වල නැහැ. ඒත් ඇත්තටම ඒක එහෙමද?

ඕනම සෝෂල් මීඩියා එකක විකිණෙන වෙළඳ භාණ්ඩය වෙන්නෙ, එම අඩවිය පාවිච්චි කරන ඔබ මයි. මාක් සකර්බර්ග් ලෝකෙම මුල් තැන ඉන්න සල්ලි කාරයෙක් වුණේ අපිව විවිධ සමාඟම් වලට විකුණලා. අපි සමාජ මාධ්‍ය භාවිතා කරන හැම නිතරම එයාලා මුදල් උපයනවා ඒත් අපි? මුදල් වියදම් කරගන්නවා. කාලකන්නි වෙනවා. එයාලගෙ මේ මුදල් ඉපයීමේ ක්‍රම වල අවුල් ගොඩක් තියෙනවා. ඒ මොනාද කියලා බොහොම සැකෙවින් මම විස්තර කරන්නම්, ෆේස්බුක් කියන උදාහරණය එක්ක.

ෆේස්බුක් එක නිතරම උත්සාහ කරන්නෙ ඔබව ෆේස්බුක් අඩවිය වෙත ගෙන්නගන්න. ඔබට නොටිෆිකේෂන්ස් පෙන්නලා ඔබ නිදහසේ ඉන්න හැම වෙලාවෙම ඒ අඩවියට ඔබව ගෙන්නගන්නව. ඔබ මාසයක් විතර ෆේස්බුක් එකේ ඇක්ටිව් නොවී හිටියොත් ඔබට පෙන්නන්න නොටිෆිකේෂන්ස් නැති වෙනවා. එතකොට එයාලා නොටිෆිකේෂන්ස් හදලා හරි පෙන්වනවා. මම ෆේස්බුක් භාවිතාව බොහොම අඩුවෙන් කරන නිසා මට ඒ වගේ බොරු නොටිෆිකේෂන්ස් බොහොමයක් එනවා. මේ එයින් උදාහරණ කීපයක්.

Irrelevant Notifications when FB activity is low. 

එයාලට ඕන ඔබගෙ ඇස් දෙක ෆේස්බුක් එකේම තියාගන්න. ඔබට ඔබ ආස හිතෙන විදියේ පෝස්ට් එයාලා පෙන්නනවා. ඒ කොහොමද? ඔබගෙ හිත කියවන්න ෆේස්බුක් එකට පුළුවන් කිව්වොත්? හිනා වෙන්න එපා, ඒකයි ඇත්ත. ඔබ ෆේස්බුක් එකේ දාන ලයික්, කමෙන්ට්ස්, ඔබ පෝස්ට් එකක් දිහා බලන් ඉන්න කාල පරාසය පවා එයාලා එකතු කරගන්නවා. ෆේස්බුක් එකෙන් පිට, වෙන ඇප්ස් වලින් කරන දේවල් පවා මොනාද කියලා බලන්න ෆේස්බුක් ඇප් එකට පුළුවන්. මේ ළඟදි ඒ දේවල් ඇපල් සමාඟමෙන් ලිමිට් කරපු නිසා තමයි ඇපල් සමාඟම එක්ක ෆේස්බුක් සමාඟම සීතල යුද්ධයක් පවා පටන්ගත්තෙ. ඔබලා ඒ දේවල් ගැන දැණුවත් ඇති.

ඔබ ගැන එකතු කරගන්න දත්ත වලින් එයාලා ඔබ කැමති/ අකමැති දේ විතරක් නෙවෙයි, හැම පෞද්ගලික විස්තරයක්ම, ආවෙ ගියේ කොහෙද කා එක්කද හිටියේ කියන දේවල් පවා එකතු කරගන්නවා. ඒ දේවල් පදනම් කරගෙන ඔබ ආස හිතෙන ජාතියෙ වෙළඳ දැන්වීම් පෙන්වනවා, ආස දේම පෙන්න පෙන්න ඔබව ඒකට ඇබ්බැහි කරගන්නවා. ඔබ ෆේස්බුක් ඕපන් කරගෙන ඉන්න තරමට එයාලගෙ මඩිය තර වෙනවා, ඔබ ඔබගෙ කාලය, මුදල් සහ මානසික සෞඛ්‍ය නැති කරගන්නවා.

