ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට පවත්වනු ලබන අතිශය තීරණාත්මක ජාතික සුදුසුකම් හා ප්‍රවේශ විභාගයේ (NEET-UG) ප්‍රති-විභාගය පැවැත්වීමට දින කිහිපයකට පෙර, රට තුළ Telegram සන්නිවේදන යෙදවුම තාවකාලිකව අවහිර කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගෙන තිබේ. විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටකිරීම සහ විවිධ වංචනික ක්‍රියාවන් සඳහා මෙම සමාජ මාධ්‍ය ජාලය සංවිධානාත්මක ලෙස භාවිත වන බවට ලැබුණු තොරතුරු මත පදනම්ව මෙම හදිසි තීරණය ගෙන ඇත.
විභාගය නැවත පැවැත්වීමට හේතු වූ පසුබිම
පසුගිය මැයි මස 3 වැනිදා ඉන්දියාව පුරා මධ්‍යස්ථාන 5,000 කට අධික සංඛ්‍යාවකදී NEET-UG විභාගය පවත්වන ලදී. ඒ සඳහා අපේක්ෂකයින් මිලියන 2.28 ක් පමණ පෙනී සිටියහ. කෙසේ වෙතත්, විභාගය අවසන් වී දින කිහිපයක් ඇතුළත ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇති බවට බරපතළ චෝදනා එල්ල වූ අතර, රට පුරා සිසුන් සහ දෙමාපියන් විසින් දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන ලදී.
මෙම තත්ත්වය හමුවේ විභාගය මෙහෙයවනු ලබන ජාතික පරීක්ෂණ ඒජන්සිය (National Testing Agency - NTA) විසින් මැයි මාසයේ පැවැත්වූ විභාගය අවලංගු කිරීමට තීරණය කළේය. ඒ අනුව, එම විභාගය නැවත ජුනි මස 21 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
Telegram තහනම සහ "Message Editing" සීමා කිරීම්
විභාගයේ ආරක්ෂාව සහ විනිවිදභාවය උපරිම අයුරින් සුරැකීම සඳහා ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (Ministry of Electronics and Information Technology) විසින් Telegram සමාගම වෙත විශේෂ නියෝග දෙකක් නිකුත් කර ඇත.
- සම්පූර්ණ ප්‍රවේශය අවහිර කිරීම: විභාගය පැවැත්වෙන දිනයට පෙර දින සිට, එනම් ජුනි මස 22 වැනිදා දක්වා ඉන්දියාව පුරා ටෙලිග්‍රෑම් යෙදවුමට පිවිසීම තාවකාලිකව සීමා කර තිබේ.
- Message Editing අත්හිටුවීම: දැනටමත් පළ කර ඇති Messages Edit කිරීමේ හැකියාව ජුනි මස 30 වැනිදා දක්වා ඉන්දියාව තුළ අත්හිටුවීමට නියෝග කර ඇත.
රජයේ නිවේදනය නිකුත් වී පැය කිහිපයක් යනතුරුත් ඇතැම් පරිශීලකයින්ට මෙම යෙදවුම භාවිත කිරීමට හැකි වී තිබූ අතර, අන්තර්ජාල සේවා සපයන ආයතන (ISPs) හරහා මෙම අවහිර කිරීම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටී. ටෙලිග්‍රෑම් ආයතනය මෙතෙක් මේ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
වංචනික කල්ලිවල සූක්ෂ්ම උපක්‍රම
ජාතික පරීක්ෂණ ඒජන්සිය (NTA) පවසන පරිදි, විභාග වංචා සිදු කරන ජාවාරම්කරුවන් විසින් ටෙලිග්‍රෑම් හි ඇති තාක්ෂණික මෙවලම් ඉතා සූක්ෂ්ම ලෙස අවභාවිත කර ඇත. මෙහිදී වඩාත්ම කැපී පෙනෙන උපක්‍රමය වී ඇත්තේ පණිවිඩ සංස්කරණ විශේෂාංගය (Message-editing feature) භාවිත කර සාක්ෂි ව්‍යාජ ලෙස සකස් කිරීමයි (Fabricate).
ජාවාරම්කරුවන් විසින් විභාගයට පෙර කිසියම් සාමාන්‍ය පණිවිඩයක් Group එකක හෝ Channel එකක පළ කරනු ලබයි. විභාගය අවසන් වී සැබෑ ප්‍රශ්න පත්‍රය ප්‍රසිද්ධියට පත් වූ පසු, ඔවුන් කලින් දමන ලද පණිවිඩය සංස්කරණය කර, ඒ වෙනුවට සැබෑ ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප ඇතුළත් කරයි. ටෙලිග්‍රෑම් යෙදවුම තුළ පණිවිඩයක් සංස්කරණය කළද, එය මුලින්ම දැමූ වේලාව (Original Timestamp) වෙනස් නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විභාගයට පෙර ප්‍රශ්න පත්‍රය පිටවූ බවක් පෙන්වීමට වංචනිකයින්ට හැකි වන අතර, එමඟින් සිසුන් සහ දෙමාපියන් දැඩි ලෙස නොමඟ යවා, ඉදිරි විභාග සඳහා ප්‍රශ්න පත්‍ර ලබා දෙන බව පවසමින් ඉන්දීය රුපියල් ලක්ෂ ගණනින් මුදල් කප්පම් ගැනීමට ඔවුන් කටයුතු කර ඇත.
ඉන්දීය සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මැදිහත් වී මේ වන විට වංචනික නාලිකා, සමූහ සහ Bots විශාල ප්‍රමාණයක් අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය සහ ප්‍රාන්ත පොලිස් කණ්ඩායම් එක්ව මේ වන විටත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන පුළුල් විමර්ශන පවත්වයි.
"සුරක්ෂිත විභාග දාමයෙන් පිටත කිසිදු ප්‍රශ්න පත්‍රයක් නොමැති අතර, ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පොරොන්දු වන සෑම අවස්ථාවක්ම මුළුමනින්ම වංචාවක්," යැයි NTA ආයතනය අවධාරණය කරයි.
සාමාන්‍ය, වෘත්තීය සහ අධ්‍යාපනික කටයුතු සඳහා ටෙලිග්‍රෑම් යෙදවුම භාවිත කරන මිලියන සංඛ්‍යාත ඉන්දීය පුරවැසියන්ට මෙමඟින් සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික පරීක්ෂණ ඒජන්සිය (NTA) සිය කනගාටුව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, විභාගයේ ආරක්ෂාව උදෙසා මෙවැනි දැඩි තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොවූ බව ඔවුහු පවසති.
Source: www.bbc.com