ඔබ ආස කරන දේවල්, ඔබ ආගිය තැන්, ඔබ විවාහකද, ආදරවන්තයෙක්ද වගේ අතිශය පෞද්ගලික දේවල් පවා දිනපතාම ෆේස්බුක් එකෙන් ගබඩා කරගන්නවා. ඔබගෙ දුරකථනයේ තියෙන දුරකථන නාමාවලිය පවා එයාලා දන්නවා. වැඩිපුර කථා කළේ කාටද කියලත් දන්නවා. මේ දත්ත පාවිච්චි කරලා කරන්නෙ ඔබව ෆේස්බුක් අඩවියට ඇබ්බැහි කරවාගෙන ඔබට වෙළඳ දැන්වීම් පෙන්වමින් මුදල් උපයා ගැනීමයි. ඔබගෙන් එක්කහු කරගන්න දත්ත උපයෝගී කරගෙන ඔබ ආසම දේවල් ෆේස්බුක් එකේ පෙන්වන්න පාවිච්චි වෙනවා අතිශය දියුණු කෘතිම බුද්ධි, එහෙමත් නැත්නම් Artificial Intelligence. ඒ වගේම විවිධ ආකාරයේ ඇල්ගොරිතම භාවිතා කරලා ඔබව ෆේස්බුක් එකට ඇබ්බැහි කරවන්නත් එයාලා පටන් අරන් තියෙන්නෙ.

ඒ වගේම මේ දත්ත ෆේස්බුක් සමාඟමෙන් තවත් ආයතන වලට මුදලට විකිණෙනවා. ඔබව තව සමාඟම් කීයකට ෆේස්බුක් එකෙන් විකුණලද කියලා දන්නෙ එයාලා විතරයි.

මේ අර්බුද අතරට එකතු වෙන තවත් අර්බුදයක් තමයි මේ අතිශය පෞද්ගලික, වටිනා දත්ත ෆේස්බුක් වගේ මහා පරිමාණ සෝෂල් මීඩියා වල විශාල වශයෙන්, එක් රැස් වීම පළාතක් වශයෙන්, රටක් වශයෙන් පවා තීරණ ගන්න මේ දත්ත උපයෝගී කරගන්න පුළුවන්. රටක මිනිස්සුන්ගෙ මානසිකත්වය වෙනස් කරලා ආණ්ඩුවක් පෙරළන්න පවා ෆේස්බුක් යොදාගන්න පුළුවන්. ඔබ කැමතිම පාලකයා, ඔබ අකමැතිම පාලකයා බවට පත් කරවන්න ෆේස්බුක් එකට පුළුවන්. ඒක කරන්නෙ ඔබටත් නොතේරෙන විදියට ඔබගේ මනසට ඇතුළු වීමෙන්.

මේ වගේ අතිශය විශාල බලයක් ලෝකයේ ප්‍රධාන සෝෂල් මීඩියා සමාඟම් දෙක තුනක් අතට යෑම බොහොම භයානක දෙයක්. ලෝකයේම ජීවත් වෙන මිනිසුන්ගේ අනාගතය තියෙන්නෙ සෝෂල් මීඩියා කම්පනි දෙකක් තුනක් අතේ කිව්වොත් අපිට දැන් හිනා යයි. ඒත් ලෝකයේ ඇත්ත ස්වරූපය ඒකයි. අපිටත් නොතේරෙන්න අපේ මනස පාලනය කරන්න සමාජ මාධ්‍ය වලින් පටන් අරන් තියෙන්නෙ.

මේ අර්බුදය කොහොමද අපි නවත්තන්නෙ?

මේ අර්බුදය ගැන වාර්තාමය චිත්‍රපටයක් හැදෙනවා පසුගිය වසරේ. ඒකෙ නම, Social Dilemma. මම අර කිව්ව හැම දේම ඔබට සරලව ඉදිරිපත් කරලා තියෙනවා ඒකෙ. ඒ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ළඟදිම ඔබලට ලබාගන්න පුළුවන් වෙයි, තාම උපසිරැසිය නම් නිකුත් වෙලා නෑ. ඒ චිත්‍රපටයේ ලාංකිකයනුත් දෙන්නෙක් පෙනී ඉන්නවා. ඉන් එක්කෙනෙක් ෆේස්බුක් අඩවිය නිපදවන්න මූලිකත්වය ගත්ත අයෙක්. ඔහු නමින්, චමත් පළිහපිටිය. සෝෂල් මීඩියා භාවිතා කරන ඔබ සියළු දෙනා නැරඹිය යුතු චිත්‍රපටයක් ඒක. ඒත්, ඒ චිත්‍රපටයේවත් කොතැනක වත් මම කලින් පැහැදිලි කරපු අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කරලා නෑ. අදාළ අර්බුදය පෙන්වාදීම හොඳයි ඒත් කෝ විසඳුම්? එයාලට අනුව මේකට විසඳුම් නෑ! අපි යන්නෙ අපි විසින්ම අපිව විකුණගන්න තැනට. ඒකෙන් බේරෙන්න ක්‍රම නැද්ද?

එක ක්‍රමයක් දැනටමත් ඊලෝන් මස්ක් යෝජනා කරලා තියෙන්නෙ. ඒ කවුද කියලා තාමත් දන්නෙ නැත්නම්, ටිකක් හොයලා බලන්න. Elon Musk කියලා සර්ච් කරන්න. අනවශ්‍ය හැම දේම සර්ච් කරන ඔබට මේක එච්චර අමාරු නෑ.

Elon Musk

එයා කිව්ව විසඳුම, ෆේස්බුක් ගිණුම මකා දමන්න! ඒක ඇහුවම පපුවත් හිර වුණා වගේ දැණුනා නේද? ඔව්. ඒ තත්වෙට ඔබගෙ මනස විකෘති කරන්න ෆේස්බුක් සමාඟමේ කෘතිම බුද්ධි වලට පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඒක තමයි එකම ඵලදායී විසඳුම. ඊට පස්සෙ? අපි ෆේස්බුක් වෙනුවට පාවිච්චි කරන්නෙ මොනාද? අපි කොහොමද අදහස් හුවමාරු කරගන්නෙ? ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්සැප්, ට්විටර් අතෑරලා අපිට පිස්සු හැදෙයි!!

ඔව් ඇත්ත. මිනිස්සු කියන්නෙ බොහොම සමාජශීලී සත්ත්ව කොට්ඨාසයක්. අපිට සමාජ මාධ්‍ය ඕන තමයි. ඒත් අර විදියේ නපුරක් තියෙන සමාජ මාධ්‍ය අපිට එපා! අපිට ඕන ෆේස්බුක් වල තියෙන වැඩ ටික කරගන්න ඒ වගේ දරුණු නැති විකල්පයක්. අපිව විකුණන් කන්නෙ නැති සමාජ මාධ්‍ය තියෙනවද? අපි ගැන ඕනවට වඩා විස්තර එකතු නොකර, අපිව ඇබ්බැහි කරවන්න උත්සාහ නොකරන, හොඳ පරමාර්ථයක් එක්ක තියෙන සමාජ මාධ්‍ය? එහෙම ඒවා හොයාගන්න නෑ නේද?

අපිට පුළුවන් නම් ෆේස්බුක් එකක් අපිටම හදාගන්න? මං කියන්නෙ ලංකාවෙ අයට පාවිච්චි කරන්න වෙනම සයිට් එකක් නෙවෙයි. මම කිව්වෙ ඔබටම ඔබගෙ ෆේස්බුක් අඩවියක්. ඒකෙ තියෙන ඩේටා ඔක්කොම තියෙන්නෙ ඔබ ළඟ. ඔබගෙ කම්පියුටර් එකක. වෙළඳ දැන්වීම් නෑ! ඇබ්බැහිවීම් නෑ, එහෙම එකක් තිබුණා නම් හොඳයි නේද? ඒක ප්‍රායෝගික විසඳුමක්ද?

ඇත්තටම ඔව්! ලෝකෙ දක්ෂයො ටිකක් එකතු වෙලා, අපේ මේ අර්බුදයට විසඳුමක් හොයාගෙන තියෙනවා. අවුල තමයි, ඒක තේරුම්ගන්න ටිකක් අමාරුයි, ඒ නිසා ප්‍රසිද්ධිය අඩුයි. අන්න ඒ හේතුව නිසා, ලාංකික ඔබ වෙනුවෙන් ඒ විසඳුම ගැන සරලව කියලා දෙන්න මම තීරණය කළා. නමුත් දැනටමත් ලිපිය ගොඩක් දීර්ඝ වෙලා අවසන්. ඒ නිසා අපි ඒ විසඳුම ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. එතෙක්, ඔබට ජය!